ඔත්තු දුන් පාකිස්තාන යුද හමුදා ලුතිනන් ජනරාල්වරයකුට යාවජීව සිර දඬුවම්

Image copyright Reuters
Image caption පාකිස්තාන යුද හමුදාපති ජනරාල් කමාර් ජාවෙඩ් බජ්වා (Gen Qamar Javed Bajwa)

ඔත්තු බැලීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරු කෙරුණ පාකිස්තාන යුද හමුදා ලුතිනන් ජනරාල්වරයකු ජීවිතාන්තය තෙක් සිර දඬුවමකට යටත් කරනු ලැබුණි.

එම ලුතිනන් ජනරාල්වරයාගේ සිර දඬුවමට අමතරව, තවත් බ්‍රිගේඩියර්වරයකු සහ පරිපාලන නිලධාරියකු එම චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබ ඇත.

චූදිතයන් තිදෙනා ඉතාම රහස්‍ය වැදගත් තොරතුරු විදේශීය ආයතනවලට අනාවරණය කර ඇතැයි පාකිස්තාන යුද හමුදාව පවසයි.

ඔවුන්ට එරෙහිව පනවන ලද දඬුවම් පාකිස්තාන යුද හමුදාපති ජනරාල් කමාර් ජාවෙඩ් බජ්වා (Gen Qamar Javed Bajwa) විසින් තහවුරු කරන ලද බවත් පාකිස්තාන් යුද හමුදා ප්‍රකාශනයෙහි දැක්වෙයි.

එම නිලධාරීන් තිදෙනා ඔවුන්ට එරෙහි චෝදනාවලට වරදකරුවන් කරන ලද්දේ කවුරුන් විසින්ද යන්න හෝ චූදිතයන් විසින් කවර ආකාරයේ තොරතුරු විදේශීය ආයතනවලට දී ඇද්ද යන්න පාකිස්තාන යුද හමුදාව පවසා නැත.

කෙසේවුවද,බොහෝ නිරීක්ෂකයෝ මෙහිදී පුරුදු පරිදි, ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශය (CIA) දෙසට ඇඟිල්ල දිගු කිරීමට ඉඩකඩ ඇතැයි ඉස්ලාමාබාද් නගරයේ සිටින බීබීසී වාර්තාකරු එම්.ඉල්ලියාස් කාන් පවසයි.

යුදමය සහයෝගීතාවය අතින් පාකිස්තානය සහ එක්සත් ජනපදය අතර ඉතා දීර්ඝ සහයෝගීතාවයක් පවතින බව සිහිපත් කරන බීබීසී වාර්තාකරු,දෙරටේ නිලධාරීන් අතර නිරන්තරයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වා ගෙන යන බවත් පවසයි.

ඔත්තු දුන්නේ කාටද?

ජීවිතාන්තය තෙක් බල පැවැත්වෙන සිර දඬුවමකට යටත් කෙරුණ ලුතිනන් ජනරාල් ජාවෙඩ් ඉක්බාල්ට (විශ්‍රාමික) පාකිස්තානය තුළ වසර දාහතරක කාලයක් බරපතළ සිර දඬුවම් විඳීමට සිදුවනු ඇත.

පාකිස්තානයෙහි එවැනි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඔත්තු සැපයීමේ චෝදනාවලට වරදකරු බවට පත්වීම ඉතා දුර්ලභ කරුණක් බව වාර්තාකරුවෝ පවසති.

Image copyright EPA
Image caption පාකිස්තාන් අගමැති ඉම්රාන් කාන්

ඔහු ක්‍රියාන්විත රාජකාරියෙහි නිරත වෙමින් සිටි කාලය තුළ ඉහළ මට්ටමේ පදවි කීපයක් දරා ඇති යුද නිලධාරියෙකි.

යුද මෙහෙයුම්වල අධ්‍යක්ෂ ජනරාල් පදවිය ඇතුළුව සැලසුම් සහ පාකිස්තානයේ බාහිර සහ අභ්‍යන්තර සියලු යුද මෙහෙයුම්වල විධායක නිලධාරියා ලෙසත් ලුතිනන් ජනරාල් ජාවෙඩ් ඉක්බාල් කටයුතු කර ඇත.

ලුතිනන් ජනරාල් ජාවෙඩ් ඉක්බාල්, යුද හමුදාවන්හි විනය සහ වගකීම් අධීක්ෂණය භාර ප්‍රධාන පරිපාලක පදවියේත් කටයුතු කර ඇති නිලධාරියෙකි.

ඉහත කී චෝදනාවන්ට වරදකරු කරනු ලැබ ඇති බ්‍රිගේඩියර් රාජා රිෂ්වාන් (විශ්‍රාමික) නම සඳහන් නොකළ සංවිධානයක කටයුතු කරමින් සිටි බවත් පාකිස්තාන වාර්තා මගින් පැවසෙයි.

පාකිස්තාන යුද හමුදාවේ බ්‍රිගේඩියර් නිලයට ඉහල මට්ටමේ පදවියක කටයුතු කළ නිලධාරියකු රහස්‍ය තොරතුරු හෙළිදරව් කරනු ලැබීම සම්බන්ධයෙන් මින්පෙර වැරදිකරු කරනු ලැබ ඇද්ද යන්න පැහැදිලි නැත.

එහෙත් සන්නද්ධ කණ්ඩායම් සමඟ සම්බන්ධතා පැවැත්වීම හෝ එසේ නැත්නම් බලය අල්ලා ගැනීමට සැලසුම් කරනු ලැබීම සම්බන්ධයෙන් මින් පෙරත් පාකිස්තාන යුද නිලධාරීන් වරදකරුවන් කොට ඇත.

එලෙස වරදකරුවන් කෙරෙන පුද්ගලයන්ට එම තීන්දුවලට එරහිව අභියාචනා කළ හැකි උසාවි ක්‍රමයක් ද පාකිස්තානයේ බල පැවැත්වෙයි.

කියවන්න;