Fake News: සමාජ මාධ්‍යවල පළවූ අසත්‍ය පුවතක් නිසා ප්‍රංශයේ ප්‍රහාර මාලාවක්

Image copyright Getty Images
Image caption 'සුදු පැහැති වෑන් රථයක සිටින මිනිසෙකු' මාර්ගවල සිටින දරුවන් පැහැර ගන්නා බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වී තිබිණි

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අසත්‍ය පුවතක් නිසා ප්‍රංශයේ ජන ප්‍රජාවකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ළමුන් පැහැර ගන්නා බවට අසත්‍ය පුවතක් පැතිර යාමත් සමග ප්‍රංශයේ රෝමා ජන ප්‍රජාව වෙත ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත.

කෙසේ වෙතත්, 'සුදු පැහැති වෑන් රථයක සිටින මිනිසෙකු' මාර්ගවල සිටින දරුවන් පැහැර ගන්නා බවට පළ වී ඇති අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් "කිසිදු තොරතුරක් හමු නොවූ" බව පොලිසිය පවසයි.

පොලු මුගුරුවලින් රෝමා ජන ප්‍රජාවට පහර දුන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ සඳුදා රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

Image copyright Getty Images

සුදු පැහැති වෑන් රථයකින් පැමිණෙන පුද්ගලයෙකු විසින් දරුවන් සහ තවත් පුද්ගලයින් පැහැර ගන්නා බවට පසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය පුවත් හේතුවෙන් එය ගණිකා වෘත්තියට හෝ නීති විරෝධී අවයව ජාවාරමකට සම්බන්ධ බවට අදහස් පළ විය.

ඇතැම් විට වෑන් රථය රතු පැහැතිය, වෙනත් ප්‍රදේශයක එය කහ පැහැතිය. එසේ නැතහොත් අදාළ පුද්ගලයා බල්ගේරියානු හෝ රුමේනියානු සම්භවයක් සහිත අයෙකි. මෙවැනි ආරංචි වට්ස්ඇප්, ස්නැප්චැට් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වී තිබිණි.

එහෙත්, එවැනි සිද්ධියක් පිළිබඳව කිසිදු සාක්ෂියක් ලැබී නැත.

ඇත්තට ම මොක ද වෙන්නේ?

"වෑන් රථයකින් ළමුන් පැහැර ගන්නා බවට පළ වූ කටකතා කිසිවක් තහවුරු වී නැහැ. කිසි ම පැහැර ගැනීමක් ගැන අනාවරණය වී නැහැ," ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැරිස් පොලිසිය සඳහන් කළේය.

"මේ අසත්‍ය තොරතුරු ෂෙයා කරන්න එපා, ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අනුබල දෙන්න එපා," පැරිස් පොලිසිය අනතුරු ඇඟවීය.

සඳුදා දිනයේදී එම පහර දීම සිදුව ඇත්තේ, පැරිස් නගරයට ඊසාන දෙසින් පිහිටි 'Clichy-sous-Bois' සහ 'Bobigny' ප්‍රදේශවලය. ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාරකයින් බේස්බෝල් පිති, පිහි සහ ගල් මුගුරු රැගෙන පැමිණ ඇති බවය. එම පිරිසට 70 දෙනෙකු පමණ අයත් වූ බව වාර්තා විය.

පොලිසිය මෙන් ම නගරයේ බලධාරීන් ද පවසන්නේ, අතුරුදන් වීමක් හෝ පැහැර ගැනීමක් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවය.

කියවන්න.

මේ අතර, ළමුන් පැහැර ගන්නන් බවට සැක කර වෑන් රථ රියැදුරන් කිහිප දෙනෙකුට පහර දෙන දර්ශන ඇතුළත් වීඩියෝ ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වෙමින් පවතී.

ඇතැම් ප්‍රංශ මාධ්‍ය ආතනය අනාවරණය කර ඇත්තේ, අදාළ ඡායාරූප වසර ගණනකට පෙර ගනු ලැබූ ඒවා බවය.

මේ අතර, මෙම වෑන් රථ භීතිය "නාගරික මිථ්‍යාවක්" බවට ඇතැම් මාධ්‍ය හඳුන්වා තිබේ.

කෙසේ වෙතත්, ළමුන් පැහැර ගැනීමේ අවදානම සැලකිය යුත්තකි.

2017/18 වසරවල එක්සත් රාජධානියේ ළමුන් 1189 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධි වාර්තා වී තිබේ. ඉන් 20%ක් පවුලේ ඥාතීන් විසින් ද, 40%ක් ඥාතීන් නොවන දරුවා හඳුනන අය විසින් ද, 40%ක් නාඳුනන පුද්ගලයින් විසින් ද පැහැර ගනු ලැබ තිබේ.

කෙසේ වෙතත්, ඉන් බොහොමයක් අසාර්ථක පැහැර ගැනීමේ උත්සහයන් බව වාර්තාවල දැක්වේ.

ව්‍යාජ පුවතක් යනු?

ව්‍යාජ පුවත් (Fake News) සහ ඡායාරූප සමාජ ජාල තුළ විශාල වශයෙන් සැරිසරන අතර එවැනි පුවත් පළ කරනු ලබන පුද්ගලයන්ගේ අරමුණ එකිනෙකට වෙනස් විය හැක.

ව්‍යාජ පුවත් වර්ග දෙකකි

  1. සත්‍ය නොවන යමක් පිළිබඳ ජනතාව අතර විශ්වාසයක් ඇති කිරීමේ අරමුණින් හෝ වෙබ් අඩවි වෙත වැඩි අවධානයක් යොමු කරවා ගැනීම සඳහා ඇතැම් පිරිස් සිතාමතාම ව්‍යාජ පුවත් පළ කරති.
  2. ඇතැම් වාර්තාවල යම් සත්‍යයක් තිබුණ ද ඒවා සම්පූර්ණයෙන් නිවැරදි වාර්තා නොවේ. උදාහරණ: පුවතක් පළ කිරීමට ප්‍රථම මාධ්‍යවේදීන් හෝ බ්ලොග් ලේඛකයන් විසින් ඊට සම්බන්ධ කරුණු පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු නොකිරීම හෝ කරුණු උලුප්පා වාර්තා කිරීම.

ව්‍යාජ පුවත් සහ ශ්‍රී ලංකාව

සමාජ ජාල ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවත් සහ ඡායාරූප ලොව වෙනත් රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද බලපා ඇත.

සිංහරාජයේ සහ විල්පත්තුවේ වන විනාශයක් යැයි පවසමින් සමාජ ජාල ඔස්සේ ව්‍යාජ ඡායරූප විශාල වශයෙන් පළ විය.

මියන්මාරයේ රෝහින්ග්‍යා අර්බුදය හටගත් අවස්ථාවේ රෝහින්ග්‍යා මුස්ලිම්වරු ශ්‍රී ලංකාවට ද පැමිණෙමින් සිටින බවට සමාජ ජාල ඔස්සේ ව්‍යාජ පුවත් පළ විය.

එමෙන් ම ආහාරවලට "වඳ පෙති" එක් කරන බව පවසමින් පුවත් පළවීමත් සමග එහි පවතින විද්‍යාත්මක පසුබිම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඉදිරියට පැමිණියේය.

2018 වසරේ රටේ ඇතැම් ප්‍රදේශවල කලහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී මහජනතාව අතර වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට සහ යම් ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීමට ඇතැම් පාර්ශවයන් විසින් නීති විරෝධී ලෙස සමාජ මාධ්‍ය ජාල භාවිත කරනු ලැබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එවක පැවසීය.

ව්‍යාජ පුවතක් පළ කිරීමෙන් ගැලවී සිටීම සඳහා වැදගත්වන කරුණු කීපයක්.

  • අදාළ පුවත වෙනත් අයකු විසින් පළ කරනු ලැබ ඇත්දැයි සොයා බැලීම
  • අදාළ පුවත ගුවන් විදුලියේ, රූපවාහිනියේ හෝ පුවත්පතක පළකොට ඇත්දැයි සොයා බැලීම
  • අදාළ පුවත පළ කරනු ලැබ ඇති ආයතනය හෝ ෆේස්බුක් පිටුව පිළිබඳ මීට පෙර අසා තිබේද?
  • අදාළ පුවත පළ කරන ලද වෙබ් අඩවියේ විශ්වසනීයත්වය
  • ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවල ස්වභාවය (ඇතැම් විට සංස්කරණය කරන ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් ව්‍යාජ පුවත් පළ වේ)
  • අදාළ පුවත විශ්වාස දනවන සුළු දැයි යන්න සිතාබැලීම

ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් එවැනි පුවතක් පළ කිරීමෙන් වැළකී ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලිය හැක.

මේ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් සඳහා පහත ලිපිය කියවන්න.