බ්‍රෙක්සිට් ගිවිසුම: තෙවන වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තෙරේසා මේ සැරසෙයි

Image copyright EPA
Image caption බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ

යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් වන බ්‍රෙක්සිට් ගිවිසුම පිළිබඳව ඉදිරි දිනවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සූදානම් වේ.

ඇය සිය ගිවිසුම තෙවන වරටත් මාර්තු 20 වන දා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. මීට පෙර දෙවතාවකදී වැඩි ඡන්ද 230ක් සහ 149ක් බැගින් එම ගිවිසුම පරාජයට පත් විය.

මේ අතර, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන දිනය (මාර්තු 29 වන දා) කල් දමන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටීම සඳහා අනුමැතිය ලබා ගැනීමට බ්‍රහස්පතින්දා ඡන්ද විමසීමක් පැවැත්විණි.

යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් පැවසුවේ, "බ්‍රෙක්සිට් ගිවිසුම පිළිබඳව යළි සලකා බැලීමට බ්‍රිතාන්‍යයට අවශ්‍ය නම්" ඒ සඳහා කල් ලබා දීමට යුරෝපා සංගමයේ නායකයින් සූදානම් බවය.

පසුගිය සතිය පුරා, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ බ්‍රෙක්සිට් සම්බන්ධ ඡන්ද විමසීම් මාලාවක් සිදු කෙරිණි.

'ආර්ටිකල් 50'

තෙරේසා මේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් ගිවිසුම දෙවන වරටත් ප්‍රතික්ෂේප වූයේ, පසුගිය අඟහරුවාදා දිනයේය.

බදාදා දිනයේදී පැවති ඡන්ද විමසීමෙන්, ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන තීරණයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විපක්ෂව ඡන්දය භාවිත කළහ.

කෙසේ වෙතත්, එම ඡන්ද ප්‍රතිඵලය මත ක්‍රියා කළ යුතු බවට කිසිදු නීතිමය බැඳීමක් නොමැත. එහෙයින් පවතින නීතියට අනුව මාර්තු 29 වන දා වන විට කිසිදු ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ හියාව ද එක්සත් රාජධානියට පවතී.

මේ අතර, යුරෝපා සංගමයෙන් ඉවත් වීම වෙනුවෙන් පවතින 'ආර්ටිකල් 50' නමැති නීතිමය යාන්ත්‍රණය බල ගැන්වීම සඳහා තවත් කාලයක් ඉල්ලා සිටිය යුතුය යන යෝජනාව, ඡන්ද 413ට 202ක් ලෙස බ්‍රහස්පතින්දා සම්මතා විය.

මේ සම්බන්ධයෙන් යම් කල් ලබා ගැනීමක් අවශ්‍ය නම් ඊට යුරෝපා සංගමයේ සාමාජිකයින් 27 දෙනාගේ එක්ඟත්වයක් අවශ්‍ය වේ. ඒ පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා ඇරඹෙන යුරෝපා සමුළුවට පෙර සාකච්ඡා කළ යුතුය.

බ්‍රසල්ස්හි පැවැත්වෙන සමුළුවට පෙර, තෙරේසා මේ ඉදිරිපත් කළ ගිවිසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණහොත්, යුරෝපා සංගමයෙන් ඉවත් වීම ජූනි 30 වන දා තෙක් කල් දැමීම සඳහා ඉල්ලීමක් කිරීමට ඇයට හැකි වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර