ආසියා බිබී: නබි නායකතුමාට අපහාස කළාද?

Image caption ආසියා බිබී කවදා කොතැනකට ගියේද යන්න තවමත් රහසකි

ඉස්ලාම් ධර්මයට අවමන් කිරීමේ චෝදනාවන්ට වරදකාරිය කොට මරණීය දණ්ඩනයට යටත් කිරීමෙන් අනතුරුව වසර කීපයක් එල්ලුම්ගස මානයේ සිටි පාකිස්තාන් කිතුනු කාන්තාවක් වන ආසියා බිබී රටහැර ගිය බව එරට නිලධාරීන් විසින් තහවුරු කරනු ලැබ ඇත.

2010 වසරේ දී තමාට නියම වූ මරණීය දණ්ඩනයට එරෙහිව ආසියා බිබී පාකිස්තාන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක් පසුගිය වසරේ ජය ගැනීමෙන් අනතුරුව නිදහස ලැබ සිටියාය.

ඇයට මරණීය දණ්ඩනය නියම කරනු ලැබ තිබුණේ සිය අසල්වැසියන් සමඟ ඇති වූ අරෝවක දී මොහොමඩ් නබිනායකතුමාට අවමන් කළ බවට එල්ල කෙරුණ චෝදනා සම්බන්ධයෙනි.

තමා එවැනි අවමන් කිරීමක් සිදු නොකළ බව ආසියා බිබී දිගින් දිගටම අධිකරණය ඉදිරියේ කියා සිටි අතර එම නඩුව පාකිස්තානය තුළ බෙදුණ සමාජ කතිකාවකට පවා හේතු විය.

ආසියා බිබී සිටින තැන රහසක්

සිරගෙයින් නිදහස ලද කිතුනු කාන්තාව කවදා කවර රටක් බලා පිටත් වීද? යන්න පාකිස්තාන් ආණ්ඩුවේ නිලධාරීන් විසින් හෙළිදරව් කොට නොමැත.

නබි නායකතුමාට අවමන් කළ බවට ආසියා බිබී පාපෝච්චාරණය කළ බව පවසමින් ඇයට චෝදනා කරන පුද්ගලයන් ඇයගේ නිවසේ දී ඇයට පහර දී ඇති බව පසුව හෙළිදරව් විය.

ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් පරීක්ෂණයකින් පසුවය.

Image copyright EPA
Image caption ඉස්ලාම් දහමට අවමන් කරන්නවුන්ට මරණීය දණ්ඩනය පණවනු - උද්ඝෝෂණයක්

ආසියා බිබී විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය විභාග කළ පාකිස්තාන් ශ්‍රේෂ්ඨාධිකරණය, චූදිත කාන්තාව නිදහස් කරමින් එම නඩුව විශ්වාසය තැබිය නොහැකි සාක්ෂි මත පදනම් වූවක් යයි ප්‍රකාශ කර තිබුණි.

එසේම බිබීට පාපෝච්චාරණයක් කිරීමට සිදුව තිබුණේ "ඇය මරා දමන බවට තර්ජනය කරමින් සිටි" පිරිසක් ඉදිරිපිටදී බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව විය.

ආණ්ඩුවේ මුණිවත

ආසියා බිබී රටින් පිට වූ බව පිළිගැනීමට සූදානම් නමුත් පාකිස්තාන් ආණ්ඩුවේ බලධාරීන් ඒ සම්බන්ධයෙන් මුණිවත රැකීම මගින් රට දුෂ්කර තත්වයකට පත්කරන ලද නඩු විභාගයක් නිමාවකට ගෙන ඒමක් පෙන්නුම් කෙරෙන බව ඉස්ලාමාබාද් නගරයේ සිටින බීබීසී විශ්ලේෂක ඉල්ලියාස් කාන් පවසයි.

එසේම ආගමික උමතුභාවය මගින් දිගුකලක් අතික්‍රමණය කර තිබුණ ක්‍ෂේත්‍රයක් සම්බන්ධයෙන් අවසානයේ දී යුක්තිය ඉටු වූ බවට හැඟීමක් සමාජයේ පවතින බවත් බීබීසී විශ්ලේෂකයා පෙන්වා දෙයි.

ආසියා බිබී පිළිබඳ තවත් වාර්තා;

ආසියා බිබී යනු පසුගිය දශක කීපය තුළ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ සිය ගණනක් ජනයා අතර එක් තැනැත්තියක් පමණි.

එහෙත් ප්‍රසිද්ධියේ ඇයට දයාව දක්වමින් පාකිස්තානයේ බල පැවැත්වෙන ආගමට අවමන් කිරීම පිළිබඳ නීතිය සංශෝධනය කරන බවට ප්‍රතිඥා දුන් ප්‍රකට දේශපාලනඥයකු වූ 'සින්ද්' ප්‍රාන්තයේ ආණ්ඩුකාර සල්මාන් තසීර් (Salman Taseer) 2011 වසරේ දී මරා දැමීමත් සමඟ ආසියා බිබීට එරෙහි නඩු විභාගය ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පරිවර්තනය විය.

චූදිත කිතුනු කාන්තාව අධිකරණය මගින් නිදොස් කරන ලදහොත් අවුල් සහගත තත්වයක් ඇති කිරීමට බලාසිටි බලවේග පාලනය කර ගැනීමේ ප්‍රයත්නයක් උදෙසා තිරය පිටුපස කාර්යභාරයක් ඉටු කිරීම සඳහා පාකිස්තාන් බලධාරීන් කෙරෙහි බලපෑම් කිරීම පිණිස ජාත්‍යන්තර අවධානය යොමු කිරීමට අන්තිමේ දී එම තත්වය හේතු විය.

Image caption ආසියා බිබී මුදා හරින ලෙස පෙත්සම් ව්‍යාපාරයක්

ඉස්ලාම් ධර්මය පාකිස්තානයේ ජාතික ආගම වන අතර එරට නෛතික රාමුවේ අත්තිවාරම ද වෙයි.

ඉස්ලාම් ආගමට අවමන් කිරීමට අදාල නෛතික විධි විධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින සමාජ සහයෝගයත් පාකිස්තානය තුළ ඉතා ප්‍රබල මට්ටමක පවතී.

දේශපාලකයන්ගේ හැසිරීම

සමාජ සහයෝගය දිනා ගැනීමේ උපායක් වශයෙන් ආගමට අපහාස කරන්නන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් දැඩි මතධාරී දේශපාලකයන්ගෙන් ද නිතරම ලැබෙන්නේ විශාල සහයෝගයකි.

පකිස්ථානයේ බල පැවැත්වෙන ඉස්ලාම් ආගමට අවමන් කිරීමට අදාළ නීතිය යටතේ වරදකරුවන් කෙරෙන්නන්ගෙන් අතිබහුතරය මුස්ලිමුන් වන අතර, ඊට අමතරව තමනුත් මුස්ලිමුන් ලෙස හඳුන්වා ගනු ලබන එරට අහ්මදි (Ahmadi) ප්‍රජාවේ සාමාජිකයෝ ද ඔවුන් අතර වෙති.

එහෙත් ගතානුගතිකවාදී ඉස්ලාම් භක්තිකයන් විසින් අහ්මදි (Ahmadi) ප්‍රජාව සලකනු ලබන්නේ මිත්‍යාදෘෂ්ටිකයන් හැටියටය.

පාකිස්තාන් සමාජයේ කිතුනු ප්‍රජාව 1.6% ක් පමණක් වන අතර 1990 පටන් කිතුනුවන් රැසක් ඉස්ලාම් ආගමට අවමන් කරනු ලැබීම සම්බන්ධයෙන් වරදකරුවන් කරනු ලැබ ඇත.

Image copyright AFP/getty
Image caption ආසියා බිබීට සහයෝගය පළකළ සින්ද් ආණ්ඩුකාර සල්මාන් අන්තවාදීන් විසින් මරා දමනු ලැබුණි

පසුගිය වසර කීපය ඇතුළත පාකිස්තාන් කිතුනු ප්‍රජාව ප්‍රහාර ගණනාවකට ගොදුරු වූ අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පසුවන්නේ තමන් "අන්මත නොඉවසන සමාජයක ගොදුරු බවට පත්වීමේ අවදානමක සිටින්නේය" යන හැඟීමෙනි.

පාකිස්තානයෙහි 1990 පටන් මේවනවිට ඉස්ලාම් දහමට අවමන් කළේ යැයි චෝදනා කරමින් යටත් පිරිසෙයින් හැටපස් දෙනකුවත් මරා දමනු ලැබ ඇත.

දරුවන් සිව් දෙනෙකුගේ මවක වන ආසියා බිබී ඉස්ලාම් දහමට අවමන් කිරීමේ චෝදනා යටතේ මරණීය දණ්ඩනයට යටත් කරන ලද පළමු පාකිස්තාන් කාන්තාව වූවාය.

තවත් තොරතුරු;