රුසියානු විදුලි සංදේශ සමාගමක් සහ චීන 'හුවාවි' අතර ගිවිසුමක්

Image copyright Getty Images

රුසියාව තුළ 5G තාක්ෂණය ව්‍යාප්ත කිරීම සඳහා චීනයේ'හුවාවි' (Huawei)සමාගම රුසියානු එම් ටී එස් නම් විදුලි සංදේශ සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තැබීය.

ඒ අනුව ලබන වසර ඇතුළත සමාගම් දෙක රුසියාව තුළ 5G ජාලය වර්ධනය කිරීමට කටයුතු කරනු ඇත.

මෙම සමාගම් මේ ගිවිසුමට එළඹුණේ චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින අතරවාරයේය.

ඔවුන් අතර මෙම එකඟතාවය ඇති වූයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ඇමෙරිකාව ප්‍රමුඛ ඇතැම් බටහිර රටවල් චීනයේ 'හුවාවි' සමාගමට බාධක පණවා තිබෙන පසුබිමකය.

රුසියානු විදුලි සංදේශ සමාගම නිකුත් කර තිබූ නිවේදනයක් උපුටා දක්වමින් AFP පුවත් සේවය සඳහන් කළේ ගිවිසුම ප්‍රකාරව ඉදිරියේදී රුසියාව තුළ 5G තාක්ෂණය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන අතර 2019 - 2020 අතර කාලය තුළ 5G ජාලය ද වැඩිදියුණු කිරීම නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කෙරෙන බවය.

මාස කිහිපයක සිට ජාත්‍යන්තර පරීක්ෂාවකට ලක්ව සිටින 'හුවාවි' සමාගමට මෙම ගණුදෙනුව යම් අස්වැසිල්ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Image copyright Getty Images

හුවාවී මතභේදාත්මක වූයේ ඇයි ?

වෙළෙඳ ක්ෂේත්‍රයෙන් ඇරඹි චීන ඇමෙරිකා බල අරගලයේ කේන්ද්‍රස්ථානයක් බවට අද 'හුවාවි' සමාගම පත්ව තිබේ.

එම අරගලය තාක්ෂණික ක්ෂේත්‍රය තුළට ද පිවිස ඇත.

ලොව විශාලතම දුරකථන උපාංග නිෂ්පාදකයා ලෙස සැලකෙන 'හුවාවි' සමාගම සිය 5G ජාලවලින් අවහිර කිරීමට පියවර ගන්නා මෙන් එක්සත් ජනපදය සිය මිත්‍ර රටවල උනන්දු කරමින් සිටී.

සිය "රහසිගත නිරීක්ෂණ" සඳහා චීනය හුවාවී උපාංග යොදාගැනීමට ඉඩ තිබෙන බව ඇමෙරිකාවේ තර්කය වී තිබේ.

Image copyright Reuters

නමුත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන Huawei 'හුවාවි' පවසන්නේ, තමන් රජයෙන් පරිබාහිර ස්වාධීන සමාගමක් බවය.

දැනටමත් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු ඇතැම් රටවල් 5G ජංගම දුරකථන ජාල සඳහා උපාංග සැපයීම 'හුවාවි' Huawei සමාගමෙන් ඉවත්කර තිබේ.

''හුවාවි' සමාගම එක්සත් ජනපදය සමග වෙළෙඳ ගණුදෙනුවල නියැලීමට අවශ්‍ය බලපත්‍ර නොමැති සමාගම් අතරින් එකක් ලෙස ලැයිස්තුගත කිරීමට ජනාධිපති ට්‍රම්ප් පාලනය ඉකුත් මාසයේ පියවර ගැනීමෙන් පසු , හුවාවී සමඟ ගණුදෙනු තහනම් කිරීම සඳහා වොෂින්ටනය ගන්නා උත්සාහය තවත් උත්සන්න වී තිබේ.

ලෝකයේ දෙවන විශාලතම ජංගම දුරකතන නිෂ්පාදකයා වන Huawei 'හුවාවි' දුරකතනවල ඇන්ඩ්‍රොයිඩ් (Android) තාක්ෂණයට අදාළ යම් යාවත්කාලීන කිරීම් නතර කිරීමට ගූගල් සමාගම පසුගිය දා පියවර ගනු ලැබීය.

මේ හේතුවෙන්, 'හුවාවි'සමාගමේ නවතම ජංගම දුරකතන නිෂ්පාදනවල සමහර ගූගල් ඇප් වර්ග ඇතුළත් නොවෙනු ඇත.

නමුත්, දැනට විකිණී අවසන් සහ වෙළෙඳපොළෙහි පවතින 'හුවාවි' Huawei සහ Honor ජංගම දුරකතන සහ ටැබ්ලට් උපකරණවල ආරක්ෂණ ඇප් යාවත්කාලීන කිරීම් සහ විකිණීමෙන් පසු ලබා දෙන සේවාවන් දිගින් දිගටම සිදු කරන බව එහිදී Huawei සමාගම පැවසීය.

Image copyright Getty Images

දැනට 'හුවාවි' Huawei ජංගම දුරකතන භාවිත කරන්නන්ට ආරක්ෂණ මෘදුකාංග ඔස්සේ ගූගල් ඇප් සහ Google Play (ගූගල් ප්ලේ) යාවත්කාලීන කිරීමේ හැකියාව තිබේ.

නමුත් මෙම වසර අවසානයේ ගූගල් සමාගම එළිදක්වන ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයේ නවතම මාදිලිය 'හුවාවි' Huawei උපාංගවලට නොලැබෙනු ඇත.

යූටියුබ් සහ 'ගූගල් මැප්ස්' වැනි ඇප් ඉදිරි කාලයෙහි 'හුවාවි' Huawei උපාංගවල ක්‍රියාත්මක නොවෙනු ඇත.

මේ අතර, 'හුවාවි' Huawei උපාංග සහ ඒවා ඇමරිකානු වෙළෙඳ ගිවිසුම් කඩ කර ඇත්දැයි යන්න පිළිබඳ ඉතා සියුම් ලෙස පරීක්ෂා කර බලන බව ජපානයේ පැනසොනික් (Panasonic ) සමාගම මැයි 23 දා ප්‍රකාශ කර තිබිණ.

Huawei සමාගම වසරකට ඩොලර් බිලියන 67කට ආසන්න වටිනාකමකින් යුත් තාක්ෂණික උපාංග මිලට ගන්නා අතර, මින් පසු ඒ සියල්ල සිය සමාගම තුළම වැඩිදියුණු කර ගැනීමට ක්‍රියා කරන බව සමාගම ප්‍රකාශ කර තිබිණ.

ඇමරිකානු රජය සමග පවතින ඝට්ටන සමථයකට පත් නොවුනහොත් ඉදිරියේ දී එළිදක්වන 'හුවාවි' Huawei උපාංගවල ක්‍රියාකාරකම් අඩු වීමට ඉඩ ඇත. එසේ නොමැතිනම් 'හුවාවි' Huawei ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයෙන් සම්පූර්ණයෙන් ඉවත් වී ඔවුන් විසින්ම නිර්මාණය කරන නව තාක්ෂණයක් හඳුන්වා දීමට ද ඉඩ තිබේ.

Huawei සහ ගූගල් සමාගම අතර ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යෑමට අදාළ බලපත්‍රය නිකුත් කිරීමට එක්සත් ජනපදයේ වෙළෙඳ සහ ආරක්ෂණ කාර්යාංශයට හැකියාව ඇත. එසේ නොමැතිනම්, සියලු වාරණ ඉවත් කර පෙර තිබූ තත්වයට නැවත යෑමේ හැකියාව ද පවතී.

කෙසේවෙතත්, බටහිර වෙළෙඳපොළෙ තුළ 'හුවාවි' Huawei සමාගමට කෙටි කාලීන දැඩි අලාභවලට මුහුණ පෑමට සිදු වෙනු ඇත.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර