ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය: මරා දැමූ මාධ්‍යවේදී මවට සාධාරණය ඉටු කිරීමට සටන් වදින මාධ්‍යවේදියෙක්

Daphne Caruana Galizia, 2011 file pic Image copyright Reuters
Image caption ඩැෆ්නි කරුවානා ගලීසියා මෝල්ටා රජයේ වංචා සහ දූෂණ ගවේෂණාත්මකව වාර්තා කළ මාධ්‍යවේදිනියකි

(මැතිව් කරුවානා ගලීසියා - ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය)

මගේ මවගේ ඝාතනය පිළිබඳව විමර්ශන සිදු කරන පුද්ගලයා සමග මාස කිහිපයකට වරක් කාමරයක ඉඳගෙන සිටීමට මට සිදුව තිබේ. ඔහු අපගේ පවුලේ සාමාජිකයින්ට මුණ ගැසුණේ මීට වසර 6කට පෙර, මගේ මව අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු අපේ නිවසට පැමිණි අවස්ථාවේදීය.

මැතිවරණයක් පැවති දිනයක මගේ මව විසින් අග්‍රාමාත්‍ය ධූර අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් උපහාසාත්මක බ්ලොග් ලිපියක් පළ කරනු ලැබ තිබිණි. ඒ සම්බන්ධයෙන් එම අපේක්ෂකයාගේ ආධාරකරුවෙකු පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

ඒ අනුව, නීතිවිරෝධී අදහස් ප්‍රකාශනය යනුවෙන් පමණක් හැඳින්විය හැකි අපරාධයක් සම්බන්ධයෙන්, අත්සන් තබන ලද වරෙන්තු පත්‍රයක් ද සමග විමර්ශන නිලධාරියෙකු මධ්‍යම රාත්‍රියේදී අපගේ නිවසට එවා තිබිණි.

මම ඒ වන විට වෙනත් රටක රැකියාව කරමින් සිටියෙමි. ඒ මොහොතේ අප හඳුනන පුද්ගලයින් කිහිප දෙනෙකු විසින්, පියාගේ කමිසයක් ඇඳ සිටි මගේ මව අලුයම 1.30ට පොලිස් ස්ථානයෙන් නිදහස් වී යන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මා වෙත එවා තිබිණි.

ඉන් පැය කිහිපයකට පසු ඇය යළිත් අන්තර්ජාලයට පිවිස තමන්ට සිදුවූ අපහසුතාව පිළිබඳව ඇගේ වෙබ් අඩවියේ ලිපියක් පළ කර තිබිණි. එහි නව අග්‍රාමාත්‍යවරයාට ආත්ම විශ්වාසයක් නොමැති බවට සහ අදාළ දර්ශනවල තමන් දකින්නට ලැබුණු ආකාරය ගැන උපහාසාත්මක අදහස් ද පළ කර තිබිණි.

"මගෙන් සිදුවූ ව්‍යාකූලත්වය ගැන මම කනගාටුව පළ කරනවා. ඒත් ඝාතන පරීක්ෂකයින් යමෙක් අත්අඩංගුවට ගන්න රාත්‍රියේ නිවසට ආවා ම... කොණ්ඩය පීරා ගන්න එක, පියරු තවරා ගන්න එක සහ ඇඳුම් තෝරා ගන්න එක හිතට එන්නේ අන්තිමට ම," ඇය ලියා තිබිණි.

දැන්, එදා රාත්‍රියේ මගේ මව අත්අඩංගුවට ගත් ඒ නිලධාරියා ම ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කණ්ඩායමේ ප්‍රධානියා බවට පත් වී තිබේ.

Image copyright Getty Images
Image caption මැතිව් කුඩා කාලයේ සිය මව සමග

ඇය ඝාතනය කරන ලද දිනයේ, මගේ මව වන ඩැෆ්නි කරුවානා ගලීසියා (Daphne Caruana Galizia) රජයේ අමාත්‍යවරයෙකු විසින් අත්හිටුවන ලද ඇයගේ බැංකු ගිණුම යළි සක්‍රීය කර ගැනීම සඳහා බැංකුව වෙත ගොස් තිබිණි.

ඒ වන විට මගේ මවගේ වයස අවුරුදු 53ක් වූ අතර, ඇයගේ 30 අවුරුදු මාධ්‍ය රැකියාවේ හිනි පෙත්තට නැග සිටියාය.

ටීඑන්ටී රාත්තලක ප්‍රමාණයක් පුරවන ලද උපකරණයක් ඇගේ මෝටර් රථයේ අසුන යට තබා එය දුරස්ථව පුපුරුවා හැර තිබිණ.

රජයේ ආධාරකරුවෝ එම ඝාතනය ප්‍රසිද්ධියේ සැමරූහ. ඒ දුටු මට සිහියට නැගුණේ, තුර්කි - ආර්මේනියානු පුවත්පත් සංස්කාරකයෙකු වූ හ්‍රාන්ට් ඩින්ක් ඝාතනය කිරීමෙන් පසු සැමරූ ආකාරයය.

සමහරුන් පැවසුවේ, මා විසින් ඒ ඝාතනය සැලසුම් කරනු ලැබූ බවය. තවත් අය පැවසුවේ, මගේ මව සිය කැමැත්තෙන් ම ඇගේ ජීවිතය අනතුරේ හෙළා ගත් බවය. සිරියාවේදී පැහැරගෙන ගොස් හිස ගසා ඝාතනය කළ ඇමෙරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆෝලි සම්බන්ධයෙන් ද ඉදිරිපත් කරනු ලැබුවේ, එවැනි මඩ ප්‍රචාරයන්ය.

ඩැෆ්නි කරුවානා ගලීසියාගේ ඝාතනය

  • 2017 ඔක්තෝබර්: ගවේෂණාත්මක මාධ්‍යවේදිනී ඩැෆ්නි කරුවානා ගලීසියා මෝටර් රථයක සවි කළ බෝම්බයකින් ඝාතනය විය.
  • එම ඝාතනය "ම්ලේච්ඡ" ක්‍රියාවක් බව අග්‍රාමාත්‍ය ජෝසෆ් මස්කට් පැවසීය. මෝල්ටාවේ නායකයින්ට ඇයගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට අවසර නොදීමට පවුලේ සාමාජිකයෝ තීරණය කළහ.

මේ ඝාතන පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඇයි?

"තොරතුරු සහ අදහස් නිදහස්ව ගළා ඒම, මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරිත්වය මගින් සාධාරණ සහ නිදහස් සමාජයන් නිර්මාණය වෙනවා," මගේ සොහොයුරා යුරෝපා සංගමයේ නිලධාරීන් පිරිසක් හමුවූ අවස්ථාවක පැවසීය.

"ඒ මගින් සමාජය වඩාත් පෝෂණය වෙනවා වගේ ම නම්‍යශීලී වෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් එවැනි සමාජ ජීවත් වීමට වඩාත් සුදුසු සමාජ බවට පත් වෙනවා."

මවගේ ඝාතනයෙන් පසු අප ලද එක ම සැනසීම විවිධ මිනිසුන්ගෙන් ලැබුණු උතුරා යන සහයෝගය, ශෝකය සහ කනස්සල්ල පමණය.

ඒ පිළිබඳව මම මවිතයට පත් වීමි. මට මගේ මිතුරෙකු පැවසූ කරුණක් සිහියට නැගිණි: "හොඳ මිනිස්සු හැම තැන ම ඉන්නවා; අපි ඒ අයව හොයා ගන්න ඕන."

සෑම පුද්ගලයෙකුට ම සමානව නීතිය ක්‍රියාත්මක වන, මානව හිමිකම්වලට ගරු කරන නිදහස් සහ විවෘත සමාජයක ජීවත් වීමට මිනිසුන් තුළ ඇති කැමැත්ත විශ්වීය සත්‍යයකි. එහෙත්, බොහෝ ආශාවන් නිසා එය උණුසුම සහ සිසිලස අතර දෝලනය වෙයි.

මිනිස් රෝග වැනි අයහපත් මිනිසුන් කිහිප දෙනෙකු අප ආක්‍රමණය කර ඇති බව දැන ගන්නා විට හැම විට ම අප ප්‍රමාද වී හමාරය.

මාගේ සොහොයුරන්ගේ, පියාගේ මෙන් ම මාගේ අරමුණ මවගේ බරපතළ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කර ගැනීමත්, ඇයගේ ගවේෂණයන්ට සාධාරණය ඉටු කිරීමත්, මෙවැනි සිද්ධියක් නැවත සිදු වීමට ඉඩ නොතැබීමත්ය.

Image copyright Getty Images
Image caption මැතිව් සහ ඔහුගේ සොහොයුරු පෝල් සිය මව වෙනුවෙන් සාධාරණය ඉල්ලති

අප පවුලේ සාමාජිකයින් ඇතැම් අවස්ථාවලදී සාකච්ඡා කරනුයේ, බලධාරීන්ගේ උදාසීනත්වයත්, අක්‍රියභාවයත් හමුවේ අපගේ ඉවසීමේ සීමාව ආසන්නයට ම පැමිණ සිටින බවය.

ඔවුන්ගේ නරුමකම් සහ උදාසීනත්වයට එරෙහිව හඬක් නොනගමින් ඉවසා සිටීම අතිශය දුෂ්කරය.

තුර්කි ගවේෂණාත්මක මාධ්‍යවේදී උගුර් මුම්කුගේ දරුවන් මා සමග පැවසුවේ, සිය පියා මෝටර් රථයේ ඇටවූ බෝම්බයකින් ඝාතනය කළ පසු පොලිස් ප්‍රධානියා සමාව ඉල්ලමින් මෙසේ පැවසූ බවය. "අපට කිසිවක් කරන්න බැහැ, අපි ඉස්සරහින් ගඩොල් බිත්තියක් තියෙනවා."

ඊට ඔවුන්ගේ මව ප්‍රතිචාර දක්වා ඇත්තේ, "එහෙනම් එක ගඩොලක් ඉවත් කරන්න, ඊළඟට තව එකක්, මුළු බිත්තිය ම කඩා වැටෙන තුරු ගඩොල් ඉවත් කරන්න," යනුවෙනි.

මගේ මව ඝාතනය වූ දා සිට අප කරමින් සිටින්නේ, එයයි.

මා මුලින් ම ඇති කර ගත් අරමුණ වූයේ, කුමක් සිදු වුව ද අපේ උපරිමය කිරීමය. දැන් මාහට වැටහී ඇත්තේ, අපේ අරමුණු තරමට ම අරමුණු ඉටු කර ගන්නා ක්‍රියාවලිය ද අතිශය වැදගත් බවය.

සිය කාර්යභාරය ඉටු කිරීමට සහ සාධාරණත්වය ස්ථාපනය කිරීමට රජයට බලපෑම් කිරීම හරහා අදහස් පළ කිරීමේ නිදහසට ගරු කිරීම තුළින් සංස්කෘතිකමය වෙනසක් කිරීමට අපි බල කරමින් සිටිමු.

මානව හිමිකම්වලට ගරු කිරීම පිළිබඳව ලෝකයට ඉගැන්වීම සඳහා අපි "නිදහස අහිමි කිරීම" නමැති රෝගය මුලිනුපුටා දැමීමට උත්සහ කරන්නන් සමග එක්ව සිටිමු.

Image copyright Getty Images
Image caption ඩැෆ්නේ කරුවානා ගලීසියාගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා පැවති විරෝධතාවක්

"නිදහස ආරම්භ වන්නේ, හෘදය සාක්ෂියේ නිදහස සමගයි," 2017 වසරේදී මාලදිවයින්හි සිය නිවස අසලදී ඝාතනය වූ ලේඛක යමීන් රෂීඩ් තමන් ඝාතනය වීමට දින 5කට පෙර අප සමග පැවසීය.

"මනසේ මූලික නිදහසක් නැතිව, වෙන මොන නිදහසක් තිබුණත් ඵලක් තිබේ ද?"

මාගේ මවගේ ඝාතනය මගින් මෙන් ම ඔහුගේ ඝාතනය මගින් ද පෙනී ගියේ, අපගේ රටවල් තුළ එවැනි නිදහසකට ගරු කිරීමක් නොලැබෙන බවය.

එය අපට පමණක් නොව නිදහස වෙනුවෙන් අරගල කරන ඝාතනයට ලක්වූ සහ සිරගත කෙරුණු මාධ්‍යවේදීන්ගේ පවුල්වල සාමාජිකයින්, පෙම්වතියන්, සහ පෙම්වතුන්ට ද අදාළය.

එම දැවැන්ත වගකීම අප උරමත රැඳී ඇතත් එය අපට තනිව දරාගෙන සිටිය නොහැක. සෑම තැනක ම සිටින යහපත් මිනිසුන් අප සමග එක්විය යුතුය.

ලෝක මාධ්‍ය නිදහස දිනය

  • ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර සෑම වසරක ම මැයි 03 වන දා එය සමරයි.
  • 2019 වසරේ එහි තේමාව වන්නේ, 'අසත්‍ය ප්‍රචාර අතරතුර මාධ්‍යය සහ මැතිවරණ' යන්නය.
  • ලෝක මාධ්‍ය නිදහස දිනය සැමරීමේ අරමුණ වන්නේ, ලෝකය පුරා මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමත් එහි වටිනාකම පෙන්වා දීමත්ය. ඊට අමතරව රාජකාරියට සම්බන්ධව ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීම ද එහි තවත් අරමුණකි.
  • මාධ්‍යවේදීන් සඳහා වන ජාත්‍යන්තර සම්මේලනයේ වාර්තා අනුව ඝාතන, බෝම්බ ප්‍රහාර හෝ වෙඩි තබා ගැනීම්වලට මැදි වීමෙන් පසුගිය වසරේදී පමණක් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයින් 95 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාධ්‍යවේදීන් ඝාතන සිද්ධි තවත් රැසක් තිබේ. ජනතාවගේ ආදරයට පාත්‍ර වී සිටි සෞදි තීරු ලිපි රචක ජමාල් කෂෝගි මතකයේ තිබේ.

එම ලේඛකයා ඝාතනය කිරීමට එක් පුද්ගලයෙකුගේ සිතේ ඔහු කෙරෙහි පැවති වෛරය පමණක් ප්‍රමාණවත් විය.

මගේ මවගේ ඝාතනය ඇතුළු මෙම කිසිදු ඝාතනයකට වගකිව යුතු ඝාතකයින් කවුරුන් ද යන්න සොයා ගැනීම සඳහා අර්ථාන්විත උත්සහයක් දරන ලකුණක් හෝ පෙනෙන්නට නැත.

Image copyright Getty Images
Image caption සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි 2018 ඔක්තෝබර් මාසයේදී ඝාතනය කෙරිණි.

ඒ හේතුවෙන්, පළමු ගඩොල ඉවත් කිරීම අපි අරඹා සිටිමු. අපගේ ඉල්ලීම වන්නේ, මෝල්ටාවේ අතිශය වැදගත් මාධ්‍යවේදිනියකගේ ඝාතනය වැළැක්වීමට නොහැකි වූයේ මන්ද යන්න පිළිබඳව ප්‍රසිද්ධ විමර්ශනයක් පවත්වන ලෙසය.

ඉන්පසු, අපි ඊළඟ ගඩොල දෙසට හැරෙන්නෙමු.

මා සිතනුයේ, මාගේ මවට ඇගේ රට වෙනුවෙන් මෙසේ සිය ජීවිතය කැප කිරීමට සිදු නොවූයේ නම් කියාය, ඇය තවමත් ජීවතුන් අතර සිටිනු දැකීමට මම කැමැත්තෙමි.

සිරගත කර සිටින අසර්බයිජාන් මාධ්‍යවේදිනී ඛදීජා ඉස්මයිලෝවා පැවසුවේ, "අපි ඇත්තට ම ආදරය කරනවා නම් අපි ආදරය කරන්නන් කවුරුන් ද යන්න අපි දැන ගත යුතුයි. ඒ අනුව ඩැෆ්නි කියන්නේ, සටන්කාරියක් සහ වීරවරියක්," යනුවෙනි.

ඇගේ මරණය මෝල්ටාවේ සහ ඉන් ඔබ්බට දහස් ගණනකගේ වීර ක්‍රියාවන්ට බලපෑම් කළ බව මගේ මවට දැන ගැනීමට නොලැබෙනු ඇත.

ඒ සෑම ක්‍රියාවක් හරහා ම මගේ මවට අත් වූ ඉරණම වෙනත් නිර්භීත මාධ්‍යවේදියෙකුට සිදු නොවී ඔවුන් ආරක්ෂා වන බව සිතීමට මම කැමැත්තෙමි.

මේ ලිපිය ගැන

මැතිව් කරුවානා ගලීසියා යනු ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි. ඔහු 2017 වසරේදී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කරන ලද ඩැෆ්නි කරුවානා ගලීසියා මාධ්‍යවේදිනියගේ පුත්‍රයාය. මේ ට්විටර් ගිණුම ඔස්සේ ඔබට ඔහුගේ අදහස් දැනගත හැකිය.