නරේන්ද්‍ර මෝදි: පක්ෂයේ කථිකයා ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරය දක්වා පැමිණි ගමන් මග

Image copyright Getty Images
Image caption නරේන්ද්‍ර මෝදි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යනු ආදරය සහ පිළිකුල යන දෙක ම සම සම ව ලබන දේශපාලනඥයෙකි.

භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයා වන ඔහු දෙවන වරටත් මහ මැතිවරණයෙන් විශිෂ්ට ලෙස ජය ගත්තේය. ඉන්දියානුවන්ට ආණ්ඩුවේ වෙනසක් අවශ්‍යව සිටි බව විශ්වාස කළ ප්‍රතිවාදීන්ට ඔහු ලැබූ ජයග්‍රහණය දරුණු ප්‍රහාරයක් විය.

2014 මැයි මාසයේදී ඔහුගේ පක්ෂය ලැබූ විශිෂ්ට ජයත් සමග නරේන්ද්‍ර මෝදි බලවත් වීම ආරම්භ විය.

එතැන් පටන් වෙනස්කම් රාශියක් සිදු විය. එහිදී ඔහු ප්‍රවර්ධනය කළ ප්‍රතාපවත් හින්දු ජාතිකවාදී සන්නාමය පමණක් නොව ඉන්දීය නායකයා ලෙස ඔහු ජාත්‍යන්තර කරළියේ පෙනී සිටි ආකාරය ද වෙනස් විය.

Image copyright Getty Images

වසර ගණනාවක් පුරා ඔහු ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ තවත් රටවල් රැසක දෝෂ දර්ශනයට ලක් වූවෙකු විය. ඒ, ඔහු ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටි සමයේ මුස්ලිම්වරුන්ට එරෙහිව එල්ල වූ පැවති මාරාන්තික කැරලි හේතුවෙනි. ලේ වැගිරීම් නතර කිරීමට ඊට වඩා වැඩි යමක් කිරීමට හැකියාව තිබූ බවට එල්ල වූ චෝදනා නරේන්ද්‍ර මෝදි නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කළේය.

ගුජරාට් ප්‍රාන්තයේ ආර්ථිකමය සාර්ථකත්වයත් සමග ඔහු 2014 වසරේදී මහ මැතිවරණයට තරග කළේ, "සබ්කා සාත්, සබ්කා විකාස්" (සියල්ල සියලු දෙනා සමග, සියල්ලන්ට සංවර්ධනය) යන තේමා පාඨය සමගිනි.

මෙවර භාරතීය ජනතා පක්ෂය සිය ප්‍රධාන මැතිවරණ තේමා ලෙස යොදා ගත්තේ, ජාතිකත්වය සහ ජාතික ආරක්ෂාව යන මාතෘකාය. මැතිවරණයේ ප්‍රතිඵලය බොහෝ අංශවලින් ඔහුගේ උපායමාර්ග සහ විශේෂයෙන්ම ඔහුගේ නායකත්වය සම්බන්ධ ජනමත විචාරණයක් විය.

India Election 2019
අවසන් ප්‍රතිඵලය
අවසන් යාවත්කාලීනවීම:
13:11 ඉන්දීය සම්මත වේලාව
350
bjp+
85
inc+
107
Others
මූලාශ්‍රය: ඉන්දීය මැතිවරණ කොමිසම
අවසන් යාවත්කාලීනවීම: 13:11 ඉන්දීය සම්මත වේලාව
මූලාශ්‍රය: ඉන්දීය මැතිවරණ කොමිසම
Image copyright Getty Images
Image caption පාකිස්තානයේ කාශ්මීර් ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව බොහෝ ඉන්දියානුවෝ ඔහුට ප්‍රසංශා කළහ

වසර පහක පාලන බලය

අගමැති මෝදිගේ පළමු වසර 5 ගෙවී ගියේ සාර්ථක වීම් සහ අසාර්ථක වීම් මිශ්‍රව එක් වීමෙනි. ඒ අතර, හින්දු ජාතිකත්වය වර්ධනය කිරීම, ආර්ථික වර්ධනය මන්දගාමී වීම සහ ඉන්දියාවේ මුස්ලිම් සුළුතරයට එරෙහි ප්‍රචණ්ඩත්වය යන කරුණු විය.

දිළිඳු ජනතාව සඳහා සහන මිලට ගෑස් ලබා දීම, රටට ම බලාත්මක වූ භාණ්ඩ හා සේවා බද්ද, දිළිඳු ජනතාව සඳහා සෞඛ්‍ය රක්ෂණයක් පිරිනැමීම සහ ව්‍යාපාරික බංකොලොත්භාවය සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දීම ඔහුගේ රජය සිදු කළ විශේෂ කාර්යයන් අතර විය.

ඔහු රට පුරා දුෂ්කර ගම්මානවල වැසිකිළි ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන සැපයීමත්, ඒ සඳහා දිරිමත් කිරීමත් දැඩි ලෙස ප්‍රසංශාවට ලක් විය.

ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන එන බවටත් ඒ තුළින් රැකියා උත්පාදනය කරන බවටත් ඔහු බලයට පත් වීමට පෙර පොරොන්දු වී තිබිණි. එහෙත්, ඔහුට එම පොරොන්දු සම්පූර්ණයෙන් ඉටු කිරීමට හැකි වූයේ නැත.

Image copyright EPA

දූෂණ සහ නීති විරෝධී ලෙස මුදල් ළඟ තබා ගැනීම් වැළැක්වීමේ අරමුණින් රුපියල් 500 සහ 1000 නෝට්ටු තහනම් කිරීමට ඔහු ගත් ආන්දෝලනාත්මක තීරණය ආර්ථිකයට අහිතකර ලෙස බලපෑවේය.

2016 නොවැම්බර් 8 වන දා කරන ලද හදිසි නිවේදනය හේතුවෙන් ඉන්දියාව තුළ දැඩි අර්බුදයක් නිර්මාණය විය. එහිදී නව නෝට්ටු හිඟයක් ඇති වූ අතර පැරණි නෝට්ටු බැංකුවල තැන්පත් කිරීමේදී ජනතාව විවිධ ගැටලුවලට මුහුණ දුන්හ.

භාරතීය ජනතා පක්ෂයේ හින්දු ජාතිකවාදී ගමන් මග හේතුවෙන් ද අගමැති මෝදි විවේචනයට ලක් විය. ඔහුගේ පාලන සමය තුළ භාරතීය ජනතා පක්ෂයේ පාලනය යටතේ පැවති ප්‍රාන්තවල හරක් මස් විකිණීම හා ආහාරයට ගැනීම තහනම් කරන ලදී. හින්දු වැසියන් ගවයාට සලකනුයේ දේවත්වයෙනි.

Image copyright AFP

2015 වසරේදී සිය ශීතකරණයේ ගව මස් තබාගෙන සිටි මුස්ලිම් වැසියෙකු පහර දී ඝාතනය කරනු ලැබීම ජනතාව තුළ කම්පනයක් ඇති කළේය. ගවයින් වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් තවත් මුස්ලිම් වැසියන්ට ප්‍රහාර එල්ල කළහ, පහර දුන්හ.

හියුමන් රයිට්ස් වොච් ආයතනය 2019 පෙබරවාරි මාසයේ නිකුත් කළ වාර්තාවක දැක්වුණේ, 2015 මැයි මස සිට 2018 දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ ඉන්දීය ප්‍රාන්ත 12ක සිදුවූ ඝාතන 44 කින් 36 දෙනෙකු මුස්ලිම් වැසියන් බවය. එම කාලය ඇතුළත ප්‍රාන්ත 20 පුරා හටගත් සිදුවීම් 10 කට ආසන්න ප්‍රමාණයක දී 280 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

ගුවන් හමුදාව සඳහා Rafale යුද්ධ ගුවන් යානා 36ක් මිල දී ගැනීමට ඔහු ගත් තීරණය ද දැඩි මතභේදයට තුඩු දුන්නේය. විපක්ෂය චෝදනා කළේ, එම ගනුදෙනුව හරහා දූෂණයක් සිදු වන බවටය. එහෙත්, අගමැති මෝදි එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේදී එම කරුණු මතු වූයේ නැත. පක්ෂයේ ප්‍රධාන මැතිවරණ තේමාව වූයේ ජාතිකත්වයයි.

ගෝලීය කරළියට පා තැබීම

නරේන්ද්‍ර මෝදි 1950 වසරේදී මෙලොව එළිය දුටුවේය. ඒ, ගුජරාට් ප්‍රාන්තයේ වෙළෙඳාම ජීවිකාව කර ගත් දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක 3 වැන්නා ලෙසය.

2001 වසරේ සිට 2014 දක්වා ඔහු ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. එම ප්‍රාන්තය ඉන්දියාවේ ආර්ථික බලාගාරයක් බවට පත් කිරීම නිසා ඔහු කාර්යක්ෂම දේශපාලනඥයෙකු ලෙස සැලකිල්ලට බඳුන් විය.

ඔහු ඇමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ වෙසෙන ඉන්දියානුවන් එක් රැස් කර දේශන පැවැත්වීය. විශ්ලේෂකයින් පවසන්නේ, ඔහු ගෝලීය කරළියට ගොඩ වූයේ ඒ තුළින් බවය.

ඔහුගේ විදෙස් ප්‍රතිපත්තිය ද මිශ්‍ර ලක්ෂණවලින් යුක්ත විය. ඔහු ඉන්දියාව සහ මධ්‍යම ආසියානු රටවල් අතර සබඳතා යළි ශක්තිමත් කළේය.

Image copyright Getty Images

එහෙත්, චීනය සමග සබඳතා දෙපාර්ශවීම හමුවීම්වලට පමණක් සීමා විය. ඊට අමතරව ඔබාමාගේ පාලන සමයේ ඇමෙරිකාව සහ ඉන්දියාව අතර පැවති සබඳතා ට්‍රම්ප් පාලනය යටතේ පවත්වාගෙන යාමට ඔහු අපොහොසත් විය.

දක්ෂිණාංශික හින්දු මූලයන්

ගුජරාට් ප්‍රධාන අමාත්‍යවරයා වූ නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විස්මයට පත් වූහ.

Image copyright Getty Images

භාරතීය ජනතා පක්ෂයේ කථිකයා ලෙස කටයුතු කළ ඔහු අග්‍රාමාත්‍ය ධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු ඔහුට පක්ෂය තුළ විවිධ කෙණෙහිලිකම්වලට ලක් වීමට සිදු විය.

ඔහු විවේචනය කළ පිරිස් පැවසුවේ, ඔහුට කිසි දිනෙක අග්‍රාමාත්‍ය ධූරයට පත් විය නොහැකි බවය.

බිරිඳ පිළිබඳ චෝදනා

ඔහුගේ බිරිඳ වූ ජෂෝදාබන් (Jashodaben) අත්හැර දමා ඇති බවට විවේචකයින් චෝදනා කිරීමත් සමග ඔහුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ද අවධානයක් යොමු විය. තමන් අදාළ කාන්තාව සමග විවාහ සිටි බවට 2014 මහ මැතිවරණය ආසන්නයේදී ඔහු ප්‍රසිද්ධියේ පිළිගත්තේය.

ඔහුගේ යෝජිත විවාහය සිදු වන විට 17 වන වියේ පසුවූ අතර ඔවුන් දෙදෙනා එකට වාසය කර තිබුණේ කලාතුරකිනි. එසේ ම 2014 වන විට ඔවුහු වෙන්ව වාසය කළහ.

ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව අසන ලද ප්‍රශ්න මග හැරීමට ඔහු නිරන්තරයෙන් උත්සහ කළ අතර තනිකඩ ජීවිතයක් ගත කරන්නෙකු ලෙස පෙනී සිටීමට ඔහු කැමැත්තක් දැක්වීය.

නරේන්ද්‍ර මෝදි පක්ෂ සංවිධායකවරයෙකු ලෙස ප්‍රබල ප්‍රතිරූපයක් ගොඩ නගාගෙන තිබේ. එමෙන් ම, රාෂ්ත්‍රීය ශිව් සේනා (RSS) සංවිධානයේ ප්‍රචාරකයෙකු ලෙස ලත් පුහුණුව හේතුවෙන් රහස්‍යභාවය පිළිබඳව ද ඔහුට යහපත් ප්‍රතිරූපයක් පැවතිණි.