නොට්‍ර ඩාම්: ප්‍රංශ ජනපතිගේ 'පොරොන්දුව'

ප්‍රංශ ජනපතිගේ 'පොරොන්දුව'

ඡායාරූප මූලාශ්‍රය, AFP

හදිසි ගින්නකින් විනාශයට පත්වූ නොට්‍ර ඩාම් දේවස්ථානය 'වඩාත් ආකර්ෂණීය' ලෙස ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසයි.

එහි කටයුතු වසර පහක් තුළ නිම කිරීමට තමන්ට අවශ්‍ය බව ඔහු පැවසීය.

පැරිස් නගරයේ පිහිටි මෙම ගොඩනැගිල්ල ගොතික් සම්ප්‍රදායට අයත් නිර්මාණයකි. වසර 850ක් පමණ පැරණි මෙම ගොඩනැගිල්ලට සඳුදා (අප්‍රේල් 15) ඇතිවූ විශාල ගින්නකින් හානි සිදු විය.

දේවස්ථානයේ කොත ගිනිබත් වී කඩා වැටුණු අතර වහලයේ බොහෝ කොටසක් ගින්නෙන් විනාශ විය.

ගින්න නිසා තව සුළු මොහොතක් පමා වූයේ නම් දේවස්ථානය සම්පුර්ණයෙන් විනාශ වීමට පවා ඉඩ තිබූ බව නිලධාරීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ප්‍රංශ ජනාධිපතිවරයාගේ පොරොන්දුව කුමක් වුවද ප්‍රතිසංස්කරණය සම්පුර්ණ කිරීමට දශක කිහිපයක් ගත විය හැකිය යන්න විශේෂඥ මතයයි.

ගින්නට හේතුව සෙවීමට 50 දෙනෙකු පත්කර තිබේ.

මෙය වුවමනාවෙන් ඇති කළ ගින්නක් ලෙස මෙතෙක් නොසලකන අතර එය අනතුරක් ලෙස සලකයි.

මේ වන විට මෙම යුනෙස්කෝ ලෝක උරුමය නැවත ගොඩනැගීම සඳහා විවිධ සමාගම් සහ ධනවතුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 902ක් ලබාදෙන බවට පොරොන්දු වී තිබේ.

ජනාධිපතිගේ පොරොන්දුව

පැරීසිය 2024දී ඔලිම්පික් උළෙලේ සත්කාරක නගරය වන අතර රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ජනාධිපති මැක්‍රෝන් පැවසුවේ ඊට පෙර විනාශ වූ දේවස්ථානය නැවත යථා තත්ත්වයට පත්වනු දැකීම තම අපේක්ෂාව බවය.

"අපිට එය කරන්න පුළුවන්," ප්‍රංශ ජනපති පැවසීය.

ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ජාත්‍යන්තර වශයෙන් අරමුදල් රැස් කිරීමේ ක්‍රමවේදයක් අරඹන බවද ඔහු මේ වන විටත් පොරොන්දු වී තිබේ.

විනාශය කෙතරම් ද?

ගින්න ප්‍රථමයෙන් හඳුනාගෙන තිබුණේ සඳුදා සවස 6.43 (ග්‍රිනිජ් වේලාවෙන් 16:43) ටය . එය සම්පුර්ණයෙන් නිවා දැමීමට පැය 15ක් ගතවිණි.

දේවස්ථානයේ වහලය විශාල වශයෙන් විනාශයට පත්ව ඇති අතර අලංකාර කොත කඩා වැටිණි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගින්නට පෙර, ගිනි ගන්න විට සහ ගින්නෙන් පසු

සිදුවූ විනාශය තක්සේරු කිරීම සඳහා විශේෂඥයින්ට තවමත් එම ස්ථානයට ළඟා වීමට ඉඩ ලබාදී නොමැති අතර ගිනි නිවන භටයෝ සිදු වූ විනාශය ගැන අදහසක් ගැනීමට ඩ්‍රෝන යානයක් යැවුහ.

ගින්නෙන් හානි නොවූ කලා නිර්මාණ සහ ආගමික වැදගත්කමක් ඇති අයිතම ලොව විශාලතම කෞතුකාගාරය ලෙස සැලකෙන පැරිස් නගරයේ පිහිටි ලුව්රේ කෞතුකාගාරය තුළ තැන්පත් කිරීමට නියමිතය.

ජේසුස් වහන්සේ කුරුසයේ තබා ඇණ ගැසීමට පෙර පැළඳ සිටියා යැයි සැලකෙන 'කටු ඔටුන්න' සහ ප්‍රංශයේ 9 වන ලුවී රජු එම 'කටු ඔටුන්න' පැරිස් නුවර කරා රැගෙන එන අවස්ථාවේ ඇඳ සිටි කබාය ද ඒ අතර වේ.

දේවස්ථානයේ තබා ඇති චිත්‍ර නිර්මාණ සිකුරාදා එම ස්ථානයෙන් ඉවත් කිරීමට නියමිතය.