සුඩාන අර්බුදය: විපක්ෂය සහ ආරක්ෂක අංශ අතර ගැටුම්වලින් විශාල පිරිසක් මරුට

Image copyright Reuters

සුඩානයේ ආරක්ෂ අංශ සහ විපක්ෂ විරෝධතාකරුවන් අතර ඇති වී තිබෙන ගැටුම් හේතුවෙන් එරට තුළ දේශපාලනික අර්බුදයක් නිර්මාණය වී තිබේ.

විපක්ෂයට සම්බන්ධ වෛද්‍යවරුන් බදාදා (ජූනි 05) පැවසුවේ, සුඩානයේ කාටූම් අගනුවර පැවති ප්‍රජාතන්ත්‍ර හිතවාදී උද්ඝෝෂණ අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ඝාතනය වී ඇති බවය.

කාටූම්හි නයිල් නදියේ තිබී මළ සිරුරු 40ක් අඟහරුවාදා ගොඩගත් බව ඔවුහු පැවසූහ.

කෙසේ වෙතත්, එම සංඛ්‍යා ලේඛන ප්‍රතික්ෂේප කරමින් එරට බලධාරියෙකු පැවසුවේ ජීවිතක්ෂයට පත් පිරිස 46 දෙනෙකුට ආසන්න බවය.

මේ සම්බන්ධයෙන් සුඩාන පාලකයින් කිසිදු අදහසක් පළ කර නොතිබූ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාළ නිලධාරියා එම ඝාතන සංඛ්‍යාව 46ක් බවට බ්‍රහස්පතින්දා (ජූනි 06) තහවුරු කළේය.

Image copyright Getty Images

අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස සුඩානයේ ආරක්ෂක කවුන්සිලය කර ඇති යෝජනාව විපක්ෂ ක්‍රියාකාරීන් ප්‍රතික්ෂේප කර ඇත්තේ, විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී මර්දනයක් ක්‍රියාත්මක වන පරිසරයක් තුළ ආරක්ෂක කවුන්සිලය විශ්වාස කළ නොහැකි බව පවසමිනි.

කාටූම් අගනුවර වෙසෙන නිවැසියන් බීබීසී පුවත් සේවයට පැවසුවේ, තමන් බියෙන් ජීවත් වන බවය.

කෙසේ වෙතත්, ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ප්‍රධානියෙකු වන මොහොමඩ් හමදාන් පවසා ඇත්තේ, ප්‍රචණ්ඩකාරී මර්දනයක් සිදු නොවන අතර විරෝධතාකරුවන් මැර කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වී සිටින බවය.

"අපි අර්බුදයක් ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේ ම අපි ආපස්සට යන්නෙත් නෑ. අපි නීතිය හරහා රටේ ගෞරවය ඇති කළ යුතුයි."

කාටූම් වෙතින් ලැබෙන වාර්තා රැසක සඳහන් වන්නේ, රැපිඩ් සපෝර්ට් ෆෝසස් නමැති සන්නද්ධ ඒකකයේ සාමාජිකයින් නගරයේ අස්සක් මුල්ලක් නෑර පීරමින් සිවිල් වැසියන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බවය.

මීට පෙර ජන්ජාවීද් සන්නද්ධ කල්ලිය ලෙස හැඳින්වූ රැපිඩ් සපෝර්ට් ෆෝසස් නමැති සන්නද්ධ කල්ලිය 2003 වසරේදී ඩාෆූර්හි සිදු කළ දරුණු කෲර ක්‍රියා නිසා අපකීර්තියට පත්ව සිටී.

Image copyright AFP

වත්මන් අර්බුදයට බලපෑ හේතුව කුමක් ද?

වසර 30ක් පුරා ඒකාධිපති පාලනයක් ගෙන ගිය ජනාධිපති ඕමාර් අල් බෂීර්ට එරෙහිව පැවති ප්‍රජාතන්ත්‍ර හිතවාදී උද්ඝෝෂණ හමුවේ අප්‍රේල් මස ඔහු ධූරයෙන් නෙරපනු ලැබීමෙන් අනතුරුව සුඩානය පාලනය කරනු ලබන්නේ, හමුදා කවුන්සිලය විසිනි.

විරෝධතාකරුවන් ආරක්ෂක මූලස්ථානය ඉදිරිපිට පිහිටි චතුරශ්‍රයට රැස්ව සිටි අතර ඔවුන්ගේ නියෝජිතයන් හමුදා කවුන්සිලය සමග සාකච්ඡා කර තිබිණි.

එහිදී එකඟ වී තිබුණේ වසර 3ක් යන තුරු අන්තර්පාලනයක් ගෙන ගොස් ඉන්පසු මැතිවරණයක් පැවැත්වීමටය.

නමුත් පසුගිය සඳුදා පැමිණි ආරක්ෂක අංශ චතුරශ්‍රයේ රැඳී සිටි නිරායුධ විරෝධතාකරුවන් වෙත වෙඩි තබා ඇත.

හමුදා කවුන්සිලයේ ප්‍රධානී ජෙනරල් අබ්ඩෙල් අල් බර්හැන් නිවේදනය කළේ අදාළ එකඟතාව අවලංගු කරනු ලැබ ඇති අතර මාස 9 ක් ඇතුළත මැතිවරණයක් පවත්වන බවය.

තවදුරටත් කියවන්න.