ඉන්දියා සහ පාකිස්තාන උණුසුම: ඉම්රාන් ඛාන්ගෙන් ඉල්ලීමක්

Indians celebrated on hearing news of the strikes

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගුවන් ප්‍රහාර එල්ල කළ බව කණවැකීමත් සමග ප්‍රීතියට පත් ඉන්දීය වැසියෝ

න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර උණුසුම ඉහළ මට්ටමක පවතින අතර එය දිනෙන් දින ඉහළ යමින් පවතී.

කාශ්මීරය මුල් කර ගත් ගැටුම් තවත් ත්‍රිව්ර කරමින් ඉන්දියාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් බිම හෙළූ බව පාකිස්තානය බදාදා (පෙබරවාරි 27) පැවසීය.

පාකිස්තාන කලාපයට කඩා වැටුණු එක් ප්‍රහාරක යානයක සිටි නියමුවෙකු සිය ග්‍රහණයට ගත් බවත් පාකිස්තානය සඳහන් කළේය.

'MiG21' වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් අහිමි වූ බව තහවුරු කරන ඉන්දියාව නියමුවෙකු අතුරුදහන් වී ඇති බව පිළිගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් දියත් කොට ඇති බව පවසයි.

මේ අතර පාකිස්තානයට අයත් ජෙට් යානයක් ද බිම හෙළූ බව ඉන්දියාව පවසන නමුත් පාකිස්තානය එය ප්‍රතික්ෂේප කරයි.

1971 වසරේ යුද්ධයෙන් පසු පාකිස්තාන ඉන්දීය බෙදුම් සීමාව හරහා එල්ල වූ පළමු ගුවන් ප්‍රහාරය මෙයය.

ඉන්දීය පාලිත කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර පෙබරවාරි මස කැරලි ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් සෙබළුන් 40 දෙනෙකු මරණයට පත් විය.

එය, ඉන්දීය පාලිත කාශ්මීරයේ දශක තුනක් ඇතුළත එල්ල වූ දරුණුතම කැරලි ප්‍රහාරයයි.

පාකිස්තානයේ ක්‍රියාත්මක කැරලි කණ්ඩායමක් එහි වගකීම භාර ගෙන ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

පෙබරවාරි 14 වෙනිදා ඉන්දීය ආරක්ෂක අංශ වෙත එල්ල වූ ප්‍රහාරය

පුල්වාමා ප්‍රහාරයෙන් පසු "ඉන්දියාව පුරා කෝපය පැතිර ගියා. ජනයා ඉටිපන්දම් දල්වා පා ගමනේ යෙදුනා. එකට එක කරන මෙන් ඉල්ලා සිටියා" යනුවෙන් බීබීසී දිල්ලි වාර්තාකරු විනීත් ඛරේ පැවසීය.

පසුගිය සති කිහිපය තුළ මාධ්‍යයේ හැසිරීම සහ දේශපාලන වේදිකාව ජාතිකවාදී ස්වරූපයක් ගත් අතර "ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී 'ත්‍රස්ත' ක්‍රියා ඉදිරියේ තමන් දුර්වල බව පෙන්වීමට කිසිදු ඉන්දීය ආණ්ඩුවකට අවශ්‍ය නොවන" බව ඛරේ වැඩිදුරටත් සඳහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, PAKISTAN INFORMATION MINISTRY

ඡායාරූප ශීර්ෂ වැකිය,

අල්ලා ගත් බව පැවසෙන ගුවන් නියමුවා

පුල්වාමා ප්‍රහාරය පිටුපස සිටි බව පැවසෙන 'ජෛෂ්' කඳවුරකට ඉන්දීය හමුදා ප්‍රහාර එල්ල කළ බවට අඟහරුවාදා පුවත් පළවීමත් සමග සමාජ ජාල සහ ඉන් පිටත ප්‍රීතිය සැමරූ බවත් බීබීසී වාර්තාකරු පවසයි.

නමුත් පාකිස්තානය විසින් ඉන්දීය නියමුවන් දෙදෙනෙකු අල්ලා ගනු ලැබ ඇතැයි පැවසීමත් සමග ඉහත කී ස්වභාවය කනස්සලු සහගත තත්ත්වයකට පරිවර්තනය වී තිබේ.

කෙසේ නමුත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ එක් නියමුවෙකු පමණක් අතුරුදහන් වී ඇති බවය.

මේ අතර ජාතිය අමතමින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ගැටුම් සමනය කර සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය.

යුද අවි දෙරටම සතු බැවින් තමන්ට හෝ ඉන්දීය අගමැතිවරයාට කිසිදු ආකාරයක ගැටුමක් දරා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව අගමැති ඛාන් පෙන්වා දුනි.

"මෙය සිදුවීමට අප ඉඩ හැරියහොත් ඉන් පසු ඇතිවන ක්‍රියාවල පාලනය මා හෝ නරේන්ද්‍ර මෝදි අත තිබෙන එකක් නැහැ. අප එකට හිඳ ගනිමින් සකච්ඡා කළ යුතුයි"

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්

පාකිස්තානයේ සාමාන්‍ය තත්ත්වය "දේශප්‍රේමී" ස්වභාවයක් පෙන්නුම් කරන බව බීබීසීයේ ටහීර් ඉම්රාන් කියා සිටී.

"සම්ප්‍රදායික මාධ්‍ය සහ සමාජ ජාල තුළ වියරු සහගත ස්වභාවයක් දක්නට ඇති බව" ඔහු වැඩිදුරටත් පැවසීය.

සමාජ ජාල ඔස්සේ ව්‍යාජ පුවත් විශාල වශයෙන් හුවමාරු වන අතර ඇතැම් අවස්ථාවල රූපවහිනී සේවා විසින් ද එවැනි පුවත් උපුටා ගනු ලැබ ඇති බව ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් සමාජ ජාල තුළ ක්‍රියාත්මක තවත් පිරිසක් සන්සුන්ව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය.

ඉන්දියා - පාකිස්තාන ගැටුම් අතීතය

ඔක්තෝබර් 1947: කාශ්මීරය හේතු කරගෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර ප්‍රථම යුද්ධය ඇරඹෙන්නේ එම රටවල් ස්වාධීන රාජ්‍යයන් බවට පත්වී මාස දෙකකට පසුවය.

අගෝස්තු 1965: අසල්වැසි රටවල් දෙක කාශ්මීරය හේතු කරගෙන නැවතත් යුද්ධ කරති.

දෙසැම්බර් 1971: නැගෙනහිර පාකිස්තානය ස්වාධීන වීමට ගත් තීරණයට ඉන්දියාව උදව් කරයි. ඉන්දියානු ගුවන් යානා පාකිස්තානයට බෝම්බ හෙළයි. බංගලාදේශය නිර්මාණය වීමත් සමග යුද්ධය නිම වෙයි.

මැයි 1999: කාර්කිල් කඳුකරයේ පිහිටි ඉන්දියානු හමුදා මුරපොළවල් කිහිපයක් පාකිස්තානු හමුදා භටයින් විසින් අල්ලා ගනු ලබයි. ඉන්දියාව ගුවනින් සහ බිමින් ප්‍රතිප්‍රහාර එල්ලකර පාකිස්තානු භටයින් පසුබස්සයි.

ඔක්තෝබර් 2001: ඉන්දීය පාලිත කාශ්මීරයේ රාජ්‍ය මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලට එල්ල වූ දරුණු ප්‍රහාරයකින් 38 දෙනෙක් මිය යති. එම ප්‍රහාරය එල්ල වන්නේ නව දිල්ලි නුවර පිහිටි ඉන්දීය පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කර 14 දෙනෙකු ඝාතනය කර මාස දෙකකට පසුය.

නොවැම්බර් 2008: මුම්බායි හි ප්‍රධාන දුම්රිය නැවතුම්පොළ, සුපිරි හෝටල් සහ යුදෙව් ජාතික සංස්කෘතික මධ්‍යස්ථානයක් වෙත එකවර ප්‍රහාර එල්ල කර 166 දෙනෙකු ඝාතනය කෙරේ. පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන ලෂ්කාර්-ඊ-තෛයිබා සංවිධානය ට ඉන්දියාව චෝදනා කළේය.

ජනවාරි 2016: පතන්කොට් හි පිහිටි ඉන්දීය ගුවන් හමුදා කඳවුරට දින හතරක් පුරා එල්ලවූ ප්‍රහාරයකින් ඉන්දීය භටයින් හත් දෙනෙකු මියගිය අතර ප්‍රහාරකයින් හය දෙනෙකු ද මිය ගියේය.

සැප්තැම්බර් 18, 2016: ඉන්දීය පාලිත කාශ්මීරයේ යුරී හි පිහිටා ඇති ඉන්දීය හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් භටයින් 19 මිය ගියේය.

සැප්තැම්බර් 30, 2016: පකිස්තානු පාලිත කාශ්මීරයේ සිටි සටන්කරුවන්ට ප්‍රහාර එල්ල කළ බව ඉන්දියාව පැවසීය. පාකිස්තානය එවැනි ප්‍රහාර එල්ල නොවූ බව කියා සිටියේය.