සමුද්‍ර දූෂණය: පිලිපීනයේ මළ තල්මසෙකුගේ කුස තුළ ප්ලාස්ටික් කිලෝ හතළිහක්

Image copyright D' Bone Collector Museum Inc.

පිලිපීනයේ වෙරළට ගොඩ ගැසූ මළ තල්මසෙකුගේ කුස තුළ තිබී පොලිතින් මලු කිලෝ ග්‍රෑම් හතළිහක් සොයා ගත් බව පර්යේෂකයෝ පවසති.

'D'Bone Collector' කෞතුකාගාරයේ සේවකයන් පිරිසක් විසින් තල්මස් සිරුරු සොයා ගනු ලැබුවේ මාර්තු මස මුලදීය.

ෆේස්බුක් සමාජ ජාලයේ සටහනක් තබමින් කෞතුකාගාරය පවසා තිබුණේ, තල්මසෙකුගේ කුස තුළ මෙතරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් දුටු පළමු අවස්ථාව මෙය බවය.

පොලිතින් සහ ප්ලාස්ටික් මලුවලට අමතරව කුස තුළ තිබී හාල් ගෝනි දහසයක් ද සොයා ගනු ලැබිණි.

තල්මස් කුස තුළ තිබී සොයා ගත් ද්‍රව්‍යවල සම්පූර්ණ ලැයිස්තුවක් ඉදිරි සති කීපය තුළ ප්‍රකාශයට පත් කරන බව කෞතුකාගාරය වැඩිදුරටත් සඳහන් කරයි.

"මෙතරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් මා බලාපොරොත්තු වූයේ නැහැ," කෞතුකාගාරයේ නිර්මාතෘ සහ සභාපති ඩැරල් බ්ලැච්ලි සීඑන්එන් පුවත් සේවයට පවසා තිබිණි.

පිලිපීනය ඇතුළු නැගෙනහිර ආසියානු රටවල් ගණනාවකට ඉවතලන ප්ලාස්ටික් ගැටලුවක් බවට පත්ව ඇත.

2015 වසරේ නිකුත් කරන ලද පාරිසරික වාර්තාවකට අනුව සාගරයට එක්වන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් 60% කට වගකිව යුත්තේ චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය සහ තායිලන්තය යන රටවල්ය.

පසුගිය ජූනි මාසයේදී ප්ලාස්ටික් මලු අසූවක් ගිල දැමූ තල්මසෙකු තායිලන්තයේදී මරණයට පත් විය.

ඉහත කී තල්මසා මරණයට පත් වූයේ කැළිකසළ අඩු කිරීම සඳහා පියවර නොගන්නේ නම් දශකයක් ඇතුළත සාගරයේ ඇති ප්ලාස්ටික් ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ යනු ඇති බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිවේදනය කිරීමෙන් කෙටි කලකට පසුවය.

ශ්‍රී ලංකාව

Image caption ශ්‍රී ලංකාවේ මට්ටක්කුලිය වෙරළ තීරය

2010 වසරේ නිකුත් කරන ලද වාර්තාවකට අනුව ලොව වෙරළ කලාපය දූෂණය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පස්වන ස්ථානයේ පසු වේ.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළ දිනකට:

  • එක් පුද්ගලයෙකු උත්පාදනය කරන කැළිකසළ ප්‍රමාණය කිලෝග්‍රැම් 5.1
  • උත්පාදනය කෙරෙන සම්පූර්ණ කැළිකසළ ප්‍රමාණය කිලෝග්‍රෑම් 7,429,768
  • උත්පාදනය කෙරෙන ප්ලාස්ටික් කැළිකසළ ප්‍රමාණය කිලෝග්‍රෑම් 5,163,689

ශ්‍රී ලංකාව වසරකට කළමනාකරණය නොකරන ලද කසළ මෙට්‍රික් ටොන් මිලියන 1.59 ක් බැහැර කරන බව ද ඉහත කී වාර්තාවේ සඳහන් වේ.

කෙසේ නමුත් එකී වාර්තාව සැකසීම සඳහා කරන ලද උපකල්පනය කිරීම් සහ ගණනය කිරීම්වල පැවති දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාව පස්වන ස්ථානයට වර්ගීකරණය වී ඇති බව සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරිය මීට ඉහතදී බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

සාගරයට එක් වන ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍යවලට අමතරව කැළිකසළ ආහාරයට ගැනීම හේතුවෙන් මරණයට පත් වන අලි පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වේ.

මේ අතර, මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි වැවක තිබෙන ප්ලාස්ටික් බෝතල් දැක්වෙන මෙම ඡායාරූපය ෆේස්බුක්හි පළ වී තිබිණි.