ඇමරිකාව අත් කරගත් නැව ආපසු දෙන ලෙස උතුරු කොරියාව ඉල්ලයි

North Korean Ship Image copyright AFP

ඇමරිකා එක්සත් ජනපදය විසින් සිය නෞකාවක් අත්පත් කරගැනීම "නීතිවිරෝධී මංකොල්ලයක්" ලෙසින් විග්‍රහ කරන උතුරු කොරියාව, එය ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.

එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව උතුරු කොරියාවට චෝදනා කරමින් පවසන්නේ ගල් අඟුරු ප්‍රවාහනය කරමින් තිබූ අදාළ නෞකාව ජාත්‍යන්තර සම්බාධක උල්ලංඝනය කළ බවය.

"වයිස් ඔනස්ට් (Wise Honest)" ලෙස නම් කර ඇති මෙම නෞකාව 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ඉන්දුනීසියාව භාරයට ගැනිණි.

නෞකාව අල්ලා ගැනීම හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්-අන් අතර 2018 වර්ෂයේ දී ඇති වූ ගිවිසුම කඩ වන බව උතුරු කොරියාව පවසයි.

"තමන්ගේ 'උපරිම බලය' යොදා අපිව යටත් කර ගන්න ඇමරිකානු ගණිත ක්‍රමයට සිදු කළ ක්‍රියාවක් මේක. ඒ වගේම ජූනි මාසයේ දී එළඹුන ගිවිසුමේ මූලික කාරණා සම්පූර්ණයෙන්ම ඉවත දැමීමක්," යනුවෙන් උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

සම්බාධක උල්ලංඝනය කිරීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියානු නැවක් අත් කරගත් ප්‍රථම අවස්ථාව මෙයයි. රටවල් දෙක අතර සම්බන්ධතාව තවදුරටත් පලුදු කිරීමට මෙම සිද්ධිය හේතු වී තිබේ.

මේ තොරතුරුද කියවන්න:

අදාළ නෞකාව ඉන්දුනීසියාව භාරයේ තිබෙන අවස්ථාවේ දී ඇමරිකාව එය සිය භාරයට ගැනීම සඳහා එරට අධිකරණයකින් වරෙන්තුවක් ලබා ගැනීමට ක්‍රියා කර තිබේ.

නෞකාවේ තිබූ ගල් අඟුරු නීති විරෝධී වන අතර එය එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට පටහැණි බව ඇමරිකාව පවසයි. එමෙන්ම, නෞකාවේ නඩත්තු කටයුතු සඳහා රහස් ඇමරිකානු මූල්‍යය සමාගම්වලින් නීති විරෝධී ලෙස මුදල් ගෙවා ඇති බව ඔවුහු පවසති.

Image copyright Reuters

ඇමරිකානු අධිකරණ තීන්දුවට එරෙහි වීමට දින හැටක කාලයක් ඇතත් එම ක්‍රියාවලියට පිවිසීමට උතුරු කොරියාව බලාපොරොත්තු නොවන බව පවසයි.

නෞකාව එක්සත් ජනපදය සන්තකයේ තිබුණහොත් ඔවුන්ට එය විකිණීමේ හැකියාව ලැබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්-අන් අතර 2019 පෙබරවාරි මස සිදු වූ දෙවන හමුව ගිවිසුමකින් තොරව අවසන් විය.

මෙහිදී උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් නතර කරන ලෙස ඇමරිකාව ඉල්ලීම් කර තිබේ.

එමෙන්ම, තමන්ට පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ද උතුරු කොරියාව එක්සත් ජනපදයෙන් ඉල්ලීම් කර තිබේ.

පසුගිය සතිය තුළ අවස්ථා දෙකක දී උතුරු කොරියාව ආයුධ අත්හදාබැලීම්වල නිරත වී ඇත්තේ ඇමරිකාවට බලපෑම් කිරීමට යැයි මත පළ වී තිබේ.

නමුත්, ආයුධ අත්හදාබැලීම් සහ නෞකාව අත් කරගැනීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇමරිකානු නිලධාරීහු පවසති.

තවත් තොරතුරු: