අයිඑස්: ප්‍රංශ ජාතිකයන් තිදෙනෙකුට මරණ දඬුවම

Image copyright Reuters

ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) සංවිධානයට සම්බන්ධ වී ඇති බවට වරදකරුවන් වූ ප්‍රංශ ජාතිකයන් තිදෙනෙකුට ඉරාකයේ අධිකරණයක් මරණ දඬුවම් ලබා දී තිබේ.

කෙවින් ගොනොට්, කෙවින් ලෝපේස් සහ සලීම් මචොව් යන පුද්ගලයන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා දින 30 කාලයක් ඇති බව AFP පුවත් සේවය පවසයි.

ඇමරිකාවේ සහය ලබන සටන්කරුවන් විසින් සිරියාවේ දී අල්ලා ගන්නා ලද ප්‍රංශ ජාතිකයන් දොළොස් දෙනා අතර සිටි ඉහත කී පුද්ගලයන් තිදෙනා නඩු විභාගය සඳහා ඉරාකය වෙත රැගෙන යනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාසයේදීය.

අයිඑස් සාමාජිකයන් බවට සැක පිට මරණ දඬුවමට ලක් කෙරෙන පළමු ප්‍රංශ පුරවැසියන් තිදෙනා ඔවුන් වනු ඇත.

බැග්ඩෑඩ්හිදී ඉරිදා (මැයි 26) ලබා දෙන ලද අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ප්‍රංශය මේ දක්වා නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නොමැත. නමුත් පෙබරවාරි මස ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් කියා සිටියේ එය ඉරානයේ ස්වෛරීත්වයට බලපාන කාරණයක් බවය.

අයිඑස් සැකකරුවන් සම්බන්ධයෙන් ඉරාකයේ පැවැත්වෙන නඩු විභාග මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්වල දැඩි විවේචනයට ලක් වේ. බිය ගැන්වීම් හරහා ලබා ගන්නා පාපොච්ඡාරණ හෝ අනියම් සාක්ෂි මත බොහෝ විට අධිකරණ තීන්දු ලබා දෙන බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.

සැකකරුවන් ඉරාකය වෙත රැගෙන ගියේ ඇයි?

සිරියාවේ සහ ඉරාකය තුළ කලක් සිය අණසක යටතේ පැවති ප්‍රදේශ අයිඑස් සංවිධානයෙන් ගිලිහී තිබේ. වසර ගණනාවක් පැවති සටන්වලින් අනතුරුව සිය දේශසීමාව තුළ තමන් ජය තහවුරු කරගත් බව ඉරාකය 2017 වසරේදී ප්‍රකාශයට පත් කළේය.

සිරියාව තුළ ප්‍රධාන වශයෙන් ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ආරාබි සහ කුර්දි සටන්කරුවන්ගෙන් සැදුම්ලත් ඇමරිකාවේ සහය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව විසිනි. ජිහාඩ් සටන්කරුවන් අත පැවති අවසන් බලකොටුව ඔවුන් විසින් අල්ලා ගනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදීය.

කාන්තාවන් සහ දරුවන් විශාල පිරිසක් ද ඇතුළුව විදේශීය සටන්කරුවන් 1000 ක් සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව භාරයේ සිටින බව ඇස්තමේන්තු කර තිබේ.

සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව විසින් රඳවා ගනු ලැබ සිටින සියලුම විදේශීය සටන්කරුවන් සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා ඉරාකය අවස්ථාව සලසා ඇත. ඒ අනුව සිය ගණනක් ඉරාකය වෙත රැගෙන යනු ලැබුණු නමුත් කිසිවෙකුටත් මේ දක්වා මරණ දඬුවම ලබා දී නොතිබිණි.

අයිඑස් සංවිධානයට එක් වූ විදේශිකයන්ට කුමක් සිදුවීද?

හතලිස් එක්දහසකට අධික රටවල් ගණනාවකට අයත් පිරිසක් සිරියාවේදී සහ ඉරාකයේදී අයිඑස් සංවිධානයට එක්ව ඇතැයි ඇස්තමේන්තු කෙරේ. ඔවුන්ගෙන් හතරෙන් එකක් පමණ දරුවන් සහ කාන්තාවන්ය.

පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ සිරියාව වෙත ගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයන් ද සිටින බවය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ශ්‍රී ලංකාවෙන් සිරියාවට ISIS සාමාජිකයෝ

ශ්‍රී ලාංකික පවුල් හතරකට සම්බන්ධ 32 දෙනෙකු සිරියාවට ගොස් ISIS හෙවත් 'ඉස්ලාමීය රාජ්‍යය' කැරලිකාර සංවිධානයට සම්බන්ධ වී තිබෙන බව එවක අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කළ විජේදාස රාජපක්ෂ 2016 වසරේ නොවැම්බර් 18 වෙනිදා පැවසීය.

ඔවුන් සියලු දෙනා සාමාන්‍යයෙන් 'උගත් සහ වැදගත්' ලෙසින් සමාජයේ සම්මත පවුල්වල සාමාජිකයන් බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

අධිකරණ ඇමතිවරයා කළ ප්‍රකාශය රජය ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න 2016 වසරේ නොවැම්බර් 23 වෙනිදා පැවසීය.

එවැනි කිසිදු වාර්තාවක් නොමැති බව ජනාධිපතිවරයා හා ආරක්ෂක මණ්ඩලය තහවුරු කර ඇති අතර, ඒ බව මාධ්‍යයට දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා තමන්ට පැවසූ බවත් අමාත්‍ය රාජිත සේනාරත්න එදින සඳහන් කළේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ISIS: ඇමති ප්‍රකාශය රජය ප්‍රතික්‍ෂේප කරයි

විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් සභාව (MCSL) එවක විරෝධය පළ කරමින් කියා සිටියේ ඔහුගේ ප්‍රකාශය ජාතිවාදීන්ට අනුබල ලබාදෙන්නක් බවය.

සිරියාව සහ ඉරාකය වෙත පැමිණි විදේශිකයන්ගෙන් හයදහසක් පමණ පැමිණ ඇත්තේ බටහිර යුරෝපා රටවල සිටය.

අයිඑස් සාමාජිකයන්ගෙන් විශාල පිරිසක් මරණයට පත්ව හෝ අල්ලා ගනු ලැබ ඇති බව විශ්වාස කෙරේ. විදේශිකයන් කොපමණ සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති දැයි යන්න පැහැදිලි වී නොමැත.

අයිඑස් සංවිධානය සමාග පුහුණුව ලැබූ හත්දහසක්වත් නැවත සිය රටවල් වෙත ගොස් ඇති බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කණ්ඩායම්වල විශ්වාසය වී තිබේ.