ට්‍රම්ප්ගේ තහංචි නිසා ඉරානය "මෙතෙක් නොවූ විරූ පීඩනයක"

Image copyright EPA
Image caption ජනාධිපති ට්‍රම්ප්ට සහ ඇමරිකාවට එරහිව ඉරානයේ පැවති උද්ඝෝෂණයක්

ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් ඉරානය "මෙතෙක් නොවූ විරූ මට්ටමින්" පීඩනයකට ලක් වී ඇති බව ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ඉරාන ජනාධිපති හසාන් රුහානි කියා සිටියේ එක්සත් ජනපදය නැවත ක්‍රියාත්මක කළ සම්බාධක හේතු කොට ගෙන 1980-88 කාලයේ ඉරාකය හා යුද වැදී සිටි සමයේ පැවති තත්වයටත් වඩා ඉරානයේ ආර්ථිකය නරක තත්වයකට පත්ව ඇති බවය.

ඔහු මේබව කියා සිටියේ එක්සත් ජනපදය සිය යුද නෞකා සහ ප්‍රහාරක ගුවන් යානා ගල්ෆ් කලාපයේ ස්ථානගත කිරීමත් සමඟ දෙරට අතර දේශපාලන උණුසුම ඉහළ යමින් තිබියදී ය.

ඉරාන ජනාධිපති රුහානි මේ වන විට තම රට තුළ ද දේශපාලනික වශයෙන් පීඩනයකට ලක්ව සිටී.

කෙසේ නමුත්, ජාත්‍යන්තර තහංචිවලට එරෙහිව මුහුණ දීම සඳහා එක්සත්ව කටයුතු කරන ලෙස ඔහු තම ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

Image copyright Reuters
Image caption ඉරාන ජනාධිපති හසාන් රුහානි

"යුද්ධය තියෙන කාලයේ අපේ බැංකුවලට ප්‍රශ්න තිබුණේ නැහැ. තෙල් වෙළඳාමට, ආනයන අපනයන කටයුතුවලට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ආයුධ මිල දී ගැනීම සඳහා පමණයි තහංචි තිබුණේ." ටෙහෙරාන් නුවර දී දේශපාලන ක්‍රියාධරයන් අමතමින් ජනාධිපති රුහානි පැවසීය.

ඉරානය සහ ලෝක බලවතුන් එකඟ වූ න්‍යෂ්ටික ගිවිසුම අතහැර දැමීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරේ දී තනි තීරණයක් ගත්තේය.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, චීනය, රුසියාව සහ ජර්මනිය සමඟ ඉරානය එම න්‍යෂ්ටික ගිවිසුමට එකඟ වූයේ 2015 වසරේ දී ය.

එම ගිවිසුම ජනාධිපති බරක් ඔබාමා ගේ විදේශ ප්‍රතිපත්තියේ ජයග්‍රහණයක් හැටියට සැළකෙයි.

ට්‍රම්ප් ජනාධිපතිවරයා ගිවිසුමෙන් ඉවත්වීම ආදර්ශයට ගනිමින් අනෙකුත් රටවල් ද ඉන් ඉවත් වුවහොත් තමන්ද න්‍යෂ්ටික වැඩසටහන යළි ක්‍රියාත්මක කරන බවට ඉරානය අඟවා තිබුණි.

න්‍යෂ්ටික ගිවිසුම ඉරා දමන බවට තර්ජනය කරමින් 2017 දී මාධ්‍යවේදීන් ඉදිරියේ කතා කළ ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ 'ඉරාන් විප්ලවීය බලකාය' (Revolutionary Guards) "ඉරාන නායකයාගේ දූෂිත පෞද්ගලික ත්‍රස්ත හමුදාවක්" බවය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදී තවදුරටත් කියා සිටියේ ඉරානය ත්‍රස්තවාදයට අනුග්‍රහ දක්වන බවත් න්‍යෂ්ටික අවි නිමැවීමේ මාවතක සිටින ඉරාන පාලනය ප්‍රතික්ෂේප කරන බවත් ය.

Image copyright Getty Images
Image caption එක්සත් ජනපදය සිය යුද නෞකා සහ ප්‍රහාරක ගුවන් යානා ගල්ෆ් කලාපයේ ස්ථානගත කර තිබේ

කෙසේ නමුත් සිය න්‍යෂ්ටික වැඩ පිළිවෙල අත්හිටුවීම සඳහා 2015 වසරේ ඇතිකර ගන්නා ලද ගිවිසුමට අනුකූලව ඉරානය කටයුතු කරන බව ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පැවසුහ.

එහෙත් එම ගිවිසුම ළිහිල් වැඩිය යන්න ජනාධිපති ට්‍රම්ප්ගේ අදහසය.

ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා ලෝක බලවතුන්ට ඉරානය සමග එකඟතාවකට ළඟා වීමට හැකි වූයේ දීර්ඝ කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.

එකඟතාවකට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, චීනය හා ජර්මනිය යන ලෝක බලවතුන් ලෙස හැඳින්වෙන රටවල් සහ ඉරානය අතර දශකයකට අධික කාලයක් කඩින් කඩ සාකච්ඡා පැවැත්විණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර