තායිවානයත් සමලිංගික විවාහය නීත්‍යානුකූල කරයි

Image copyright Reuters
Image caption තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග පැමිණ සිටි පිරිස සතුටු කඳුළු වගුරවමින් ප්‍රීති ඝෝෂා නගනු දක්නට ලැබිණි

සිකුරාදා (මැයි 17) පැවති පාර්ලිමේන්තු ඡන්දයකින් පසු තායිවානය සමලිංගික විවාහ නීත්‍යානුකු කළ ආසියාවේ පළමු රට බවට පත් විය.

සමලිංගික සම්බන්ධතා සහ විවාහය අර්ථ දැක්වීම් ඇතුළත් කෙටුම්පත් තුනක් පිළිබඳව තායිවාන් නීති සම්පාදකයන් අතර දැඩි විවාදයක් පැවැත්විණි.

අවසානයේ රජය පාර්ශවයෙන් ඉදිරිපත් කළ වඩාත් ප්‍රායෝගික කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

සිය ගණනක් ජනතාව සමලිංගික අයිතීන්ට සහයෝගය පළ කරමින්, 'තායිපේ' අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට එම ඓතිහාසික තීන්දුව ලැබෙන තුරු බලා සිටියහ.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග පැමිණ සිටි පිරිස සතුටු කඳුළු වගුරවමින් ප්‍රීති ඝෝෂා නගනු දක්නට ලැබිණි.

පනතේ අර්ථ දැක්වීම් මොනවාද?

නීති සම්පාදකයන් නිම කළ වෙනත් පනත් කෙටුම්පත් දෙකක සමලිංගික "විවාහය" වෙනුවට "සමලිංගික පවුල් සම්බන්ධතා" හෝ "සමලිංගික සම්බන්ධතා" යනුවෙන් අර්ථ දක්වා තිබිණි.

නමුත් අවසානයේ දී තායිවාන රජයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනතේ 'සමලිංගික විවාහය' අර්ථ දක්වා තිබිණි. එයට පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 27ක් පමණි.

Image copyright Getty Images
Image caption 2017 වසරේ දී තායිවාන ව්‍යවස්ථා අධිකරණය මගින් සමලිංගික යුවළකට විවාහ වීමට නීතිමය අයිතියක් ඇති බව තීන්දු කළේය

තායිවාන ජනාධිපතිනිය මෙම පනත නීතියක් ලෙස ප්‍රකාශයට පත්කළ පසුව එය ක්‍රියාත්මක වෙනු ඇත.

මෙය සිදු වූයේ කෙසේද?

2017 වසරේ දී තායිවාන් ව්‍යවස්ථා අධිකරණය මගින් සමලිංගික යුවළකට විවාහ වීමට නීතිමය අයිතියක් ඇති බව තීන්දු කළේය.

අදාළ නීති වෙනස් කිරීමට තායිවාන් පාර්ලිමේන්තුවට දෙවසරක කාලයක් ලැබිණි.

නමුත්, සමාජයෙන් ඊට එරෙහිව දැඩි විරෝධතා එල්ල වූ අතර, අදාළ නීති කෙටුම්පත් පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්වීමට රජයට සිදු විණි.

එහි දී වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ සමලිංගික විවාහය නීතිගත කිරීමට විරුද්ධව වන අතර, විවාහය යන්නෙහි අරුත විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකුගේ එක් වීම බව බොහෝදෙනෙකුගේ මතය විය.

එයට ප්‍රතිචාර දක්වමින් තායිවාන් රජය පැවසුවේ, එරට සිවිල් නීතියේ 'විවාහය' අර්ථ දක්වා ඇති ආකාරයේ වෙනසක් සිදු නොකරන බවය. ඒ වෙනුවට, සමලිංගික විවාහ වෙනුවෙන් විශේෂ නීතියක් හඳුන්වා දෙන බවය.

මේ තොරතුරුද කියවන්න:

මෙයට ලැබුණු ප්‍රතිචාර මොනවාද?

විවාහයට 'සමානාත්මතාව' හිමි වීම සමරමින් සමාජ මාධ්‍ය ජාලවල බොහෝ අදහස් පළ කර ඇත.

"මෙය සමලිංගික අයිතීන් වෙනුවන් ලැබුණු විශාල ජයග්‍රණයක්!" හියුමන් රයිට්ස් වොච් සමාගමේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ෆිල් රොබර්ට්සන් පවසයි.

Image copyright Reuters
Image caption "දිවයින තුළ සැබෑ සමානාත්මතාවය ඇති කිරීම සඳහා විශාල පියවරක් අරගෙන තිබෙනවා"

"තායිවානයේ මේ ක්‍රියාව හොරණෑ පිඹ දෙන පණිවිඩයක් වගේ. සමලිංගික සම්බන්ධතා පවත්වන පුද්ගලයන්ගේ සමානාත්මතාවය වෙනුවන් ආසියාව පුරා පවතින සටනට මෙය හොඳ ආරම්භයක්."

" තායිවාන් දිවයින තුළ සැබෑ සමානාත්මතාවය ඇති කිරීම සඳහා විශාල පියවරක් අරගෙන තිබෙනවා" යැයි තායිවාන් ජනාධිපතිනි සායි ඉංග්‍-වෙන් (Tsai Ing-wen ) සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

එසේවුවද, එරට සාම්ප්‍රදායක මතධාරීන් සම ලිංගික විවාහයට විරුද්ධ මත ප්‍රකාශ කර තිබෙණු දක්නට හැකිය.

සමලිංගිකත්වය;ශ්‍රී ලංකාවේ පවතින නීති

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අදටත් බලපැවැත්වෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සකස් කළ නීතියකි.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 (A) සහ 365 යන වගන්ති අනුව, කිසියම් පුරුෂයකු විසින් ස්‌වභාවධර්මයට එරෙහිව කාමුක සංසර්ගයේ යෙදුනහොත් දස වසරක්‌ දක්‌වා දීර්ඝ විය හැකි සාමාන්‍ය හෝ බරපතළ සිර දඩුවමක්‌ ලබාදිය යුතු අතර, ඒ කවර හෝ පුද්ගලයා දඩයකටද යටත් කළ යුතුය.

Image copyright Getty Images
Image caption ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ද ඓතිහාසික තීන්දුවක් දෙමින්, තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බව පසුගිය 2018 සැප්තැම්බර් 06 වෙනිදා ප්‍රකාශයට පත් කළේය

පසුකාලීනව 1995 දී කරන ලද නීතිමය සංශෝධන මගින් "පුරුෂයන් අතර සිදුවන සොබාදහමට එරෙහි ලිංගික හැසිරීම්" යන්නට කාන්තාවන් ද එක් කර ඇත.

එම නීතිය සංශෝධනය කළ යුතු යැයි සමාජය තුළ දැඩි කතා බහක් ඇති වී තිබුණ ද, 2017 වසරේ දී සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක් ඉවත දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගත්තේය.

සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් නීති වෙනස් කළ ලෝකයේ වෙනත් රටවල්

ලොව ඇතැම් රටවල් සමලිංගික ප්‍රජාව සම්බන්ධයෙන් පවතින නීති වෙනස් කිරීමට දැනටමත් පියවර ගෙන ඇති අතර ඇතැම් බටහිර රටවල සමලිංගික විවාහ නීතිගත කර තිබේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ද ඓතිහාසික තීන්දුවක් දෙමින්, සමලිංගිකත්වය තවදුරටත් එරට සාපරාධී වරදක් නොවන බව පසුගිය 2018 සැප්තැම්බර් 06 වෙනිදා ප්‍රකාශයට පත් කළේය.

එමෙන්ම සමලිංගික විවාහය නීතිගත කිරීමට මග පාදමින් නව නීති සම්පාදනය වියයුතු බව තායිවානයේ ඉහළම අධිකරණය 2017 වසරේ තීන්දු කළේය.

පසුගිය වසර තුළ අයර්ලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ද සමලිංගික විවාහය නීතිගත කෙරිණි.

තවත් තොරතුරු: