සූක්ෂම අලෙවිකරණ ක්‍රමවේද: මුදල් වියදම් කිරීමට ඔබ පොළඹවන වෙළෙන්දෝ

1769 වසරේදී ප්‍රංශ දාර්ශනිකයෙකු විසින් "මගේ පැරණි වටිනා ඇඳුම නිසා වුණු විපත" යනුවෙන් ලිපියක් පළ කළේය. එම දාර්ශනිකයා වූයේ, එවකට විශ්ව කෝෂයක් පළ කරමින් අතිශය ගෞරවයට පාත්‍ර වී සිටි ඩෙනී ඩිඩරෝ (Denis Diderot) නමැති ලේඛකයාය.

එම ලිපියෙන් ඔහු විස්තර කර ඇත්තේ, නව, සුඛෝපභෝගී රතු පැහැති ඇඳුමක් මිල දී ගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ඇති වූ ආකල්ප හේතුවෙන් ඔහුගේ ජීවිතය දුකට පත්වූ ආකාරයයි.

Image copyright Getty Images

ඊට හේතුව ලෙස ඩිඩරෝ අනුමාන කර ඇත්තේ, තමන් මිල දී ගත් අලංකාර සහ සුඛෝපභෝගී නව ඇඳුම, තමන් සතුව තිබූ අනෙකුත් ජරාජීර්ණ වූ භාණ්ඩවලට නොගැලපීම නිසා එම තත්ත්වය උද්ගත වූ බවය.

"දැන් සියල්ල අපතේ ගියා," ඔහු ලියා තිබිණි. "සමස්ත ප්‍රතිඵලය අපතේ ගියා. දැන් තවදුරටත් එකීයත්වයක් හෝ අලංකාරයක් නැහැ."

ඔහුගේ මෙම පසුතැවීම - එනම්, ඩිඩරෝ බලපෑම - වෙළෙන්දන්ට ඔබේ මනස තුළට රිංගා ගැනීමට අවශ්‍ය දාර්ශනික මාර්ගය සකස් කර තිබේ. ඒ මෙසේය.

ඩිඩරෝ බලපෑම

Image copyright Getty Images
Image caption ඩිඩරෝ එය විස්තර කළ ආකාරයට "මහේෂාඛ්‍ය" ඇඳුම ඔහුගේ නිවස විපර්යාසයට ලක් කළේය.

මෙහිදී තමන් සතු භාණ්ඩ අලුත් කිරීමට ඔහු තුළ ඇති වූ ආශාව බලපෑවේය. අලංකාර ඇඳුම මිල දී ගැනීමෙන් පසු ගෙත්තම් කරන ලද නව තිරයක්, නව සිතුවම්, අලුත් පුටුවක්, අල්මාරියක්, කැඩපතක්, මිල අධික ඔරලෝසුවක් වැනි නව භාණ්ඩ රැසක් නිවසට පැමිණියේය.

වැඩි කලක් ගත වීමට මත්තෙන් ඔහුගේ නිවස සම්පූර්ණ විපර්යාසයකට ලක් විය. ඩිඩරෝ එය විස්තර කළ ආකාරයට "මහේෂාඛ්‍ය" ඇඳුම ඔහුගේ නිවස විපර්යාසයට ලක් කළේය.

මෙම 'ඩිඩරෝ බලපෑම' මගින් කියැවුණු 'ඒකීයත්වය' කෙරෙහි ඇති වන ආශාව පාරිභෝගිකයින්ගේ මිල දී ගැනීම්වලට බලපාන ආකාරය 1988 වසරේදී මානව විද්‍යාඥ ග්‍රාන්ට් මැක්ක්‍රැකන් විසින් පැහැදිලි කරන ලදී.

එවකට සිටි බොහෝ ආර්ථික විද්‍යාඥයින් පාරිභෝගික භාණ්ඩ විග්‍රහ කළේ, ඒවා වෙන් වෙන් වශයෙන් ගනිමිනි. අප අත්පත් කර ගන්නා ඕනෑ ම භාණ්ඩයක් එහි උපයෝගීතාව හේතු කරගෙන මිල දී ගත්හ. එම භාණ්ඩවලට වඩා මිලෙන් අඩු හෝ වඩා හොඳ මට්ටමේ භාණ්ඩයක් වෙළෙඳපොළට පැමිණි විට පහසුවෙන් ම එය පැරණි භාණ්ඩය වෙනුවට භාවිත කළ හැකි විය.

Image copyright Getty Images

එහෙත්, මානව විද්‍යාඥ මැක් ක්‍රැකන් එය දුටුවේ, වෙනස් ආකාරයකිනි. ඔහු පෙන්වා දුන්නේ, ඩිඩරෝ බලපෑම අනුව යම් භාණ්ඩයක් අත්පත් කර ගැනීමේදී සමාජයේ අදාළ පාරිභෝගිකයාට හිමි තැන, ඔහුගේ අනන්‍යතාව යන හේතු බලපාන බවය.

ඒ අනුව, අතිශය මිල අධික රොලෙක්ස් අත් ඔරලෝසුවක් මිල දී ගන්නා බැංකුකරුවෙකුට ඊට ගලපා ගැනීම සඳහා සුඛෝපභෝගී මෝටර් රථයක් සහ මිල අධික ෂැම්පේන් බෝතලයක් අවශ්‍ය වනු ඇත. නවතම විලාසිතා අනුගමනය කරන්නෙකුට සිය බෑගයේ දමාගෙන යාම සඳහා ඇයි පෑඩ් එකක් අවශ්‍ය වනු ඇත.

නව්‍යතාවක් දිස් වන භාණ්ඩ මැක්ක්‍රැකන් හඳුන්වන්නේ, 'ගමනාරම්භක භාණ්ඩ' යනුවෙනි. ඒ, එම නව භාණ්ඩය තවත් නව මිල දී ගැනීම් රැසක ආරම්භය වන හෙයිනි. එම නියමයට වඩාත් කැමැත්තක් දක්වන්නේ, අන් කිසිවෙකු නොව භාණ්ඩ අලෙවිකරුවන්ය.

Image copyright Getty Images

උදාහරණයක් වශයෙන් ඇපල් (Apple) සන්නාමය ගතහොත්, බොහෝ පිරිසකට ඇපල් අයි ෆෝන් එකක් යනු 'ගමනාරම්භක භාණ්ඩයකි'. ඩිඩරෝ බලපෑමට අනුව අයි ෆෝන් එකක් මිල දී ගන්නා පාරිභෝගිකයාට ඊට අදාළ සෙසු සම්පූර්ණ නිෂ්පාදන කට්ටලය ද මිල දී ගැනීමට අවශ්‍ය වේ.

මෙය ගෘහභාණ්ඩ අලෙවි සලකදී ද නිරන්තරයෙන් දක්නට ලැබේ. ඔබ එහි යන්නේ, ලාච්චු කිහිපයක් සහිත කුඩා කබඩ් එකක් මිල දී ගැනීමට විය හැකිය. එහෙත්, ඔබ ඉන් පිට වන්නේ, ඇඳක්, අල්මාරියක්, කණ්ණාඩි මේසයක් සහ හිස් වැසුම් රඳවනයක් ද රැගෙනය. ඒ සියල්ලෙන් නිරූපණය වන්නේ, නව අනන්‍යතාවක් හෝ නව ජීවන රටාවකි.

ඩිඩරෝ බලපෑම අනුව, ඔබ යම් භාණ්ඩ කට්ටලයක එකක් මිල දී ගතහොත්, එම කට්ටලය ම හෝ ඉන් වැඩි කොටසක් මිල දී ගැනීම සඳහා ඔබ පෙළඹෙයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන අලෙවිකරණයේදී ද මෙය භාවිත කෙරේ. ඉන්ටග්‍රෑම්හි ජනප්‍රිය යම් පුද්ගලයෙකු නිරූපණය කරන ජීවන රටාව සිය නිෂ්පාදනවලට සම්බන්ධ කිරීමෙන් ඒවා අලෙවි කර ගත හැකිය යන විශ්වාසය අලෙවිකරුවන් තුළ පවතී.

Image copyright Getty Images

කියවන්න:

විචාරකයින් තර්ක කරනුයේ, කිසිදා අවසන් නොවන ආශාව භාවිත කරමින් අලෙවිකරණයේ නිරත වීම කෲරත්වයක් බවය.

ඇමෙරිකාවේ බොස්ටන් විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය ජුලියට් ස්කෝර් පවසන්නේ, යම් භාණ්ඩයකට දී ඇති "සංකේතවත් විචිත්‍රත්වය" නිසා එය මිල දී ගැනීමට පෙළඹෙන බවය. ඩිඩරෝ සිද්ධිය ගතහොත් ඔහු සිය සුඛෝපභෝගී ඇඳුම මිල දී ගැනීමට පෙළඹුණේ, එය අඳින තැනැත්තා වත් පොහොසත් අයෙකු බවට සමාජය ඉදිරියේ නිරූපණය වන හෙයිනි.

එහෙත්, ඩිඩරෝට එවැනි වත්කමක් තිබුණේ නැත. ඒ අනුව, ඔහු සිය පැරණි කබාය පොත්වල තිබූ දූවිලි පිස දැමීමටත්, පෑන් තුඩ රැඳි තීන්ත පිස දැමීමටත් භාවිත කළ අතර අලුත් කබායේ පැල්ලම් ගා ගැනීමට ඔහු කැමති වූයේ නැත.

ඔහු ලියා තිබුණේ, "මගේ පැරණි කබායේ සම්පූර්ණ ස්වාමියා වුණේ මම, ඒත් මගේ අලුත් කබාය ඉදිරියේ මම ඊට වහලෙක් වුණා."නව කබාය හරහා ඔහුට ආරක්ෂාව සහ නිදහස ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ ද, ඔහු එම කබායෙන් නිර්මාණය වූ උගුලෙහි සිර විය.

ඩෙනී ඩිඩරෝට සිදුවූයේ කුමක් ද?

ඩෙනී ඩිඩරෝ (1713 - 1784) යනු එවකට සිටි පිළිගත් දාර්ශනිකයෙකි. ඔහු සමාජයේ ආදරයට පාත්‍ර වූ ග්‍රන්ථ රැසක් රචනා කර තිබුණ ද, මුදල් අගහිඟකම්වලින් මිරිකෙමින් ජීවත් විය.

සිය දියණිය විවාහ කර දීමට කාලය එළඹුණු විට ඇය වෙනුවෙන් දෑවැද්දක් පිරිනැමීමට වත්කමක් නොවූ හෙයින් සිය පුස්තකාලය රුසියාවේ කැතරින් නමැති අධිරාජ්‍යවරියකට විකුණා එහි පුස්තකාලයාධිකාරී ලෙස සේවය කළේය.

එම ගනුදෙනුවෙන් ඔහුට ස්ටර්ලිං පවුම් 1000ක මුදලක් ලැබුණු අතර වාර්ෂික වැටුපක් ද හිමි විය.

ඔහු ඉහත කී සුඛෝපභෝගී කබාය මිල දී ගැනීමට පෙළඹී ඇත්තේ, එම මුදල් ලැබීමෙන් පසුවය. පසුව තමන් සතුව තිබූ පැරණි භාණ්ඩ සියල්ල ඉවත් කර නව භාණ්ඩ මිල දී ගත් අතර යළිත් ඔහු දිළින්දෙකු බවට පත් විය.

ඔහු එම සිද්ධිය විස්තර කර සැකසූ ලිපිය 'ඩිඩරෝ බලපෑම' ලෙස හැඳින්වේ.

(BBC Reelවැඩසටහන ඇසුරෙනි)

තවත් කියවන්න: