පුල්වාමා මෙහෙයුම: "එක් ත්‍රස්තවාදියෙකු ඝාතනය කළා. අවි ගබඩාවක් සොයා ගත්තා"

Image copyright AFP

ඉන්දීය ආරක්ෂක අංශවලට "වඩාත් අවශ්‍යව සිටි" කැරලි නායකයා ලෙස හැඳින්වුණු සකීර් මූසා ඉන්දීය පාලිත කාශ්මීර් ප්‍රදේශයේදී ඝාතනය කළ බව ඉන්දීය යුද්ධ හමුදාව තහවුරු කරයි.

අල්-ඛයිදා සංවිධානයේ කාශ්මීර් අනු කණ්ඩායම වන 'අන්සාර් ඝාස්වත් උල් හින්ද්' සංවිධානයේ නායකයා වූයේ ඔහුය.

කාශ්මීර්හි ට්‍රාල් දිස්ත්‍රික්කයේ නිවසකට කොටු කර ඔහු මරා දමන ලද බව යුද්ධ හමුදාව ප්‍රකාශ කළේය.

ඒ සමග අදාළ කලාපයේ ජංගම දුරකතන අන්තර්ජාල සේවා අවහිර කර ඇති අතර ඇඳිරි නීතිය පනවා තිබේ. පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන සිකුරාදා දින තෙක් වසා තබන ලෙස ද දැනුම් දී තිබේ.

සකීර් මූසා යනු කවුද?

Image copyright EPA
Image caption සකීර් මූසා ඝාතනයට ලක් වූ හානියට පත් නිවස

සකීර් මූසාගේ සැබෑ නම සකීර් රෂීඩ් භාත් විය.

ඔහු, 2016 වසරේදී ආරක්ෂක අංශ විසින් මරා දමන ලද ජනප්‍රිය කැරලි නායකයෙකු වූ බුර්හාන් වානිගේ සමීප ආධාරකරුවෙකි. බුර්හාන් වානි ඝාතනය කරනු ලැබීමත් සමග ප්‍රාන්තය පුරා දැඩි උද්ඝෝෂණ දියත් වූ අතර ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර හටගත් ගැටුම් හමුවේ සාමාන්‍ය වැසියන් සියයකට වැඩි පිරිසක් මරණයට පත් විය.

ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, සකීර් මූසාගේ මරණය බුර්හාන් වානි ඝාතනය කිරීමට පසු එරට යුද්ධ හමුදාව අත්පත් කර ගත් "විශාලතම ජයග්‍රහණය" බවය.

යුද්ධ හමුදාව නිකුත් කර ඇති එක් වාක්‍ය පෙළක නිවේදනයක් මගින් එම ඝාතනය තහවුරු කර තිබිණි.

"පුල්වාමා මෙහෙයුම. එක් ත්‍රස්තවාදියෙකු ඝාතනය කළා. ඒ ත්‍රස්තවාදියා සකීර් මූසා ලෙස හඳුනාගත්තා. අවි ආයුධ සහ අවි ගබඩාවක් සොයා ගත්තා. මෙහෙයුම අවසන්." යනුවෙන් එහි දැක්විණි.

කාශ්මීර්හි මාධ්‍යවේදියෙකු වන සමීර් යසීර් බීබීසී පුවත් සේවයට පැවසුවේ, මෙම ඝාතනයත් සමග ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් පවතින බවය.

Image copyright HILAL SHAH

"ගොඩක් තැන්වල විරෝධතාකරුවන් පොලිසිය සහ ආරක්ෂක අංශ සමග ගැටුම් ඇති කරගෙන තිබුණා. ඔවුන් 'මූසා මූසා සකීර් මූසා' කියලා කෑගසමින් ආරක්ෂක භටයින්ට ගල්වලින් පහර දුන්නා," යනුවෙන් සමීර් යසීර් පැවසීය.

කාශ්මීරය ගැන දැන ගත යුතු කරුණු 5ක්

  • බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ දා සිට ඉන්දියාව සහ පාකිස්තානය වසර 70 පමණ කාලයක් පුරා භූමිය වෙනුවෙන් ආරවුලක පසුවෙයි.
  • රටවල් දෙක ම කාශ්මීරය සම්පූර්ණයෙන් තමන්ට අයත් බව පවසයි. එහෙත්, දෙපාර්ශවය ම පාලනය කරනුයේ ඉන් කොටසක් පමණි.
  • ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ යුද්ධ තුනෙන් දෙකක් ම කාශ්මීරය පදනම් කරගෙන සිදු විය.
  • 1989 වසරේ සිට ඉන්දියාවට එරෙහිව මුස්ලිම් බහුතරයක් වෙසෙන එම ප්‍රදේශයේ සන්නද්ධ කැරලි පවතී.
  • විරැකියාව ඉහළ යාම සහ ආරක්ෂක හමුදා ක්‍රියාකාරකම්වලට එරෙහිව නැගෙන විරෝධතා හේතුවෙන් අර්බුදය උග්‍ර වී තිබේ.

ඉන්දියාව පාකිස්තානයට චෝදනා කරන්නේ, සන්නද්ධ කැරලිකරුවන්ට සහය දෙමින් ප්‍රදේශයේ ප්‍රචණ්ඩත්වය වර්ධනය කරන බවටය. එහෙත්, පාකිස්තානය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

1989 සිට කාශ්මීරයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයින් 70,000කට වඩා ජීවිතක්ෂයට පත්ව තිබේ. 1990 වසරේදී සන්නද්ධ කැරලිකරුවන් විසින් කාශ්මිරයේ වෙසෙන හින්දු වැසියන්ට එරෙහිව ප්‍රබල ලෙස ප්‍රචණ්ඩත්වය මුදා හරින ලදී.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර