'හුවාවි' Huawei ජංගම දුරකතන සහ ගූගල් වාරණ

Huawie clashes with America Image copyright REUTERS
Image caption ගූගල් සමාගම පැනවූයේ දීර්ඝ කාලීන බාධක ද යන්න තවමත් නොපැහැදිලිය

ලෝකයේ දෙවන විශාලතම ජංගම දුරකතන නිෂ්පාදකයා වන Huawei 'හුවාවි' දුරකතනවල ඇන්ඩ්‍රොයිඩ් (Android) තාක්ෂණයට අදාළ යම් යාවත්කාලීන කිරීම් නතර කිරීමට ගූගල් සමාගම පසුගිය දා පියවර ගනු ලැබීය.

මේ හේතුවෙන්, 'හුවාවි'Huawei සමාගමේ නවතම ජංගම දුරකතන නිෂ්පාදනවල සමහර ගූගල් ඇප් වර්ග ඇතුළත් නොවෙනු ඇත.

'හුවාවි'Huawei සමාගම එක්සත් ජනපදය සමග වෙළෙඳ ගනුදෙනුවල නියැලීමට අවශ්‍ය බලපත්‍ර නොමැති සමාගම් අතරින් එකක් ලෙස හැඳින්වීමට ජනාධිපති ට්‍රම්ප් පාලනය ක්‍රියා කිරීමෙන් පසු මෙම තත්වය උදා විණි.

"අපි අණ පිළිපදිමින් ඇඟවීම් නිරීක්ෂණය කරනවා විතරයි" යැයි ගූගල් සමාගම පවසයි.

නමුත්, දැනට විකිණී අවසන් සහ වෙළෙඳපොළෙහි පවතින 'හුවාවි' Huawei සහ Honor ජංගම දුරකතන, ටැබ්ලට් උපකරණවල ආරක්ෂණ ඇප් යාවත්කාලීන කිරීම් සහ විකිණීමෙන් පසු ලබා දෙන සේවාවන් දිගින් දිගටම සිදු කරන බව Huawei සමාගම පවසයි.

"ලෝකය පුරා සිටින පාරිභෝගිකයන්ට ඉහළ මට්ටමේ සේවාවක් ලබා දීම සඳහා අපි ශක්තිමත් ආරක්ෂණ මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කරනවා," යැයි 'හුවාවි'Huawei සමාගම පවසයි.

"අපි Huawei සමාගමේ නීතිමය අයිතීන් රැකගන්න උදව් කරනවා" යයි මාධ්‍ය හමුවකට පැමිණි චීන රජයේ නියෝජිතයන් පිරිසක් කියා සිටියහ.

ගූගල් සමාගමේ තීරණය දැඩි ලෙස විවේචනය කරන 'හුවාවි' Huawei සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි (Ren Zhengfei) පැවසුවේ ඇමරිකාව තම සමාගමේ බලය "අවතක්සේරු" කර ඇති බවය.

'හුවාවි' Huawei සමාගමේ නිෂ්පාදනවල ඇති 5G තාක්ෂණය වෙනත් කිසිදු සමාගමකට නුදුරු අනාගතයේ දී නිර්මාණය කළ නොහැකි බවත් චීන මාධ්‍ය අමතමින් රෙන් ෂෙන්ග්ෆෙයි පවසයි.

චීනයේ නිෂ්පාදිත ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ ද විශාල වශයෙන් භාවිත කෙරේ. මේ අතර, 'හුවාවි' Huawei ජංගම දුරකතන සහ ටැබ්ලට් පරිහරණය කරන බොහෝ පිරිසක් ද සිටිති.

'හුවාවි' Huawei ජංගම දුරකතන සහ ගූගල් සමාගම පැනවූ වාරණ ගැන ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද විවිධ අදහස් හුවමාරු වෙමින් පවතී.

මෙම තත්වය'හුවාවි' Huawei පාරිභෝගිකයන්ට බලපාන්නේ කෙසේද?

Image copyright Getty Images
Image caption මෑතකදී හඳුන්වා දුන් Huawei P30 ජංගම දුරකතනය

දැනට 'හුවාවි' Huawei ජංගම දුරකතන භාවිත කරන්නන්ට ආරක්ෂණ මෘදුකාංග ඔස්සේ ගූගල් ඇප් සහ Google Play (ගූගල් ප්ලේ) යාවත්කාලීන කිරීමේ හැකියාව තිබේ.

නමුත් මෙම වසර අවසානයේ ගූගල් සමාගම එළිදක්වන ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයේ නවතම මාදිලිය 'හුවාවි' Huawei උපාංගවලට නොලැබෙනු ඇත.

යූටියුබ් සහ 'ගූගල් මැප්ස්' වැනි ඇප් ඉදිරි කාලයෙහි 'හුවාවි' Huawei උපාංගවල ක්‍රියාත්මක නොවෙනු ඇත.

මේ අතර, 'හුවාවි' Huawei උපාංග සහ ඒවා ඇමරිකානු වෙළෙඳ ගිවිසුම් කඩ කර ඇත්දැයි යන්න පිළිබඳ ඉතා සියුම් ලෙස පරීක්ෂා කර බලන බව ජපානයේ පැනසොනික් (Panasonic ) සමාගම මැයි 23 දා ප්‍රකාශ කර ඇත.

මේ අතර ප්‍රකාශයක් කරන පැනසොනික් සමාගම චීනයේ 'හුවාවි' Huawei සමාගම ඇමරිකානු වෙළෙඳ ගිවිසුම් කඩ කර නොමැති නම් ඔවුන් සමග නොකඩවා ගනුදෙනුවල නියැලෙන බවත් පැනසොනික් සමාගම වැඩිදුරටත් පවසයි.

"අදාළ රටවල් සහ කලාපවල බලපැවැත්වෙන නීති රෙගුලාසි දැඩිව අනුගමනය කරමිනුයි අප සමාගම ව්‍යාපාරවල යෙදෙන්නේ" යැයි පැනසොනික් සමාගම කියා සිටියි.

ගූගල් සිදු කළේ කුමක්ද?

'හුවාවි' Huawei සමාගම සමග "ප්‍රකට නොවන" දෘඩාංග, මෘදුකාංග සහ තාක්ෂණ සේවා ලබා දීම් සම්බන්ධයෙන් පැවති සියලු ව්‍යාපාර ගනුදෙනු නතර කිරීමට ඇමරිකානු සමාගමක් වන ගූගල් තීරණය කර තිබේ.

Image copyright Reuters
Image caption දැනට Huawei ජංගම දුරකතන භාවිත කරන්නන්ට ආරක්ෂණ මෘදුකාංග ඔස්සේ ගූගල් ඇප් සහ Google Play (ගූගල් ප්ලේ) යාවත්කාලීන කිරීමේ හැකියාව තිබේ

නමුත්, ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ විවෘත මෘකාංග ව්‍යාපෘතියක් ඔස්සේ වීම හේතුවෙන් 'හුවාවි' Huawei සමාගමට එය ලබා ගැනීමේ සියලු දොරටු අවහිර නොවේ.

ඕනෑම නිෂ්පාදකයෙකුට බලපත්‍රයක් නොමැතිව වුව ද ඔවුන්ගේ උපාංගවලට මෙම තාක්ෂණය ඇතුළු කරමින් අවශ්‍ය පරිදි වෙනස්කම් සිදුකර ගැනීමේ හැකියාව ඇත.

නමුත් තාක්ෂණ ලෝකයේ බොහෝ ව්‍යාපාරිකයන් ගූගල් සමාගම මත යැපීමේ ප්‍රවණතාවක් පවතී.

ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය තුළ ගූගල් සමාගම පාලනය කරන මෘදුකාංග කීපයකි:

  • ගූගල් ප්ලේ ඇප් ගබඩාව (Play app store)
  • ඔවුන් නිර්මාණය කළ ඇප් වර්ග
  • ගූගල් ඇසිස්ටන්ට් (Google Assistant virtual helper)
  • Gmail විද්‍යුත් තැපැල් සේවාව
  • තුන්වන පාර්ශවයකට ද ඇතුළු විය හැකි නොයෙකුත් උපාංග

මේ තොරතුරුද කියවන්න:

'හුවාවි' Huawei සමාගමට කළ හැකි වන්නේ කුමක් ද?

ඇමරිකානු රජයේ අවසරයකින් තොරව එරට ව්‍යාපාරවලින් අදාළ තාක්ෂණය ලබා ගැනීම නිසා 'හුවාවි' Huawei සමාගමට ඉහත කී වාරණ පනවනු ලැබීය.

ඒ ගැන දැනුම් දීමෙන් පසු ජපාන මාධ්‍ය අමතමින් 'හුවාවි' Huawei සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි පැවසුවේ "අපි මෙවැනි දෙයකට මුහුණ දෙන්න සූදානම් වෙමින් සිටියා"යි සඳහන් කළේය.

Image copyright Getty Images
Image caption Huawei සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි (Ren Zhengfei)

Huawei සමාගම වසරකට ඩොලර් බිලියන 67කට ආසන්න වටිනාකමකින් යුත් තාක්ෂණික උපාංග මිලට ගන්නා අතර, මින් පසු ඒ සියල්ල සිය සමාගම තුළම වැඩිදියුණු කර ගැනීමට ක්‍රියා කරන බව රෙන් ෂෙන්ග්ෆෙයි පැවසූ බව 'නිකී' ව්‍යාපාර පුවත්පතේ (Nikkei) සඳහන් වේ.

5G තාක්ෂණයෙන් යුත් ජංගම දුරකතන සම්බන්ධතා ඇතුළත් 'හුවාවි' Huawei සමාගමේ නිෂ්පාදන භාවිතය ආරක්ෂාවට තර්ජනයක් බවට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා එල්ල කරති.

Huawei උපාංග හරහා චීනය දත්ත ලබා ගැනීමට ක්‍රියා කරන බවට රටවල් කිහිපයක් චෝදනා එල්ල කර සිටියත්, එම සමාගම එම සියලු චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරයි.

සිය සමාගමේ නිෂ්පාදනවලින් කිසිදු තර්ජනයක් එල්ල නොවන අතර, චීන රජයත් සමග තමන්ට සම්බන්ධතාවක් නොමැති බව 'හුවාවි' Huawei සමාගම පවසයි.

කෙසේනමුත්, මේ වන විටත් සමහර රටවල් 5G සම්බන්ධතාව ඇතුළත් 'හුවාවි' Huawei උපාංග භාවිත කිරීම තහනම් කර ඇත.

මේ අතර, 'හුවාවි' Huawei සමාගමේ නිෂ්පාදිත 'Honor 20' නවතම ජංගම දුරකතනය එළිදැක්වීමේ උත්සවයට ලෝකය පුරා ක්‍රියාත්මක ව්‍යාපාරවලට ආරාධනා කර තිබේ.

මෙම දුරකතනයේ ගූගල් ඇප් සියල්ලම මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය ද සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බව බීබීසී සිදු කළ විමසුමක දී හෙළි විය.

Image copyright HUAWEI
Image caption Huawei සමාගමේ නිෂ්පාදිත Honor 20 නවතම ජංගම දුරකතනය එළිදැක්වීමේ උත්සවයට ලෝකය පුරා ඇති ව්‍යාපාරවලට යැවූ ආරාධනා පත්‍රය

ඇමරිකානු රජය සමග පවතින ඝට්ටන සමථයකට පත් නොවුනහොත් ඉදිරියේ දී එළිදක්වන 'හුවාවි' Huawei උපාංගවල ක්‍රියාකාරකම් අඩු වීමට ඉඩ ඇත. එසේ නොමැතිනම් 'හුවාවි' Huawei ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයෙන් සම්පූර්ණයෙන් ඉවත් වී ඔවුන් විසින්ම නිර්මාණය කරන නව තාක්ෂණයක් හඳුන්වා දීමට ද ඉඩ තිබේ.

ගූගල් සමාගම පැනවූයේ දීර්ඝ කාලීන බාධක ද යන්න තවමත් පැහැදිලි නැත.

'සැම්සුන්' නිෂ්පාදනවලට පසු ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන ජංගම දුරකතන නිෂ්පාදන සමාගම සමග ඇති ගිවිසුම් එකවර අත්හැරීමට ගූගල් සමාගම ක්‍රියා නොකරනු ඇති බවටත් මත පළ වෙයි.

Huawei සහ ගූගල් සමාගම අතර ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යෑමට අදාළ බලපත්‍රය නිකුත් කිරීමට එක්සත් ජනපදයේ වෙළෙඳ සහ ආරක්ෂණ කාර්යාංශයට හැකියාව ඇත. එසේ නොමැතිනම්, සියලු වාරණ ඉවත් කර පෙර තිබූ තත්වයට නැවත යෑමේ හැකියාව ද පවතී.

කෙසේවෙතත්, බටහිර වෙළෙඳපොළෙ තුළ 'හුවාවි' Huawei සමාගමට කෙටි කාලීන දැඩි අලාභවලට මුහුණ පෑමට සිදු වෙනු ඇත.

ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ යුද්ධයට කුමක් සිදුවේ ද?

ඉහත කී වාරණ පැනවීමත් සමග 'හුවාවි' Huawei සහ ගූගල් සමාගම් අතර තිබූ වෙළෙඳ ගැටුම් උත්සන්න විය.

Image copyright Getty Images
Image caption ඇමරිකාව සහ චීනය අතර වෙළෙඳ ගැටුම් උත්සන්න වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ

ඇමරිකාව මේ වන විටත් 'හුවාවි' Huawei සමාගමට එරෙහිව නඩු විශාල ප්‍රමාණයක් ගොනු කර තිබේ.

Huawei සමාගමේ නිර්මාතෘවරයාගේ දියණිය මෙන්ම එහි උප ප්‍රධාන විධායක නිලධාරිනිය වන මෙන්ග් වැන්ග්ෂූ (Meng Wangzou) පසුගිය දෙසැම්බර් මස කැනඩාවේ දී ඇමරිකානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. ඇය කැනඩාවෙන් පිටුවහල් කිරීමට මේ වන විට ඇමරිකානු බලධාරීහු ක්‍රියා කරමින් සිටිති.

මෙම සිද්ධි මාලාවත් සමග ඇමරිකාව සහ චීනය අතර වෙළෙඳ ගැටුම් උත්සන්න වෙමින් පවතින බවක් පෙන්නුම් කෙරෙයි.

තවත් තොරතුරු: