පාකිස්තාන ප්‍රහාරය: හෝටලයට කඩා වැදුණු තුවක්කුකරුවන් මරුට

Image copyright AFP
Image caption පර්ල් කන්ටිනෙන්ටල් හෝටලය

පාකිස්තානයේ තරු පහේ හෝටලයකට කඩා වැඩුණු තුවක්කුකරුවන් තිදෙනා ආරක්ෂක හමුදා විසින් වෙඩි තබා මරා දමනු ලැබූ බව එරට බලධාරීහු පවසති.

තුවක්කුකරුවන්ගේ වෙඩි පහරට ගොදුරු වී පස් දෙනෙකු මරණයට පත් වී ඇති බව පාකිස්තානු හමුදාව පැවසීය.

පර්ල් කන්ටිනෙන්ටල් නමැති මෙම හෝටලය පිහිටා ඇත්තේ පකිස්ථානයේ බලොචිස්තාන් ප්‍රාන්තයේ ග්වාදාර් වරාය නගරයේ ය.

තුවක්කුකරුවන් හෝටලයට කඩා වැදීමේ පටන් එය වටලා මෙම ප්‍රහාරකයන් මරා දැමීම දක්වා වූ මෙහෙයුමට පැය කිහිපයක් ම ගත විය.

වෙඩි හුවමාරුවක්

මේ වන විට රාමසාන් සමය පවතින බැවින් සිද්ධිය වූ අවස්ථාවේ හෝටලය තුළ සේවකයන් සුළු පිරිසක් හැරෙන්නට අමුත්තන් නොසිටි බව හෝටලයේ ප්‍රකාශකයෙක් පැවසුවේ ය.

විදේශිකයන් සහ රජයේ ඉහළ පෙළේ බලධාරීන් නිතර ගැවසෙන මෙම හෝටලයට තුවක්කුකරුවන් ඇතුළු වූයේ ඊයේ (මැයි 04) එරට වේලාවෙන් සවස 4:50ට ය.

ප්‍රහාරකයන් කඩා වදින මොහොතේ ඔවුන් නතර කිරීමට උත්සාහ කළ ආරක්ෂක නියාමකවරයෙකු වෙඩි පහරින් මිය ගිය බව වාර්තා විය.

අනතුරුව ආරක්ෂක හමුදා මෙම හෝටලය වට කළ අතර ප්‍රහාරකයන් සහ ආරක්ෂක සෙබළු අතර වෙඩි හුවමාරුවක් පැවතුණි.

ප්‍රහාරයේ වගකීම

බලොචිස්තාන් විමුක්ති හමුදාව (Balochistan Liberation Army) නමැති බෙදුම්වාදී කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.

ඔවුන් පවසා ඇත්තේ, චීන සහ විදේශ ආයෝජකයින් සිය ඉලක්කය වූ බවය.

බීබීසී පුවත් සේවයේ ජිල් මැක්ගිවරිං වාර්තා කළේ, ප්‍රදේශයේ ජනතාවට හිමි වන ප්‍රතිලාභ අවම බව කියමින් එම ප්‍රදේශයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් චීන ආයෝජනවලට විරෝධය දක්වන බවය.

බලොචිස්තාන් යනු පාකිස්තානයේ දුප්පත් ම සහ අවම වශයෙන් සංවර්ධිත පළාතකි.

පර්ල් කන්ටිනෙන්ටල් හෝටලයට ප්‍රහාරය එල්ල වූයේ, හමුදා භටයන් 11ක් ඇතුළු 14 දෙනෙකු මරා දමමින් තුවක්කුකරුවන් විසින් එම කලාපයේ දී එල්ල කරන ලද ප්‍රහාරයකින් සති කිහිපයකට පසුවය.

පාකිස්තාන් තාලිබාන්, බලොචිස්තාන් විමුක්ති හමුදාව සහ ලෂ්කාර් ඉ ජන්ග්වී (Lashkar-e-Jhangvi) ඇතුළු සන්ද්ධ කණ්ඩායම් කිහිපයක්ම ප්‍රදේශයේ ක්‍රියාත්මක වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර