කාශ්මීරයේ ගැටුම්: ඉන්දියාවට එරෙහිව එකට එක කරන බව පාකිස්තානය පවසයි

Cricket star-turned-politician Imran Khan, chairman of Pakistan Tehreek-e-Insaf (PTI), speaks after voting in the general election in Islamabad, July 25, 2018

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඉන්දීය පාලිත කාශ්මීරයේදී ඉන්දීය ආරක්ෂක අංශ වෙත එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව පාකිස්තානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් සිය රට ද ඒ හා සමාන ප්‍රතිචාරයක් දක්වනු ඇති බව පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

පසුගිය සතියේ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට පාකිස්තානයේ සම්බන්ධයක් තිබේ නම් ඒ බව තහවුරු කිරීම සඳහා සාක්ෂි සපයන ලෙස රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වූ අගමැති ඛාන් ඉන්දියාවෙන් ඉල්ලා සිටී.

බ්‍රහස්පතින්දා එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් හතළිහකට අධික පිරිසක් මරණයට පත් විය.

පාකිස්තානයේ ක්‍රියාත්මක 'ජයිශ්-ඊ-මොහොමඩ්' නමැති කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබිණි.

කාශ්මීරයේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පළමු වරට අදහස් දක්වමින් පාකිස්තාන අගමැතිවරයා කියා සිටියේ "සාක්ෂි කිසිවක් නොමැතිව ඉන්දියාව පාකිස්තානයට දොස් පැවරීමෙන් වැළකී සිටිය යුතු" බවය.

"පාකිස්තානයේ ස්‌වෛරීත්වයට තර්ජනයක් වන ඕනෑම අනතුරුදායක ක්‍රියාවකට නියත වශයෙන් එකට එක කරනු ඇති" යනුවෙන් ඔහු පැවසීය.

ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා සහය දීමට සිය ආණ්ඩුව සූදානම් බව කී අගමැතිවරයා සාකච්ඡා මේසයට එන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටී.

ඉහත කී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලවීමත් සමග ඉන්දියාව සහ පාකිස්තානය අතර උණුසුම යළිත් ඉහළ යමින් පවතී.

ප්‍රහාරය සඳහා කිසිදු ආකාරයක සහයක් දුන් බව පාකිස්තානය ප්‍රතික්ෂේප කරන නමුත් ඉන්දියාව පවසන්නේ පාකිස්තාන රජය ඒ සඳහා අනුබල දී ඇති බවකි.

පාකිස්තානය ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා කරන බවටත් ඉන්දියාව ප්‍රතිඥා දී තිබේ.

කාශ්මීර ගැටුම සහ එහි ඉතිහාසය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීරයට අයිතිය කියන ඉන්දියාව සහ පාකිස්තානය විසින් එහි කොටස් පාලනය කරනු ලබයි.

1989 වසරේ සිට මේ දක්වා කාශ්මීරය තුළ මරාගෙන මැරෙන ප්‍රහාර දහයක් පමණ සිදුව ඇති අතර, ඒ සඳහා මෝටර් රථයක් භාවිත කළ දෙවන අවස්ථාව බ්‍රහස්පතින්දා එල්ල කළ ප්‍රහාරයයි.

2002 වසරේදී ජම්මු නගරය ආසන්නයේ හමුදා මූලස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 31 දෙනෙක් මිය ගියහ. බ්‍රහස්පතින්දා (පෙබරවාරි 14) සිදු වූ ප්‍රහාරයට පෙර ඉන්දියානු ආරක්ෂක හමුදා වෙත එල්ල වූ දරුණුතම ප්‍රහාරය එය ලෙස සැලකේ. මියගිය පිරිස අතරින් බොහෝ දෙනෙකු සාමාන්‍ය වැසියන් සහ හමුදා භටයින්ගේ ඥාතීන්ය.

2016 වසරේදී ඌරි ප්‍රදේශයේ පිහිටි හමුදා මූලස්ථානයකට කඩා වැදුණු පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් ආරක්ෂක හමුදාවේ 19 දෙනෙක් මිය ගියහ.

2016 වසරේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් ජනප්‍රිය සටන්කරුවෙකු වූ විසි දෙහැවිදිරි බුර්හාන් වානි ඝාතනය කරනු ලැබීමත් සමග කාශ්මීරයේ ගැටුම්වල නැවත වැඩි වීමක් දක්නට ලැබේ.

2018 වසරේඇති වූ ගැටුම් හේතුවෙන් පන්සියයකට වැඩි පිරිසක් මරුමුවට පත්වූහ.

ඉන්දියාව සහ පාකිස්තානය තුන් වතාවක් යුද වැදී ඇති නමුත් 1947 බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් නිදහස ලැබූ පසු එම ගැටුම් සීමා වී තිබේ. කෙසේනමුත්, කාශ්මීරය සම්බන්ධයෙන් දෙරට අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වෙමින් පවතී.