ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එක්වූ කතට ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් තහංචියක්

හොඩා මුතානා සහ ට්‍රම්ප්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එක්වීම සඳහා එක්සත් ජනපදය අතහැර ගිය කාන්තාවට නැවත රට තුළට පැමිණීමට අවසර නොදෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

"හොඩා මුතානාට නැවත රට තුළට පැමිණීමට අවසර නොදෙන්න" යැයි තමන් රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ට උපදෙස් දුන් බව පවසමින් ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

විසි හතර හැවිරිදි හොඩා මුතානා එක්සත් ජනපදයෙන් පිටවී ගියේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදීම සඳහා ය.

ඇයට ඇමරිකානු පුරවැසිභාවය පවතින බව ඇයගේ නීතිඥයා සහ පවුලේ සාමාජිකයන් පවසන නමුත් රාජ්‍ය ලේකම් පොම්පෙඕ කියා සිටියේ ඇය ඇමරිකානු පුරවැසියෙකු නොවන බවය.

එක්සත් ජනපදයේ ඇලබාමා හි දිවි ගෙවමින් සිටි හොඩා මුතානා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එක්වීම සඳහා සිරියාව බලා යනවිට ඇය විසි හැවිරිදි වූවාය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඇය දැන් මවකි

ඇය පවුලේ සාමාජිකයන්ට පවසා තිබුණේ විශ්වවිද්‍යාලයේ උත්සවයක් සඳහා තුර්කියට යන බවකි.

සිරියාවට පැමිණීමෙන් අනතුරුව, බටහිර රටවලට අයත් විදේශ ගමන් බලපත් කිහිපයක් පුළුස්සා දමන ආකාරය දැක්වෙන ඡායාරූපයක් හොඩා මුතානා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලැබ තිබුණි.

අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ඇය ඉස්ලාමීය සටන්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ඇමරිකානුවන් මරා දමන ලෙසය.

නමුත් දැන් ඒ පිළිබඳව දැඩි ලෙස පසුතැවිලි වන බව ඇය පවසන්නීය. ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එක්වීම සහ ඔවුන්ගේ අරමුණුවලට ප්‍රචාරයක් ලබා දීම පිළිබඳව හොඩා මුතානා සමාව ඉල්ලා සිටියා ය.

ඇය දැන් මාස 18ක පිරිමි දරුවෙකු සිටින මවකි.

කුර්දි හමුදාවට යටත් වීමෙන් අනතුරුව හොඩා මුතානා මේ වන විට සිරියාවේ උතුරු ප්‍රදේශයේ සරණාගත කඳවුරක වෙසෙන බව වාර්තා වේ.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය,

ශමීමා බෙගම්

නැගෙනහිර ලන්ඩනයේ වාසය කළ ශමීමා බෙගම් 2015 දී සිරියාවට පලා යද්දී ඇය පාසල් ශිෂ්‍යාවක් වූවාය.

ඇයට ද නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමට අවශ්‍ය වී තිබේ.

නමුත් බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා කියා සිටියේ "යමෙකු විදේශගත වී ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය දුන්නේ නම්" එම තැනැත්තා නැවත බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වැළැක්වීම සඳහා තමා නොපැකිළෙන බවය.

ශමීමා බෙගම් ගේ සැමියා සිරියානු සටන් කණ්ඩායමකට යටත්වීමෙන් අනතුරුව ඇය සරණාගත කඳවුරකට පැමිණ තිබේ.

ඇය ගැන වැඩි විස්තර: