හෝමෝ ල්‍යුසොනෙන්සිස්: වඳ වී ගිය මානව විශේෂයක කොටස් හමුවෙයි

Image copyright Florent Detroit
Image caption පිලිපීනයේ ල්‍යුසෝන් දූපතේ පිහිටි කැලවෝ කේව් නමැති හුණුගල් ගුහාව

මානව පවුලේ ඉතිහාසය අලුතෙන් ලිවීමට සිදුව තිබේ. ඒ, වඳ වී ගිය මානව වර්ගයක සාක්ෂි පිලිපීනයෙන් හමුවීම හේතුවෙනි.

එම මානව වර්ගය හෝමෝ ල්‍යුසොනෙන්සිස් ලෙස නම් කර තිබේ. ඒ සම්බන්ධ සාක්ෂි හමු වූයේ, පිලිපීනයේ විශාලතම දූපත ලෙස සැලකෙන ල්‍යුසෝන් (Luzon) දූපතෙනි.

එම මානව වර්ගයේ ශාරීරීක ලක්ෂණ, ආදි මානවයින්ගේ සහ මෑත කාලීන මානවයින්ගේ ලක්ෂණවල එකතුවක් ලෙස හඳුන්වයි.

මෙම නව සොයා ගැනීම් අනුව පැහැදිලි වන්නේ, ප්‍රාථමික මානව ඥාතීන් අප්‍රිකාව අතහැර අගින්දිග ආසියාව දෙසට සංක්‍රමණය වී ඇති බවය. මීට පෙර පැවති මත අනුව එය එසේ විය නොහැකි බවට තර්ක කෙරිණි.

මෙම නව සොයා ගැනීම්වලින් පෙනී යන්නේ, අග්නිදිග ආසියානු කලාපයේ මානව පරිණාමය වටහා ගැනීම අතිශය සංකීර්ණ වූවක් බවය.

Image copyright FLORENT DETROIT
Image caption ඔවුන්ගේ ඇඟිලි සහ පාද අස්ථි වක්‍ර ස්වභාවයකින් යුක්ත වන අතර, ඔවුන්ගේ ජීවන රටාව තුළ ගස් හෝ කඳු නැගීම වැදගත් අංගයක් වන්නට ඇත

අප්‍රිකානු කලාපයේ සිට සංක්‍රමණය වූවන් අග්නිදිග ආසියාවට පැමිණෙන විට එම කලාපයේ තවත් මානව විශේෂ තුනක් හෝ ඊට වැඩි ගණනක් වාසය කර තිබීම ඊට හේතුවයි.

එසේ වාසය කළ එක් මානව විශේෂයක් වන්නේ, "හොබිට්" හෙවත් හෝමෝ ෆ්ලොරෙසියන්සිස් (Homo floresiensis) යනුවෙන් හඳුන්වන අතිශය කුඩා මානව විශේෂයයි. ඔවුන් මීට වසර 50000කට පෙර ඉන්දුනීසියාවේ ෆ්ලෝරෙස් (Flores) දූපතේ වාසය කර ඇත.

"හෝමෝ ෆ්ලොරෙසියන්සිස් මානව විශේෂය සම්බන්ධයෙන් කළ සොයා ගැනීම් පිළිබඳව 2004 වසරේදී තොරතුරු වාර්තා කිරීමෙන් පස්සේ, මම කිව්වා ෆ්ලොරෙස් දූපත ආශ්‍රිතව ලැබුණු සාක්ෂි කලාපයේ වෙනත් දූපත්වලිනුත් ලැබෙනු ඇති බව," ලන්ඩන්හි ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ මහාචාර්ය ක්‍රිස් ස්ට්‍රින්ගර් පවසා තිබිණි.

"ඒ අනාවැකිය ෆ්ලෝරෙස් දූපතට කිලෝමීටර් 3000ක් එහායින් පිහිටි ල්‍යුසෝන් දූපතෙන් තහවුරු වෙලා තියෙනවා."

පිලිපීනයේ ල්‍යුසෝන් දූපතේ පිහිටි කැලවෝ කේව් නමැති හුණුගල් ගුහාවේ තිබී සොයා ගැනුණු සාක්ෂි Nature සඟරාවෙහි පළ කර තිබේ. එම අස්ථි කැබලි වසර 67000 - 50000කට පෙර කාලයට අයත් බව නිර්ණය කර තිබේ.

එහිදී අස්ථි කොටස් 13ක් සොයාගෙන තිබේ. ඒ අතර, දත්, අතක අස්ථියක්, පාද අස්ථි මෙන් ම කලවා අස්ථියක් ද වේ. එම කොටස් වැඩිහිටියන් තිදෙනෙකුට සහ කුඩා දරුවෙකුට අයත් බවට තහවුරු කරගෙන ඇත.

හෝමෝ ල්‍යුසොනෙන්සිස් නමැති මානව විශේෂය වත්මන් මානවයින්ගේ ලක්ෂණවලට සමාන ශාරීරික ලක්ෂණවලින් යුක්තය. එහෙත්, සෙසු ශාරීරික ලක්ෂණ australopithecine නමැති විශේෂයට සමානය. ඔවුන්ගේ ඇවිදීම වසර මිලියන 4කට පෙර අප්‍රිකාවේ විසූ මුල් කාලීන මානව විශේෂවලට සමාන වානර ලක්ෂණවලින් සමන්විතය.

ඔවුන්ගේ ඇඟිලි සහ පාද අස්ථි වක්‍ර ස්වභාවයකින් යුක්ත වන අතර, ඔවුන්ගේ ජීවන රටාව තුළ ගස් හෝ කඳු නැගීම වැදගත් අංගයක් වන්නට ඇත. මෙම ලක්ෂණ ද australopithecine නමැති මානව විශේෂයට බෙහෙවින් සමානය.

Image copyright FLORENT DETROIT

australopithecine මානව විශේෂයට සමාන මෙම නව මානව විශේෂය අග්නිදිග ආසියාවට සංක්‍රමණය වූවා නම්, අප්‍රිකාව හැර ගිය පළමු මානව විශේෂය කවුරුන් ද යන්න පිළිබඳව නව මතයක් ඉදිරිපත් වනු ඇත.

වසර මිලියන 1.9කට පෙර පළමු වරට අප්‍රිකාව හැර ගිය පළමු මානව සාමාජිකයා හෝමෝ ඉරෙක්ටස් (Homo erectus) බව බොහෝ කාලයක සිට පවතින මතයයි.

ල්‍යුසෝන් දූපතෙන් හමුවූ අස්ථි කොටස් අයත් මානව විශේෂයට එම දූපතට ළඟා වීමට තිබූ එක ම මාර්ගය මුහුදයි. මෙම සොයා ගැනීම් අනුව මතු වන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ, ආදි මානව විශේෂ දූපතට ළඟා වූයේ කෙසේ ද යන්නය.

හෝමෝ ල්‍යුසෝනන්සිස් විශේෂයට අමතරව ඩෙනිසෝවන් (Denisovan) නමැති මානව විශේෂයක් ද අග්නිදිග ආසියාව සිය වාස භූමිය බවට පත් කරගෙන සිට ඇත. ඔවුන් ප්‍රාථමික නූතන මානවයා ලෙස සැලකෙන හෝමෝ සේපියන් (Homo sapiens) සමග සම්මිශ්‍රණය වූ බවට සාක්ෂි පවතී.

මෙම සාක්ෂි ලැබී ඇත්තේ, ඩීඑන්ඒ පරීක්ෂා කිරීම්වලින් වන අතර, එම කලාපයෙන් ඩෙනිසෝවන් මානව විශේෂයේ ෆොසිල මෙතෙක් හමුවී නොමැත.

ඉන්දුනීසියාවට අයත් ෆ්ලෝරෙස් දූපත හෝමෝ ෆ්ලොරෙසියන්සිස් මානව විශේෂයට වාස භුමිය වී ඇති අතර ඔවුන් අතිශය කුඩා ශරීර ඇත්තන් වූ හෙයින් හොබිට් ලෙස නම් කර තිබේ. ඔවුහු මීට වසර 100000ක සිට වසර 50000කට පෙර කාලය දක්වා ජීවත් වී ඇති බවට විශ්වාස කෙරෙති. ඔවුන් නූතන මානවයාගේ ආගමනය සමග ඔවුන් වඳ වී යන්නට ඇති බව පෙනී යයි.

බීබීසී විද්‍යා සංස්කාරක පෝල් රින්කන්ගේ ලිපියක් ඇසුරෙනි.