ඉතියෝපියා ගුවන් අනතුර: මගීන් සියල්ලට මරු කැඳවූ අනතුර නිසා බෝයිං සමාගමට ගැටලු රැසක්

Image copyright JONATHAN DRUION

ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් බෝයිං 737 යානය කඩා වැටී පුද්ගලයින් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් වීමෙන් පසු එම ගුවන් යානය නිපදවූ ඇමෙරිකානු බෝයිං සමාගමට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබේ.

ඉරිදා (මාර්තු 10) සිදුවූ මෙම අනතුර මාස 5ක් තුළ බෝයිං 737 Max 8 නමැති නවතම මාදිලියට අයත් ගුවන් යානයක් අනතුරට ලක්වූ දෙවන අවස්ථාව විය.

චීන රජයේ ගුවන් නියාමන ආයතනය දැනුම් දී ඇත්තේ, චීනය තුළ ක්‍රියාත්මක වන එම වර්ගයේ ගුවන් යානා සියල්ල පරීක්ෂා කිරීම සඳහා ගුවන් ගමන්වලින් ඉවත් කරන ලෙසය.

මීට පෙර පසුගිය ඔක්තෝබර් මාසයේදී ලයන් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ගුවන්ගත කර සුළු මොහොතකට පසු කඩා වැටිණි.

කෙසේ වෙතත්, විශ්ලේෂකයින් පවසන්නේ ඉතියෝපියානු ගුවන් යානය කඩා වැටීමට හේතු වූ කරුණු නිර්ණය කිරීමට තරම් කාලයක් ගත වී නොමැති බවය.

ඉරිදා අනතුර සිදු වූයේ කෙසේ ද?

ET302 දරන යානය අඩිස් අබාබා ගුවන් තොටුපොළෙන් පිටත් වී මිනිත්තු 6කට පසු එනම් ඉතියෝපියානු වේලාවෙන් උදෑසන 8.44ට අනතුරල ලක්වූ බව ඉතියෝපියානු ගුවන් සමාගම පවසයි. කෙන්යාවේ නයිරෝබි නුවර බලා පියාසර කරමින් තිබූ එම ගුවන් යානය අඩිස් අබාබා නගරයට කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටි බිෂෝෆ්ටු ප්‍රදේශයට කඩා වැටී තිබිණි.

ගුවන් සමාගම පැවසුවේ, කිසියම් දුෂ්කරතා පිළිබඳ වාර්තා කළ යානයේ නියමුවා එය යළි අඩිස් අබාබා ගුවන් තොටුපොළට වෙත හරවා ඒමට අවසර ඉල්ලූ බවය.

ගුවන් ගමන් නිරීක්ෂණ ආයතනයක් වන Flightradar24 වාර්තා කළේ, "ගුවන් යානය පිටත් වීමෙන් පසු ඉහළට පියාසර කළ වේගය ස්ථාවර නොවූ" බවය

එහි ගුවන් නියමුවා ලෙස ක්‍රියා කළ ජ්‍යෙෂ්ඨ කපිතාන් යාරෙඩ් ගෙටාච්‍යූ පැය 8000කට අධික ගුවන් ගමන් කාලයක අත්දැකීම් සහිත නියමුවෙකු බව ගුවන් සමාගම පැවසීය.

අනතුරට ලක් වූ යානය තුළ රටවල් 30 ට වැඩි ගණනකට අයත් මගීන් සිටි අතර, කෙන්යානු වැසියන් 32 දෙනෙක්, කැනේඩියානු වැසියන් 18 දෙනෙක් සහ බ්‍රිතාන්‍ය වැසියන් 7 දෙනෙක් ඒ අතර වූහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියෙකු පැවසුවේ, මිය ගිය පුද්ගලයින් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ පුද්ගලයින් 19 දෙනෙකු පමණ සිට ඇති බවය.

ස්ලෝවැකියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ටන් හර්න්කෝ ෆේස්බුක් හරහා තහවුරු කර තිබුණේ, සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා ද ගුවන් යානයේ සිටි බවය.

මෙම අනතුර හේතුවෙන්, සඳුදා (මාර්තු 11) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ඉතියෝපියාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

ගුවන් යානය ගැන දන්නේ මොනවා ද?

බෝයිං 737 Max-8 ගුවන් යානය ගුවන් ගමන්වලට අලුතින් එක් වූ එකකි. එය වාණිජමය වශයෙන් භාවිතයට එක් වූයේ 2017 වසරේ සිටය.

මෙලෙස අනතුරට පත් වූයේ, ඉතියෝපියානු ගුවන් සේවය වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව ඇණවුම් කළ බෝයිං 737 Max-8 වර්ගයේ ගුවන් යානා 6න් එකකි. එම ගුවන් සමාගම පසුගිය පෙබරවාරි 4 වන දා ට්විටර් ඔස්සේ පැවසුවේ, ගුවන් යානය "දැඩි පරීක්ෂාවකට ලක් කළ" බවය.

මේ අතර, බෝයිං සමාගම පැවසුවේ, ගුවන් අනතුර සම්බන්ධයෙන් "අතිශය කනගාටු වන" අතර තාක්ෂණික සහය සැපයීම සඳහා කණ්ඩායමක් පිටත් කර යවන බවය.

Image copyright ETHIOPIAN AIRLINES

ගුවන් සමාගම්වල ප්‍රතිචාර

අදාළ ගුවන් යානය අනතුරට ලක් වීමට බලපෑ හේතුව තහවුරු වී නොමැති හෙයින් 737 MAX 8 ගුවන් යානා තවදුරටත් ගුවන් ගමන් සඳහා භාවිත කරන බව ඉතියෝපියානු ගුවන් සමාගම පැවසීය.

කෙසේ වෙතත්, චීන රජයේ ගුවන් සේවා නියාමන ආයතනය උපදෙස් දී ඇත්තේ, එම වර්ගයේ සියලු ගුවන් යානා භාවිතය තාවකාලිකව නතර කරන ලෙසය. එයාර් චයිනා, චයිනා ඊස්ටර්න්, චයිනා සදර්න් ඇතුළු චීන ගුවන් සමාගම්වල මෙම වර්ගයේ ගුවන් යානා 90කට අධික සංඛ්‍යාවක් තිබේ.

කේමන් එයාර්වේස් ගුවන් සමාගම ද නිවේදනය කළේ, "වැඩිදුර තොරතුරු ලැබෙන තුරු" සිය සමාගමට අයත් 737 MAX 8 වර්ගයේ ගුවන් යානා දෙක භාවිතයෙන් ඉවත් කරන බවය.

මේ අතර, උතුරු ඇමෙරිකාවේ ක්‍රියාත්මක ගුවන් සමාගම් කිහිපයක් පවසා ඇත්තේ, ගුවන් අනතුර පිළිබඳ විමර්ශන කෙරෙහි අවධානයෙන් පසු වන බවය. උතුරු ඇමෙරිකාවට අයත් සවුත්වෙස්ට් ගුවන් සමාගම සතුව මෙම මාදිලියේ ගුවන් යානා 31ක් පවතින අතර, ඇමෙරිකන් එයාලයින්ස් සහ එයාර් කැනඩා යන සමාගම් සතුව ගුවන් යානා 24 බැගින් තිබේ.