යුරෝපා පාර්ලිමේන්තුවේ වැඩි බලය දක්ෂිණාංශිකයන් අතට

Image copyright AFP
Image caption ඡන්දදායක උනන්දුවේ වැඩිවීමක්

සාමාජික රාජ්‍යයන් විසි අටකින් සමන්විත යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව දක්ෂිණාංශික, ලිබරල්, ජාතිකවාදී සහ හරිත පක්ෂ ඉදිරියට එන ප්‍රවනතාවක් පෙන්නුම් කෙරෙයි.

එම තත්වය යටතේ 2019 යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ දී සාම්ප්‍රදායික දේශපාලන බලවේග සහ වාමාංශික දේශපාලන කඳවුරුවල ජයග්‍රහණය සම්බන්ධයෙන් සිදු කෙරුණ පුරෝකථනවල පසුබෑමක් සිදු වී ඇත.

එවැනි පසුබෑමක් ඉදිරියේත් යුරෝපා හවුලේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින සාම්ප්‍රදායික දේශපාලන බලවේග, එම පාර්ලිමේන්තුව තුළ බහුතරය ගොඩනගා ගැනීමේ බලාපොරොත්තුව අත්හැර නැති අතර, ඒ සඳහා ඔවුන්ට නව සන්ධානයක් ගොඩනගා ගැනීමට සිදුවනු ඇතැයි දේශපාලන අනාවැකි මගින් පැවසෙයි.

ප්‍රකාශිත ප්‍රතිඵල අනුව විවිධ දේශපාලන පක්ෂ අතරින් තවමත් බහුතර කඳවුර වී සිටින්නේ දක්ෂිණාංශික මතධාරී යුරෝපා මහජන පක්ෂයයි.

එම කඳවුර සමාජවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කඳවුරු සමග විශාල සන්ධානයක් ගොඩනගා ගනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. එසේම එම කඳවුරට ලිබරල් සහ හරිත (Green) පක්ෂවල සහයෝගයත් ලැබෙනු ඇත යන්න එම විශ්ලේෂකයන්ගේ තක්සේරුවයි.

ඉහත කී ප්‍රතිඵල විශ්ලේෂණයේ දී ඉතාලිය, එක්සත් රාජධානිය සහ ඉතාලියේ ජාතිකවාදීන් පෙරට පැමිණීම දේශපාලන කතාබහට හේතු වී ඇත.

Image copyright Getty Images
Image caption 'බ්‍රෙක්සිට්'(Brexit Party) පක්ෂයේ නායක නයිජල් ෆරාජ්

ඡන්දදායක උනන්දුව පසුබෑමකට ලක්ව තිබුණ දශක කීපයකට පසුව, වසර විස්සක කාලයක් ඇතුළත යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයක දී දක්නට ලැබුණ වැඩිම ඡන්දදායක සහභාගිත්වය මෙවර වාර්තා වී ඇත.

එක්සත් රාජධානිය ගත්විට මෙවර දක්නට ලැබුණ විශේෂත්වය අලුතින් පිහිටුවන ලද යුරෝපා හවුලින් ඉවත්වීම එකම ඉලක්කය කරගත් 'බ්‍රෙක්සිට්' පක්ෂය (Brexit Party) විශාල ජයග්‍රහණයක් වාර්තා කිරීමයි.

එම පක්ෂය මේවනවිට යුරෝපා පාර්ලිමේන්තුවේ ආසන විසි නවයක් දිනා ගෙන ඇති අතර, ඊ ලඟට වැඩිම ආසන සංඛ්‍යාව දිනාගෙන සිටින්නේ යුරෝපා හවුලේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසිනි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් දිනාගෙන ඇති ආසන සංඛ්‍යාව දහසයකි.

පාලක කොන්සර්වේටිව් පක්ෂය දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ආසන හතරකට වැටී ඇති අතර,විපක්ෂයේ ලේබර් පක්ෂය ආසන දහයක් දිනා සිටිති.

තවත් විශේෂත්වයක් වන්නේ බ්‍රිතාන්‍ය හරිත පක්ෂය පාලක කොන්සර්වේටිව් පක්ෂයත් අභිබවා යමින් ආසන හතක් දිනා ගැනීමට සමත්වීමය.

Image copyright APA
Image caption ජර්මනියේ හරිත පක්ෂ සාමාජිකයන් ජයග්‍රහණය භුක්ති විඳිමින්

පසුබෑමකට ලක්ව සිටිය ද යුරෝපා හවුලේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ යුරෝපා පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගනු ඇති බවට තවමත් අපේක්ෂා පළ වෙමින් පවතී.

යුරෝපා පාර්ලිමේන්තුවට යැවෙන ප්‍රංශ නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ ඡන්දයෙන් ජනාධිපති මැක්රෝන් නායකත්වය දෙන සන්ධානය පසුබෑමකට ලක්ව ඇතත් එම සන්ධානය යුරෝපා හවුලට පක්ෂ කඳවුරට එක්වීමට තීන්දු කර ඇත.

ප්‍රංශයේ ඉදිරියෙන් සිටින්නේ මරීන් ල පන් මරීන් ල පන් (Marine Le Pen) නායකත්වය දෙන යුරෝපා හවුලෙන් ඉවත්වීම වෙනුවෙන් කටයුතු කරන අති දක්ෂිණාංශික ජාතිකවාදී සංවිධානයයි.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 750 කි.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර