ගැල්ලප් වාර්තාව: කෝපයෙන් සහ ශෝකයෙන් පෙළෙන ලෝකය

World is angry and stressed Image copyright Getty Images
Image caption සෑම පුද්ගලයන් පස් දෙනෙකු අතරින් කෙනෙකු තමන් ඉතා ඉක්මනින් ශෝකයට සහ කෝපයට පත්වන බව පවසා තිබේ

ලොව වටා දිවි ගෙවන පුද්ගලයන් අතර කෝපය, මානසික ආතතිය මෙන්ම කනස්සල්ල දිනෙන් දින වැඩි වෙමින් තිබෙන බව නවතම ගෝලීය සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මේ සඳහා රටවල් 140ක දිවි ගෙවන පුද්ගලයන් 150,000ක් සමග සාකච්ඡා පවත්වා තිබෙන අතර, ඉන් තුනෙන් එකක් පැවසුවේ තමන් මානසික ආතතියෙන් පෙළෙන බවය.

ඒ අතර, සෑම පුද්ගලයන් පස් දෙනෙකු අතරින් කෙනෙකු තමන් ඉතා ඉක්මනින් ශෝකයට සහ කෝපයට පත්වන බව පවසා තිබේ.

වසරකට වතාවක් එළිදක්වන Gallup Global Emotions නම් වාර්තාවේ මිනිස් හැඟීම් ගැන මෙන්ම ඔවුන්ගේ ධනාත්මක සහ සෘණාත්මක අත්දැකීම් ගැන සිදු කළ සමීක්ෂණයක තොරතුරු ඇතුළත් විය.

මධ්‍යම අප්‍රිකානු රටක් වන චැඩ් සෘණාත්මක හැඟීම් වැඩිම රටය. එමෙන්ම, පැරගුවේ ධනාත්මක හැඟීම් වැඩිම රට ලෙස වාර්තාවේ සඳහන් වේ.

ධනාත්මක හැඟීම් අතරින් ඇමරිකාව 39වෙනි ස්ථානයේ පසුවන අතර එක්සත් රාජධානියට හිමිව ඇත්තේ 46වෙනි ස්ථානයයි. ඉන්දියාව 93වෙනි ස්ථානයේ පසු වේ.

මෙයට සහභාගී වූ සෑම පුද්ගලයෙකුගෙන්ම අසා සිටියේ සමීක්ෂණය සිදු කිරීමට පෙර දින ඔවුන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳය.

"ඔබ ඊයේ දින බොහෝ වෙලාවක් සිනාසුනා ද?", "ඔබට ඊයේ දින ගෞරවාන්විත සැලකුම් ලැබුණා ද?" වැනි ප්‍රශ්න සමීක්ෂකයන් අදාළ පුද්ගලයන් යොමු කර තිබේ.

තමන් පෙර දින යම් සතුටක් ලැබූ බව 71% පුද්ගලයන් පැවසූහ.

මානසික ආතතියෙන් පෙලෙන්නන් මෙන්ම ශෝකය සහ දොම්නසට පත්ව ඇති පිරිස ද වැඩි වී ඇති බව සමීක්ෂකයෝ පවසති. සමීක්ෂණයට සහභාගී කරගත් පුද්ගලයන් අතරින් 39%ක් පෙර දිනය කනස්සල්ලෙන් ගෙවා ඇති අතර, 35%ක් මානසික ආතතියෙන් පීඩා විඳ තිබේ.

මේ තොරතුරුද කියවන්න:

ධනාත්මක අත්දැකීම් වැඩිම රටවල් පහ

  • පැරගුවේ
  • පැනමා
  • ගෝතමාලාව
  • මෙක්සිකෝව
  • එල් සැල්වදෝරය

සෘණාත්මක අත්දැකීම් වැඩිම රටවල් පහ

  • චාඩ්
  • නයිජර්
  • සියෙරා ලියොන්
  • ඉරාකය
  • ඉරානය

පැරගුවේ, පැනමා සහ ගුවාතමාලා වැනි ලතින් ඇමරිකානු රටවල් කීපයක් ධනාත්මක අත්දැකීම් විඳින රටවල් අතර ඉහළින් සිටී. එම රටවලින් සමීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන් වැඩි පිරිසක් පවසා ඇත්තේ "සෑම දිනකම ධනාත්මක හැඟීම් දැනෙන" බවය.

"ජීවිතය දෙස ධනාත්මක ලෙස බලන්න" යැයි ලතින් ඇමරිකානු රටවල්වල දක්නට ඇති සංස්කෘතික ප්‍රවණතාව සමීක්ෂණයෙන් පිළිබිඹු වන බව ඉන් පෙන්වා දී තිබේ.

සෘණාත්මක අත්දැකීම් වැඩිම රට වන චැඩ් හි දිවි ගෙවන පුද්ගලයන් දස දෙනෙකුගෙන් හත් දෙනෙකුට වැඩි ප්‍රමාණයක් පැවසුවේ පසුගිය වසර තුළ කිසියම් හෝ අවස්ථාවක දී අත්‍යවශ්‍ය ආහාරපාන මිල දී ගැනීමට පවා ඔවුන්ට වෙහෙසීමට සිදු වූ බවය.

එරටින් සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 61% පැවසුවේ ඔවුන් ශාරීරික වේදනාවලට ද මුහුණ දී ඇති බවය.

දිගු කාලයක පටන් ගැටුම් පවතින චැඩ් හි යටිතල පහසුකම් අවම මට්ටමක පවතී. අප්‍රිකානු කලාපයේ අනෙක් රටවල් සමග සංසන්දනය කිරීමේ දී සමාජ සහ සෞඛ්‍ය සේවා ද ඇත්තේ අසතුටුදායක මට්ටමකය.

කෙසේනමුත්, මානසික ආතතියෙන් පෙළෙන වැඩිම පිරිසක් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ ග්‍රීසියේය.

ග්‍රීසියේ 59%ක් මානසික ආතතියෙන් පීඩා විඳින බව පවසා ඇති අතර, වැඩිහිටි ඇමරිකානුවන් අතරින් 55%ක ද මෙම තත්වය දැකගත හැකි බව වාර්තාවේ සඳහන් වේ.

තවත් තොරතුරු: