ටෙස්ට් ක්‍රිකට්: ඩර්බන් පෙරළියට පෙර ශ්‍රී ලංකාව ලබාගත් තියුණු ජයග්‍රහණ

ටෙස්ට් ජයග්‍රහණ Image copyright Getty Images

පසුගිය සෙනසුරාදා (පෙබරවාරි 16) ඩර්බන් හීදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම පරදවා ලබාගත් සුවිශේෂී ජයග්‍රහණය ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක්විය.

ඒ මෙවැනි ආකාරයට හඹා ගොස් ලබාගත් තෙවැනි තියුණුම ජයග්‍රහණය එය වීම නිසාය.

1981 දී ටෙස්ට් වරම් දිනාගත් ශ්‍රී ලංකාව මේ වනවිට තරඟ 282කට සහභාගි වී ඇති අතර ඉන් තරඟ 89ක් ජයගෙන 107ක් පරාජය වී තිබේ.

මෙතෙක් ශ්‍රී ලංකාව හඹා ගොස් ලබා ඇති තියුණුම ටෙස්ට් ජයග්‍රහණ දෙකක් ගැන පසුවිමසුමකි, මේ.

Image copyright Getty Images
Image caption ප්‍රථම ඉනිමේදී අර්ජුන රණතුංග දැවීයන අයුරු

දිනය: 2000 පෙබරවාරි 26

ස්ථානය: රාවල්පිණ්ඩි, පාකිස්තානය

මෙම තරඟයේ ශ්‍රී ලංකා පිළ මෙහෙයවනු ලැබුවේ සනත් ජයසූරිය විසිනි. පාකිස්තාන කණ්ඩායමේ නායකතත්වය දැරුවේ ෂයිඩ් අන්වර් විසිනි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 182කට දැවී ගියේය. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ මුත්තයියා මුරලිදරන් කඩුලු හතර බැගින් දවා ගත්හ.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අරවින්ද ද සිල්වා රැස් කළ ලකුණු 112 සමග සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 353ක් රැස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

චමින්ද වාස් නොදැවී ලකුණු 53 ක් රැස් කිරීම කැපී පෙනිණ.

තම දෙවන ඉනිම වඩාත් ශක්තිමත් කරගත් පාකිස්තානුවෝ ලකුණු 390 ක් රැස් කළහ. යුනිස් ඛාන් ලකුණු 107ක් රැස් කළේය.

මුරලිදරන් දෙවන ඉනිමේ ද කඩුලු හතරක් දවා ගත්තේය.

තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 220 ක් ලබාගත යුතු විය.

මෙම තොරතුරුත් කියවන්න:

වකාර් යුනිස් සහ අබ්දුර් රසාක් ප්‍රමුඛ පකිස්තානු වේග පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කළ අතර කඩුලු 5 ක් දැවී ලකුණු 146 ව තිබියදී ඒ වනවිට හොඳින් පන්දුවට පහර දෙමින් සිටි අර්ජුන රණතුංග තුවාල ලැබීය.

මහපට ඇඟිල්ලේ සිදුවූ ආබාධිත තත්වය නිසා ඔහු නැවත ක්‍රීඩාගාරයට ගියේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බොඳ කරමිනි.

ඉන්පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු එකපිට එක වැටෙන විට රණතුංග නැවත පිටියට පිවිසියේය.

එවිට කඩුලු 8 ක් දැවී ගොස් ලකුණු 177 ක් පමණක් ලබාසිටි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට රණතුංග (නොදැවී 29) සහ රුමේෂ් කළුවිතාරණ (නොදැවී 36) සමත් වූහ.

තරඟයේ වීරයා: අරවින්ද ද සිල්වා

Image copyright Getty Images
Image caption මහරූෆ් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියේය

දිනය: 2006 අගෝස්තු 4

ස්ථානය: පී සරවනමුත්තු ක්‍රීඩාංගනය, කොළඹ

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ප්‍රථම ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 153න් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, සරවනමුත්තු පිටියේ පැවති දෙවැනි ටෙස්ට් තරඟයට පිවිසියේ ජයග්‍රාහී මානසික තත්වයකිනි.

කාසියේ වාසිය දිනාගත් සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඇස්වෙල් ප්‍රින්ස්, ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒඩීබි ඩිවිලියර්ස් ලබාගත් ලකුණු 95 හේ පිහිටෙන් තම මුල් ඉනිමට ලකුණු 361 ක් රැස් කිරීමට සංචාරක කණ්ඩායම සමත් විය.

මුත්තයියා මුරලිදරන් කඩුලු 5ක් දවාගත්තේය.

චාමර කපුගෙදර (63) සහ චමින්ද වාස් (64) ලබාගත් අර්ධ ශතක සමග ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 321 ක් රැස් කළේය.

දකුණු අප්‍රිකානුවන්ට මුත්තයියා මුරලිදරන් දෙවන ඉනිමේදී ප්‍රබල තර්ජනයක් එල්ල කළද, හර්ෂල් ගිබ්ස් රැස් කළ ලකුණු 92 පිහිටෙන් තම දෙවන ඉනිමට ලකුණු 311 ක් දක්වා ශක්තිමත් කර ගැනීමට සංචාරක කණ්ඩායම සමත් විය.

Image copyright Getty Images
Image caption පරාජය වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම

මුත්තයියා මුරලිදරන් ලකුණු 97 කට කඩුලු 5ක් දවාගත්තේය.

තරඟයේ ජය සඳහා ලකුණු 352ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස උපුල් තරංග බිංදුවකට දැවී ගියේය.

ඉන්පසු කුමාර් සංගක්කාර (39) සහ සනත් ජයසුරිය (73) ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළද ඉන්පසු පැමිණි පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට පන්දු යවන්නෝ සමත් වුහ.

එක් අවස්ථාවක ලකුණු 279 කට කඩුලු 6 ක් දැවී අසීරු තත්වයක සිටි කණ්ඩායමට ජීවය ලබාදීමට අටවෙනි කඩුල්ල වෙනුවන් පිටියට පිවිසි ෆර්වීස් මහරූෆ් සමත් විය.

ඔහු නායක මහේල සමග හත්වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක් එක් කළේය.

නමුත් මුළු ලකුණු සංඛාව 341ක් ව තිබියදී නිකී බෝයේ විසින් මහේල ලකුණු 123කට දවාගැනීමත් සමගම තරඟයේ වාසිය දකුණු අප්‍රිකානු පිළ දෙසට හැරිණි.

ඉන්පසු ලකුණු 348දී සහ 350දී පිළිවෙලින් වාස් සහ මුරලිදරන් නැවත ක්‍රීඩාගාරයට යැවීමට ඇන්ඩෘ හෝල් සමත්විය.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු දෙකක් අවශ්‍යව තිබිණ.

අවසාන පිතිකරු ලෙස ලසිත් මාලිංග පිටියට පිවිසෙන විට සරවනමුත්තු ක්‍රීඩාගාර වල සිටි ක්‍රීඩා ලෝලීහු අපේක්ෂා භංගත්වයට පත්ව ඇති සෙයක් දිස්විණ.

නමුත් මහරූෆ් (නොදැවී 29) සහ මාලිංග (නොදැවී 1) ඊළඟ පන්දු ඕවරයේදී අවශ්‍ය ලකුණු දෙක ලබාගනිමින් ශ්‍රී ලංකාවට කඩුලු එකක තියුණු ජයක් ලබාදීමට සමත් වුහ.

තරඟයේ වීරයා: මහේල ජයවර්ධන

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර