මොනාලීසාට පණ දුන් කෘත්‍රිම බුද්ධිය

AI technology Image copyright Samsung
Image caption මොනාලීසාට පණ දුන් ආකාරය දැක්වෙන යූටියුබ් වීඩියෝවක්

ලියනාඩෝ ඩා වින්සිගේ සුප්‍රසිද්ධ මොනාලීසා සිතුවමට පණ පෙවීමට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායමක් සමත් වී තිබේ.

ඡායාරූපයක් උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝවේ සිටින මොනාලීසා සිය හිස, දෑස් සහ මුව සොලවනු දැකිය හැකිය.

මොස්කව් නගරයේ පිහිටි සැම්සුන් ආයතනයට අයත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පරීක්ෂණාගාරයේ දී 'ව්‍යාජත්වයේ ගැඹුරට' ගිය මෙම වීඩියෝ තාක්ෂණය නිර්මාණය කර තිබේ.

කෙසේවෙතත්, අදාළ තාක්ෂණය අවභාවිත කිරීම් සඳහාත් යොදා ගැනීමට ඉඩකඩ ඇති බවට මත පළ වෙමින් තිබේ. මොනාලීසාට පණ දුන් ආකාරය දැක්වෙන 'යූටියුබ්' වීඩියෝවක්

සැම්සුන් සමාගම නිර්මාණය කළ 'ඇල්ගොරිදම' ඔස්සේ ලොව පුරා සිටින ප්‍රසිද්ධ පුද්ගලයන් 7,000කගේ ඡායාරූප යූටියුබ් ඔස්සේ ලබා ගෙන දත්ත ගබඩාවක් සකස් කර තිබේ.

යම් පුද්ගලයෙකු ගේ ඡායාරූපයකට ඔහු හෝ ඇයගේ මුහුණේ ඉරියව් සහ සෙලවීම් ඇතුළු කිරීමට මෙම කෘත්‍රිම බුද්ධි පද්ධතියෙන් හැකියාව ලැබේ.

ඇල්බර්ට් අයින්ස්ටයින් මෙන්ම මැරිලින් මොන්රෝ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් කීපදෙනෙකුට පණ පෙවීමට මෙම තාක්ෂණයට හැකි වී තිබේ.

අදාළ තාක්ෂණය ගැන තොරතුරු දක්වමින් සැම්සුන් සමාගම පවසන්නේ මෙම නිර්මාණ "ඇත්තටම නාඩි වැටෙන, කතා කරන හිසක්" ලෙස පෙනෙන බවය.

Image copyright Samsung
Image caption මැරිලින් මොන්රෝ

කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියා කරන මෙම තාක්ෂණය එළිදැක්වීමේ දී එහි ඇති වැදගත්කම මෙන්ම භයානකකම ගැන ද සමාජ මාධ්‍ය ජාලවල විවිධ අදහස් පළ වී තිබිණි.

'ව්‍යාජ ඔබාමා'

2017 වසරේ දී ඊශ්‍රායලයේ ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ (Tel Aviv University) පරීක්ෂකයන් පිරිසක් මීට සමාන පද්ධතියක් නිර්මාණය කළහ.

එම තාක්ෂණය උපයෝගී කරගෙන ආචාර්ය සුපසෝන් සුවජනකෝන් (Supasorn Suwajanakorn) 2017 වසරේ දී ඇමරිකාවේ හිටපු ජනපති බැරක් ඔබාමාගේ ව්‍යාජ වීඩියෝවක් නිර්මාණය කර තිබිණි.

අදාළ තාක්ෂණය අවභාවිත කිරීමට ඉඩ ඇති බව පිළිගත් ඔහු, එහි ධනාත්මක බව ගැන තොරතුරු සඳහන් කරමින් පැවසුවේ යම් පවුලක මියගිය ඥාතීන්ට වීඩියෝ ඔස්සේ පණ පෙවීමට මෙයින් අවස්ථාව සැලසෙන බවය.

නමුත් දේශපාලඥයන් මෙවැනි වීඩියෝ මගින් මුළු මහත් ජාතියක්ම රැවටීමට ක්‍රියා කරනු ඇති බවත්, එය දේශපාලන වාසි ලබා ගැනීමට පමණක් සීමා නොවෙනු ඇති බවත් විශේෂඥයෝ පවසති.

'ව්‍යාජත්වයේ ගැඹුරට' ගිය තාක්ෂණය අවභාවිත කරමින් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප යොදාගෙන ලිංගික චිත්‍රපට නිර්මාණය කිරීමට ද සමහරු ක්‍රියා කර තිබිණි.

මේ තොරතුරුද කියවන්න: