ක්‍රිකට් ලෝක කුසලානය: මහේන්ද්‍ර සිං ධෝනිගේ 'යුද අත්වැස්මට' ICCය හරස් වෙයි

Image copyright AFP
Image caption ධෝනි ගේ අත්වැස්ම මත යුද ලාංඡනය ප්‍රදර්ශනය වෙයි

එංගලන්තයේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩා තරගාවලියේ දී යුද හමුදා ලාංඡනයක් සහිත ආරක්ෂක අත්වැස්මක් පැළඳීම නතර කරන ලෙස ඉන්දීය කඩුලු රකින ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං ධෝනිගෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් (ICC) ඉල්ලා සිටිනු ලැබීම ඉන්දියානුවන්ගේ බලවත් කෝපයට හේතු වී ඇත.

ඉන්දියාවේ දේශසීමාරක්ෂක හමුදාවේ ස්වේච්ඡා භටයකු වන මහේන්ද්‍ර සිං ධෝනි, ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන විට යුද හමුදා ලාංඡනයක් සහිත ආරක්ෂක අත්වැස්මක් පාවිච්චි කරයි.

එම ක්‍රියාව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ICC) රෙගුලාසි නොතකා හැරීමක් වන නමුත් ධෝනිට එරෙහිව දඩ නියම කිරීමක් සිදු නොවන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

සිය ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝගයට අවනත නොවනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) මේ අතර කියා සිටියි.

රෙගුලාසි උල්ලංඝනය කිරීමක්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් PTI පුවත් සේවයට අදහස් දක්වමින්, එම ආරක්ෂක අත්වැස්ම පැළඳීම සඳහා මහේන්ද්‍ර සිං ධෝනිට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය (ICC) වෙත නිල මට්ටමේ ඉල්ලීමක් ඉදිරිපත් කළ බවත් , තීන්දුව කුමක් වුනත් සිය ක්‍රීඩකයා දිගටම එම අත්වැස්ම පළඳින බවත් සඳහන් කළේය.

එහෙත් සිය පළමු ස්ථාවරය තරයේ අවධාරණය කරමින් ඊට ප්‍රතිචාරය පළකළ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය (ICC), ලෝක කුසලාන තරගාවලිය තුළ ධෝනි පළඳින අත්වැස්මෙහි ඉන්දීය යුද ලාංඡනය තිබිය නොහැකි බව දැනුම් දී ඇත.

තම සංවිධානයේ මෙහෙයුමෙන් පැවැත්වෙන ක්‍රීඩා තරගවල දී ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ඇඳුමෙහි හෝ ඔහු විසින් ක්‍රීඩා පිටිය තුළ පාවිච්චි කරන උපකරණ මත විශේෂ පණිවුඩ සඳහා අවසර නැති බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය (ICC) පවසයි.

එසේම, ධෝනි පළඳින අත්වැස්මේ ඇතුළත් යුද හමුදා ලාංඡනය කඩුලු රකින ක්‍රීඩකයකු ගේ අත්වැස්ම සම්බන්ධයෙන් අනුමත රෙගුලාසි උල්ලංඝනය කිරීමක් වන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ICC) ස්ථාවරය වෙයි.

Image copyright Twitter
Image caption 'පරිත්‍යාගය' යන අර්ථය දෙන 'බලිදාන්' යන්න එම ලාංඡනය මගින් සංකේතවත් කෙරෙයි

ධෝනිගේ අත්වැස්මේ ඇතුළත් ලාංඡනය යුද හමුදා හෙල්ලක් චිත්‍රණය කෙරෙන්නකි. 'පරිත්‍යාගය' යන අර්ථය දෙන 'බලිදාන්' යන්න එම ලාංඡනය මගින් සංකේතවත් කෙරෙයි.

ඉන්දියාව මෙම තරගාවලියේ පළමු තරගයට සහභාගී වෙමින් දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වුන තරගයේ දී ධෝනි එකී අත්වැස්ම පැළඳ ක්‍රීඩා කිරීම බොහෝ ඉන්දියානුවන්ගේ ප්‍රසාදයට හේතු වුණි.

එවැනි ජාතිකවාදී හැඟීම් සහිත බොහෝ ඉන්දියානුවන් ගේ ප්‍රතිචාරයත් සමග ධෝනි සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීන්දුව තවමත් ක්‍රියාත්මක වී නැත.

මේ අතර ධෝනි සහ ඉන්දියානු යුද හමුදාව සම්බන්ධයෙන් තමන් කොතරම් සාඩම්බර වන්නේද යන්න පැවසෙන ඉන්දියානු 'ට්විටර්' පණිවුඩ මේ දිනවල වේගයෙන් සැරිසරමින් ඇත.

පළමු වතාව මෙය නොවේ

ක්‍රීඩා පිටිය තුළ තරග විනිශ්චය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඔවුන්ගෙන් ඇතැමෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට කියා සිටිති.

ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරඟයේ දී පිතිකරු ක්‍රිස් ගේල් (Chris Gayle) දැවී ගිය ක්‍රීඩකයකු හැටියට දෙවරක්ම දුන් වැරදි තීන්දුව පිළිබඳව එම ඉන්දියානුවෝ සිහිපත් කර ඇත.

මහේන්ද්‍ර සිං ධෝනිගේ ක්‍රිකට් ක්‍රීඩා ගමනේ දී ඔහුගේ යුද හමුදා පසුබිම මුල්කර ගනිමින් මතභේද උද්ගත වු පළමු වතාව මෙය නොවේ.

පසුගිය මාර්තු මාසයේ පැවැත්වුන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරගයක දී ධෝනි ඉන්දීය සොල්දාදුවන් පළඳින ආකාරයේ හිස්වැස්මක් සිය කණ්ඩායමේ ක්‍රීඩා සගයන් අතර බෙදා දුන්නේය.

ඉන්දීය පාලනය සහිත කාශ්මීරයේ දී සිය හමුදාවේ හතළිහකට අධික භටයන් මරා දමනු ලැබීමේ ප්‍රහාරය මුල්කර ගනිමින් දැඩි ගැටුම්කාරී වාතාවරණයක් උත්සන්න වෙමින් පවතින මොහොතක එම භටයන්ට ගරු කිරීමක් වශයෙන් ධෝනි එදා එම පියවර ගත්තේය.

එම සිද්ධිය ඉන්දීය සමාජය තුළ ජාතිකවාදී හැඟීම් උත්සන්න වීමට හේතු වු අතර, ඉන්දියාව සහ පාකිස්ථානය යුද අනතුරක අද්දරටම තල්ලු කිරීමට එය හේතු විය.

Image caption සිය ක්‍රීඩා සගයකු දිරි ගන්වන මහේන්ද්‍ර සිං ධෝනි

ඒ සමඟ ප්‍රකාශයක් කළ පාකිස්තානය, ක්‍රීඩාව 'දේශපාලනීකරණය' කරන බවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට චෝදනා කළ අතර ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය ඊට ප්‍රතිචාරය පළ කරමින් "එම හිස්වැසුම් පැළඳීමට ඉන්දීය කණ්ඩායමට අවසර දී තිබුණ" බව ප්‍රකාශයට පත් කළේය.

එහෙත් එම සිද්ධියත් තවමත් විවාද සහගත මට්ටමක පවතින අතර, ජාත්‍යන්තර තරග පැවැත්වෙන අවස්ථාවන්හි දී දේශපාලන අදහස් ප්‍රකාශ කරනු ලැබීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන් පෙර ක්‍රීඩකයන්ට තරවටු කර ඇති බව බොහෝ දෙනෙක් සිහිපත් කරති.

එහෙත් මෙවර ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මහේන්ද්‍ර සිං ධෝනිගේ අත්වැස්ම සම්බන්ධයෙන් පළ කරනු ලැබ ඇති විරෝධය වෙනත් සියලු කරුණු අභිබවා ගිය තාක්‍ෂණික මට්ටමේ කාරණයක් බව පෙනී යයි.

තමන් විසින් පවත්වා ගෙන යනු ලබන රෙගුලාසිවලට අනුව, ක්‍රිකට් ක්‍රීඩාවේ දී කඩුලු රකින ක්‍රීඩකයකුගේ අත්වැස්මෙහි එය නිෂ්පාදනය කරන ලද සමාගමේ වෙළෙඳ ලාංඡනය හැර වෙනත් කිසිවක් ප්‍රදර්ශනය නොවිය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය අවධාරණය කරයි.

කියවන්න;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර