ජනතාවට නොපෙනෙන ජනපති පස්වන වරටත් ජනාධිපතිවරණයට

Algerian President Abdelaziz Bouteflika in a rare public appearance in 2016 at his residence in Zeralda (a suburb of the capital Algiers), receiving the then Prime Minister of France (not in the picture) Image copyright Getty Images
Image caption ප්‍රසිද්ධ වේදිකාව මතට එන්නේ ජනාධිපති බූටෆ්ලිකා ගේ දැවැන්ත ඡායාරූපයක් පමණි

ඔහු අසූ දෙහැවිරිදි ය. විශ්‍රාම ගැනීමට ඔහු තවමත් සූදානම් නැත. ඔහු දේශපාලන නායකයෙකි.

මේ ජනාධිපතිවරයා හදිසියේ ආඝාතයට (Stroke) ගොදුරු වූයේ 2013 වසරේදී ය. එවක් පටන් ඔහු අංශභාග රෝගියෙකි. බෙලහීන ය.

එදා මෙදා තුර ඔහු ජනතාව ඉදිරියේ පෙනී සිටියේ නැත. ජනතාව අමතා නැත.

එය එසේ වී නමුදු ඉදිරි ජනාධිපතිවරණයට ඔහු තරග වදිනු ඇත. ජය ගතහොත් එය ඔහුගේ පස්වන ධූර සමය වනු ඇත. නොකඩවා බලයේ සිටි කාලය වසර 20ක් වනු ඇත.

කලාපීය නිරීක්ෂකයන්ගේ අනාවැකිය වී ඇත්තේ මේ ජනාධිපතිවරයා යළිත් වතාවක් ජනාධිපතිධුරයට පත්වන බවය.

ඔහු ඇල්ජීරියාවේ ජනාධිපති අබ්දූලසීස් බූටෆ්ලිකා ය.

Image copyright Getty Images
Image caption 2017 පැවති මහ මැතිවරණය වෙනුවෙන් බූටෆ්ලිකා තම ඡන්දය ප්‍රකාශ කළේ තවෙකෙකුගේ අත් උදව්වෙනි

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අප්‍රේල් 18 වනදා ය. නමුත් මහජනතාව මේවනවිට කෝප වී ඇත.

මේ රෝගාතුර ජනාධිපතිවරයාට එරෙහිව පසුගිය සති අන්තයේ වීදි බට ජනතාව සිය කෝපය ප්‍රසිද්ධියේ මුදා හළහ. ඉන් බහුතරය තරුණ තරුණියෝ වූහ.

නමුත් ඔවුන්ගේ සටන් පාඨ ජනාධිපතිවරයාට නම් නොඇසෙනු ඇත.

රෝගාතුර ජනාධිපතිවරයා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් මේවනවිට සිටින්නේ ස්විට්සර්ලන්තයේ ය.

"ඇවිදින මළමිනිය"

අබ්දූලසීස් බූටෆ්ලිකා ගේ පාලනය දරුණු ලෙස විවේචනයට ලක් කරන විචාරකයන් මොහු හඳුන්වන්නේ "ඇවිදින මළමිනිය" යන අන්වර්ථ නාමයෙනි.

ප්‍රසිද්ධ වේදිකාව මතට එන්නේ ජනාධිපති බූටෆ්ලිකා ගේ දැවැන්ත ඡායාරූපයක් පමණි.

ඉදිරි ජනාධිපතිවරණයටත් අපේක්ෂකයා තමන් බව ඔහු ප්‍රසිද්ධියට පත් කළේ රාමුකරන ලද ඡායාරූපයක් ජනතාව ඉදිරියේ තබමිනි.

රටේ ජනාධිපතිවරයා ස්ථිර වශයෙන්ම තවමත් ජීවතුන් අතර සිටින බවට ජනතාවට සනාථ කිරීම සඳහා පැරිසියේ සිටින ඇල්ජීරියානු තානාපතිවරයාට විශේෂ නිවේදනයක් පවා නිකුත් කරන්නට සිදු විය.

එය සිදුවූයේ පසුගිය සඳුදා (මාර්තු 04) ය.

ඇල්ජීරියාවේ ජනාධිපතිවරයා ගේ තත්වය මෙසේ නම් රට පාලනය කරන්නේ කවුරුන් ද?

Image copyright Getty Images
Image caption ඇල්ජීරියාවේ සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 15ට අඩු ය. තරුණ තරුණියන්ගෙන් 25%ක් රැකියා විරහිත ය. (මාර්තු 5 වනදා පැවති විරෝධතාවක්)

රටේ පාලනය

"රටේ පාලනය සිදුවෙන්නේ 'බලය' මගින්. 'බලය' කියන්නේ කණ්ඩායමක්. ඉහළම හමුදා නිලධාරීන් සහ රටේ ප්‍රබල ව්‍යාපාරිකයන් පිරිසක් මේ කණ්ඩායමේ ඉන්නවා. ඔවුන් තමයි තීරණ ගන්නේ." බීබීසී මාධ්‍යවේදී මොහමඩ් යෙහියා විස්තර කළේය.

ඇතැම් විචාරකයන් පවසන්නේ පෞද්ගලික ව්‍යාපාරයක් ලෙසින් රටේ පාලනය සිදුවන බවය.

"රජයේ ආයතන දැන් පාලනය වන්නේ පෞද්ගලික ව්‍යාපාර වගේ. රටේ පාලනය මෙහෙයවන කණ්ඩායමට නායකත්වය දෙන්නේ ජනාධිපතිවරයාගේ බාල සහෝදරයා. හමුදා ප්‍රධානියාත් එහි සිටිනවා." ක්‍රිස්ටිනා මාස් පවසන්නීය. ඇය උතුරු අප්‍රිකානු දේශපාලනය පිළිබඳ විශ්ලේෂකයෙකි.

Image copyright Getty Images
Image caption විරෝධතා සඳහා ප්‍රධාන වශයෙන් නායකත්වය ලබා දෙන්නේ තරුණ සහ ශිෂ්‍ය නියෝජනය යි

ඇල්ජීරියාවේ සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 15ට අඩු ය. තරුණ තරුණියන්ගෙන් 25%ක් රැකියා විරහිත ය.

ඇල්ජීරියාවේ මාධ්‍ය පවසන පරිදි මේ වන විට උත්සන්න වී ඇති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ, දශක තුනක් ඇතුළත මතු වූ විශාලතම විරෝධතාව යි.

මීට ප්‍රධාන වශයෙන් නායකත්වය ලබා දෙන්නේ තරුණ සහ ශිෂ්‍ය නියෝජනය යි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්