එවරස්ට් මුදුනේත් මිනිස් පෝලිමක්; මරණ රැසක්

Image copyright AFP
Image caption එවරස්ට් මුදුනට ඇදෙන මිනිස් පෝලිම දැක්වෙන පින්තූරයක්

මෙම සතිය ඇතුළත පමණක් එවරස්ට් (Mount Everest) හිමගිර තරණය කරන්නන් දස දෙනෙකු අනතුරුවලින් මරණයට පත් වූ බව නේපාල බලධාරීහු පවසති.

එම මරණ සංඛ්‍යාව පසුගිය වසරේ එවරස්ට් තරණය කරද්දී සිදු වූ මරණ සංඛ්‍යාවටත් වඩා වැඩි සංඛ්‍යාවක් බව නේපාලයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

මේ සතිය මුලදී එවරස්ට් කඳුවැටියෙන් මරණ හතරක් වාර්තා වී තිබුණ අතර බ්‍රහස්පතින්දා තවත් මරණ හතරක් එම සංඛ්‍යාවට එකතු විය.

කඳු නගින්නන් පෝලිමක් (traffic jams )එවරස්ට් කඳු වැටිය මුදුන කරා සමීප වෙමින් සිටින අතර එබැවින් එහි මිනිස් තදබදයක් පවතින බවත් වාර්තා වෙයි.

එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා නේපාල බලධාරීන්ගෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය.

එවැනි සීමා කිරීමක් පැවතුනත් එවරස්ට් ලෝලීහු දැන් විශාල මුදලක් ගෙවමින් එම බලපත් ලබා ගෙන කන්ද තරණය කිරීමට පෙළඹෙති.

නේපාලය මෙම වසන්ත කාලයේ එවරස්ට් තරණය කිරීමේ බලපත් 381 ක් නිකුත් කර ඇත.එම එක් බලපත්‍රයක් සඳහා ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 11,000 කි.

වෙනත් අවුරුදුවලට වඩා මේ වසරේ එවරස්ට් කඳු මුදුනේ පවතින අධික සුලඟ එහි ලඟා වෙන්නන්ට අහිතකර තත්වයක් උදගත් කරයි.එම තත්වය යටතේ කඳු නගින්නකුට ගිරි ශිඛරයට ලඟා වීමට ලැබෙන්නේ ඉතා සුළු කාල පරාසයකි.

Image copyright AFP
Image caption විසිතුන් වතාවක් එවරස්ට් මුදුනට ගිය නේපාලයේ ශර්පා වරයෙක්

එවරස්ට් කඳු මුදුන ආසන්නයේ මරණයට පත් ඉන්දියානුවකු වූ බග්වාන් (Bagwan)පැය දොළහක කාලයක් පෝලිමේ සිර වී සිටියදී අධික විඩාවෙන් මරණයට පත්ව ඇති බව නේපාලයේ සංචාරක සංවිධායකයකු වන කේෂව් පෝඩල්(Keshav Paudel) AFP පුවත් සේවයට කියා සිටියේය.

මේ අතර ටිබෙට් දේශය පැත්තෙන් එවරස්ට් තරණය කරමින් සිටි හැටපස් හැවිරිදි ඔස්ත්‍රියානු ජාතිකයකු ද මරණයට පත්ව ඇත.

අයිරිෂ් ජාතික මහාචාර්යවරයකු මයි 16 වෙනිදා මරණයට පත්ව ඇති අතර පසුගිය බදාදා ඇමෙරිකානු සහ ඉන්දීය ජාතික කඳු නගින්නන් දෙදෙනකුටද ජීවිත අහිමි වී ඇත.

පසුගිය වසරේ වසන්ත සමයෙහි එවරස්ට් කඳු වැටියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව පහකි.

Image copyright WWW.RALFDUJMOVITS.DE
Image caption කඳු මුදුනට ඇදෙන මිනිස් පෝලිම

2018 වසරේ එවරස්ට් මුදුනට ලඟා වීමට තැත් කරමින් සිටි කඳු නගින්නන්ගේ සංඛ්‍යාව 807 ක් යයි ලේඛනගතව ඇති අතර මේ වසරේ සංඛ්‍යාව ඊටත් වඩා වැඩි බව වාර්තා වෙයි.

එපරිද්දෙන් එවරස්ට් කන්ද කරා පැමිණෙන සංඛ්‍යාව සහ මරණ ගණන වැඩි වීමත් සමග එය සීමා කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇත.

පසුගිය වසරේ එවරස්ට් තරණය කළ රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නකු වන බ්‍රිතාන්‍ය ජාතික බෙන් ෆොග්ල් (Ben Fogle) ඉහත තත්වය සැළකිල්ලට ගනිමින් "ලන්ඩන් මැරතන් ධාවන තරගයේ දී අනුගමනය කෙරෙන ආකාරයේ ලොතරැයි ක්‍රමයකින් එවරස්ට් කඳු නගින්නන්ට බලපත් දිය යුතුව ඇතැයි" සිය ට්විටර් පණිවුඩයක් මගින් යෝජනා කළේය.

නිර්මාල් පුර්ජා (Nirmal Purja) විසින් නිකුත් කර ඇති ඡායාරූපයක් මගින් එවරස්ට් කරා ලඟා වූ මිනිස් පෝලිම තේරුම් ගත හැකි අතර එම පින්තූරය මේ සතියේ ලොව පුරා අවධානයට ලක්වෙමින් තිබුණි.

Image copyright jayanthi kuruuthumpala
Image caption එවරස්ට් තරණය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්

කියවන්න;