ජර්මනිය තුළ යුදෙව් තොප්පිය පැළඳ සිටීමෙන් වළකින මෙන් ඉල්ලීමක්

Image copyright Getty Images
Image caption පසුගිය වසර පුරා යුදෙව් ජාතිකයන්ට එරෙහි හිරිහැරවල විශාල වැඩි වීමක් ඇති බව ජර්මානු රජයේ වාර්තා අනුව පෙනී යයි

ප්‍රසිද්ධ ස්ථානවල යුදෙව් සාම්ප්‍රදායික හිස්වැස්ම පැළදීමෙන් වැළකී සිටින ලෙස ජර්මානු රජය ඉල්ලීමක් කරයි.

යුදෙව් ජාතිකයන්ට එරෙහිව සිදු කෙරෙන හිරිහැර සහ වෙනස්කොට සැලකීම වැඩි වීම නිසා 'කිප්පා' (Kippa) නමින් හැඳින්වෙන යුදෙව් ජනයාට ආවේණික හිස්වැස්ම ජර්මනියේ සමහර ප්‍රදේශවල ප්‍රසිද්ධියේ පැළඳ සිටීමෙන් වළකින ලෙස අදාළ ගැටලුව සම්බන්ධයෙන් ක්‍රියා කරන කොමිසමේ ප්‍රධානී ෆීලීක්ස් ක්ලේයින් (Felix Klein) දැනුම් දෙයි.

"ජර්මනියේ සෑම තැනකම මේ තොප්පිය පැළඳගෙන සිටින්න කියලා මට යුදෙව් ජාතිකයන්ට නිර්දේශ කරන්න බැහැ" යැයි ෆීලීක්ස් ක්ලේයින් පුවත්පතකට (Funke ) පවසා ඇත.

පසුගිය වසර පුරා යුදෙව් විරෝධී හිරිහැරවල විශාල වැඩි වීමක් පෙන්නුම් කෙරෙන බව ජර්මානු රජයේ වාර්තාවලින් පෙන්නුම් කෙරෙයි.

2018 වසර තුළ යුදෙව්වන්ට එරෙහි වෛරී ක්‍රියාවන් 1,646ක් වාර්තා වූ අතර, එය පෙර වසරට වඩා 10%ක වැඩි වීමකි.

එම වසර තුළ යුදෙව්වන්ට මුහුණ දුන් පහර දීම් හැට දෙකක් (62) වාර්තා වුණ අතර, 2017 වර්ෂයේ වාර්තා වී ඇත්තේ එවැනි සිද්ධීන් 37ක් පමණි.

යුදෙව්වන්ට එරෙහිව සිදුවන අපරාධ "අප රටට ලැජ්ජාවක්" යැයි ජර්මානු අධිකරණ ඇමතිනී කටරීනා බාර්ලි (Katarina Barley) පැවසූ බව Handelsblatt පුවත්පත වාර්තා කරයි.

ෆීලීක්ස් ක්ලේයින් පැවසුවේ කුමක් ද?

සමාජය තුළ "කලහකාරී මෙන්ම අශෝභන ලෙස හැසිරීම් වැඩි වීම" යුදෙව්වන්ට එරෙහිව සිදු වන අපරාධවලට හේතු වී ඇති බව ඔහු පවසයි.

"අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල හරහා පැරණි දේවල් සිහි කරමින් අපේ සංස්කෘතියට නිරන්තරයෙන් එල්ලවන ප්‍රහාර" මෙම තත්වයට තවත් එක් හේතුවක් විය හැකි බවත් ඔහු සඳහන් කරයි.

Image copyright Getty Images
Image caption යුදෙව් සාම්ප්‍රදායික හිස්වැස්ම

මේ තොරතුරුද කියවන්න:

"යුදෙව්වන්ට එරෙහිව සිදුවන හිරිහැර ගැන සැලකීමේ දී, යම් පුද්ගලයෙකු සිදු කළ යුතු සහ සිදු නොකළ යුතු දෑ" ගැන පොලිස් නිලධාරීන්, ගුරුවරුන් සහ නීතිඥවරුන් විශේෂ පුහුණුවක් ලැබිය යුතු බව ෆීලීක්ස් ක්ලේයින්ගේ අදහස වෙයි.

"ජර්මනිය තුළ යුදෙව්වන්ට එරෙහි හිරිහැර නිතර සිදු වුණා. නමුත් මෑතක සිට ඒවා ඉතා කලහකාරී, දරුණු මෙන්ම විශාල වශයෙන් සිදු වෙමින් පවතිනවා" යැයි ජර්මනියේ යුදෙව්වන්ට එරෙහි අපරාධ පිළිබඳ නීති විශේෂඥවරියක වන ක්ලෝඩියා වනෝනි AFP පුවත් සේවයට මින් සතියකට පෙර පවසා තිබිණි.

යුදෙව්වන්ට එරෙහි අපරාධ වැඩි වී ඇත්තේ ඇයි?

යුරෝපය පුරා පැතිර සිටින අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් ජනප්‍රියත්වයට පත් වීමත් සමග යුදෙව්වන්ට සහ වෙනත් සුළු ජාතීන්ට එරෙහිව සිදුවන හිරිහැරවල වැඩි වීමක් පෙන්නුම් කෙරෙන බවට අනතුරු අඟවා තිබේ.

අන්ත දක්ෂිණාංශික ප්‍රතිපත්ති දරණ 'ජර්මනියට විකල්පයක්' (Alternative for Germany (AfD)) නම් දේශපාලන පක්ෂය 2017 වර්ෂයේ පටන් ජර්මනියේ ප්‍රධාන විපක්ෂය බවට පත් විය. සංක්‍රමණිකයන්ට විරුද්ධ වන ඔවුන් යුදෙව්වන්ට සිදුවන හිරිහැරවලට අනුබල දීම ප්‍රතික්ෂේප කරයි.

නමුත් එම පක්ෂයේ දේශපාලනඥයන් කීපදෙනෙක් යුදෙව් සංහාරය සහ ඊට සම්බන්ධ කරුණු ගැන සිදු කළ ප්‍රකාශ කීපයක් ජර්මානු යුදෙව් කණ්ඩායම්වල විවේචනයට ලක්ව තිබේ.

තවත් තොරතුරු: