මියන්මාර බෞද්ධ ප්‍රචණ්ඩත්වයේ "විරතු මුහුණුවර"

Image copyright Reuters
Image caption අවුං සාන් සුචී දෝෂ දර්ශනයට ලක් කරනු ලැබීමත් සමග "උන්වහන්සේ මග වරද්දා ගෙන ඇති" බව මියන්මාර් බලධාරීන්ගේ අලුත් නිගමනය වී ඇති බවක් පෙනේ

උන්වහන්සේ මුස්ලිම් පල්ලි හඳුන්වන්නේ සතුරු බලකොටු හැටියටය. මුස්ලිම් ජාතිකයන් හඳුන්වන්නේ "පිස්සු බල්ලන්" හැටියටය. එපමණක් නොව, මුස්ලිම්වරුන් බුරුම ගැහැණු සොරා ගන්නා බවටත් දූෂණය කරන බවටත්, ඔවුන්ගේ වර්ගයා වේගයෙන් බෝ කරන බවටත් උන්වහන්සේ චෝදනා කරති.

එම විවේචන එල්ල කරනු ලබන්නේ විරතු (Wirathu) නම් බුරුම බෞද්ධ භික්‍ෂුව විසිනි.

ලොව වඩාත් විවාදයට ලක්වෙන බෞද්ධ භික්‍ෂුව බවට පත්ව සිටින විරතු හිමියන්ට (Ashin Wirathu), උන්වහන්සේගේ විසකුරු දේශනා පැවැත්වීමට මග සලසමින්, ඊට අවශ්‍ය ආරක්ෂාව සහ අනුග්‍රහය සලසමින් මියන්මාරයේ බලධාරීහු, වසර ගණනාවක් බලා සිටියහ.

එහෙත් විරතු භික්‍ෂුව නොබෙල් ත්‍යාගලාභී අවුං සාන් සුචී දෝෂ දර්ශනයට ලක් කරනු ලැබීමත් සමග "උන්වහන්සේ මග වරද්දා ගෙන ඇති" බව මියන්මාර් බලධාරීන්ගේ අලුත් නිගමනය වී ඇති බවක් පෙනේ.

ඒ අනුව විරතු හිමියෝ රාජද්‍රෝහී අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමේ අනතුරට දැන් මුහුණ දී සිටිති.

සිය බුරුම බෞද්ධ ජාතිකවාදී අරමුණ පෙරට ගෙන යමින් සිටින විරතු නම් මෙම බුරුම බෞද්ධ භික්‍ෂුව කාගේ කවුරුන්ද?

දොරට වැඩම කිරීම

ඒ 2001 වසරයි. මහජන අවධානය යොමුකර ගනිමින් විරතු හිමියන් පළමුවරට කල එළි බසින්නේ මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාර වර්ජනය කිරීමේ ක්‍රියාදාමයකට නායකත්වය දෙමිනි.

අනතුරුව, 2003 වසරේ අත්අඩංගුවට ගැනීමෙන් පසු වසර විසි පහක සිර දඬුවමකට යටත් කෙරුණ විරතු භික්‍ෂුව, 2010 වසරේ ලද පොදු සමාවක් යටතේ සිරගෙයින් මුදා හරිනු ලැබේ.

එහෙත් එම සිරගත කරනු ලැබීම මගින් රටේ සුළුතර මුස්ලිම් ජනයාට එරෙහිව උන්වහන්සේ තුළ පැසවන කෝපය සමනය කිරීමක් සිදු නොවූ බව ඉන් පසුව සිදුවූ එතුමන්ගේ ක්‍රියාකාරකම් වලින් පෙන්නුම් කෙරෙයි.

Image copyright Getty Images
Image caption මුස්ලිම් ප්‍රචණ්ඩ ප්‍රහාරවලට ගොදුරුවූවන්ගේ පින්තූර උන්වහන්සේගේ ආශ්‍රමයේ ප්‍රදර්ශනය කෙරෙමින් ඇත

බෞද්ධ සාහිත්‍යයේ ඇතුළත් කතන්දර මුල් කර ගනිමින් විරතු හිමියන් පැවැත්වූ දේශන අන්ත ජාතිකවාදී අදහස් වලින් පිරී තිබුණි.

මාධ්‍ය හමුවීම්වල දී ඉතාම සංවර සහ පැහැදිලි ස්වරයෙන් අදහස් පළ කරන නමුත් මහජන රැස්වීම් අමතද්දී උන්වහන්සේ කතා කරන්නේ ඉතා ආවේගශීලී සහ කුපිතකාරී ස්වභාවයෙනි.

මහජන රැස්වීම් අමතද්දී විරතු හිමියන් විසින් පාවිච්චි කරනු ලබන වචන වෛරී ස්වභාවයක් ගන්නා අතර, ඒවා මියන්මාරය තුළ නළියමින් පවතින 'ඉස්ලාම් භීතිකාව' (Islamophobia) අවුළුවාලීමට හේතුවෙයි.

"මුස්ලිම් පුරුෂයන් විසින් බෞද්ධ කාන්තාවන් විවාහ කර ගැනීම තහනම් කෙරෙන නීතියක් බල ගන්වන මෙන්" බල කෙරෙන ව්‍යාපාරයක් උන්වහන්සේ මෙහෙයවමින් සිටිති.

"ඔබ සර්පයා හඳුනා ගැනීමට නොහැකිවයි සිටින්නේ. මොකද? සර්පයා කුඩා බැවින්. මුස්ලිම්වරුත් ඒ වගෙයි," විරතු හිමියන්ගේ විග්‍රහය එබඳුය.

ෆේස්බුක් තහනමක්

"මියන්මාරයෙහි වැඩි වෙමින් පවතින මුස්ලිම් ජනගහනයත් සමඟ රටේ බෞද්ධ සංස්කෘතිය යටපත් වීමේ අන්තරායක් එල්ල වෙමින් ඇති බව" පැවසෙන පණිවුඩ පතුරවා හැරීමට විරතු හිමියෝ, සමාජ මාධ්‍ය ජාල පාවිච්චි කිරීමට පියවර ගත්හ.

එරටෙහි වෙසෙන රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් උන්වහන්සේ පළ කරන ලද ප්‍රකාශන සැලකිල්ලට ගත් ෆේස්බුක් ජාලය, 2018 ජනවාරි මාසයේ දී විරතු හිමියන්ගේ ගිණුම අසාදු ලේඛනයට ඇතුළත් කළේය.

උන්වහන්සේ ඊට ප්‍රතිචාරය පළ කරන ලද්දේ තමා "විකල්ප වේදිකාවක්" සොයා ගන්නා බව පවසමිනි.

Image copyright Getty Images
Image caption සිය මතවාදය පතුරුවාලීමට විරතු හිමියෝ සමාජ මාධ්‍ය ජාලය උපයෝගී කර ගනිති

"ෆේස්බුක් මට දොර වැහුවොත් මම යූ ටියුබ් එක පාවිච්චි කරනවා. යූ ටියුබ් එක ප්‍රමාණවත් නැති නිසා මම මගේ ජාතිකවාදී මත ප්‍රචාරයට ට්විටර් එක යොදා ගන්නවා," විරතු හිමියෝ ප්‍රකාශ කළහ.

එපමණක් නොව, උන්වහන්සේ රුසියාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිය වීඩියෝ ප්‍රචාරය කරන අතර, තම කටයුතු සඳහා VK නම් වෙබ් අඩවිය ද උපයෝගී කර ගනිති.

'ෆේස්බුක්' පමණක් නොව, බෞද්ධ බහුතර ජනතාවක් වෙසෙන තායිලන්තය ද පසුගිය අප්‍රේල් මාසයේ දී විරතු හිමිගේ දේශනාවලට එරෙහිව තහනමක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

'බෞද්ධ බින් ලාඩන්'

විරතු හිමියන් ලද සීඝ්‍ර ජනප්‍රියත්වයේ කැඩපත බවට පත්වුණේ මියන්මාරයේ සීයට පහක් තරම් වන 'රෝහින්ග්‍යා' මුස්ලිම් ප්‍රජාව විඳින පීඩාවයි.

2013 ජූලි මාසයේ 'ටයිම්' සඟරාව සරසා තිබුණේ විරතු හිමියන්ගේ පින්තූරයකිනි. එහි ශීර්ෂ පාඨයේ මෙසේ දැක්වුණි.

"බෞද්ධ ත්‍රස්තවාදයේ මුහුණුවර"

"මම කවුද කියල තේරුම් අරන් නැහැ. මට පහර දෙනවා. යම්කිසි කණ්ඩායමක් මාව අවමානයට ලක් කරවන්න මාධ්‍යයට සල්ලි දෙනවා කියල මම හිතනවා. ඇත්තෙන්ම, අන්තර්ජාල මාධ්‍ය හසුරුවන්නේ මුස්ලිමුන් විසින්," උන්වහන්සේ 2013 වසරේ බීබීසියට ප්‍රකාශ කළහ.

2015 වසරේ නිෂ්පාදනය කෙරුනු වාර්තා චිත්‍රපටයක විරතු හිමියන් හඳුන්වා දී තිබුණේ "බෞද්ධ බින් ලාඩන්" ලෙස පටබැඳි නමකිනි. එම නම බටහිර මාධ්‍ය විසින් වැළඳ ගන්නා ලද අතර වාර්තා චිත්‍රපටයෙහි තමා බින් ලාඩන්ට සම කරනු ලැබ තිබීම විරතු තෙරණුන් විසින් බැහැර කරනු ලැබුණි.

තමා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිකුල් කරන බව උන්වහන්සේ පවසති.

"අඩු තරමින් මම කෘර විධියට මගේ ප්‍රතිචාරයක්වත් පළ කරන්නෙ නැහැ."

Image copyright Getty Images
Image caption විරතු හිමියන්ගේ අපහාසයට ලක්වූ එක්සත් ජාතීන්ගේ නියෝජිත Yanghee Lee

තුවක්කුව අතට ගන්නා දවස

පනස් එක්වැනි වියේ පසුවෙන මෙම බෞද්ධ භික්‍ෂුව, තමන් වහන්සේ විසින්ම නිර්මාණය කර ගන්නා ලද මතභේදාත්මක විවාදවල මාතෘකාවක් වී ඇත.

මියන්මාරයේ මුස්ලිම් සුළු ජනයාගේ ඉරණම පිළිබඳව විභාග කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, දකුණු කොරියානු තානාපති නිලධාරිනියක වන යැන්ඝී ලී (Yanghee Lee) විශේෂ නියෝජිතවරියක් ලෙස 2015 වසරේදී මියන්මාරයට යවන ලද අතර විරතු හිමියන් විසින් ඇයව හඳුන්වා තිබුණේ 'බැල්ල' සහ 'ගණිකාව' වැනි අපහාසාත්මක වචන යොදා ගනිමිනි.

රකයින් (Rakhine) පළාතේ ජන සංහාරයට අදාළව මියන්මාර යුද හමුදාවේ ඉතා ඉහළ මට්ටමේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුව ඇතැයි පසුගිය වසරේ නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයක් මගින් නිර්දේශ කර තිබුණි.

එම නිර්දේශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රකයින් ජන සංහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් මූලික විභාගයක් ආරම්භ කරනු ලැබුණි.

මියන්මාර් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ එකී වාර්තාව බැහැර කරයි. විරතු භික්‍ෂුව ඊට එරෙහි ප්‍රතිවිරෝධයට නායකත්වය සැපයීය.

"ජාත්‍යන්තර අපරාධ අධිකරණය මියන්මාරයට ඇතුල් වෙන දවස 'විරතු' තුවක්කුවක් අතට ගන්නා දවසයි" යනුවෙන් විරතු හිමියෝ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවති රැළියක දී සිය ආධාරකරුවන් අමතමින් සපථ කළහ.

රහසිගත මුස්ලිම් න්‍යාය පත්‍රයක්

2012 වසරේ රකයින් පළාතේ ආරම්භ වු 'රෝහින්ග්‍යා' මුස්ලිම් විරෝධී ප්‍රහාර සඳහා වැඩි වශයෙන් චෝදනා එල්ල වෙන්නේ විරතු හිමිගේ අනුගාමිකයන්ටය.

එම ප්‍රහාර හමුවේ අසල්වැසි බංග්ලාදේශයට පළා ගිය 'රෝහින්ග්‍යා' මුස්ලිම් ජන සංඛ්‍යාව හත් ලක්ෂය ඉක්මවීය.

Image copyright Reuters
Image caption ප්‍රහාර හමුවේ අසල්වැසි බංග්ලාදේශයට පළා ගිය 'රෝහින්ග්‍යා' මුස්ලිම් ජන සංඛ්‍යාව හත් ලක්ෂය ඉක්මවීය.

2017 දී 'ද ගාඩියන්' (The Guardian) පුවත්පතට ප්‍රකාශයක් කළ විරතු භික්‍ෂුව මෙසේ කියා තිබුණි.

"අවුං සාන් සුචී බංග්ලාදේශ ජාතිකයන්ට උදව් කරන්න මනාප වීමේ ඉඩකඩක් තියෙනවා. ඒත් මම ඇයට ඒකට ඉඩ දෙන්නේ නැහැ."

බුරුම ජාතිකවාදීන් විසින් රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව නිතරම හඳුන්වනු ලබන්නේ 'පිටස්තරයන්ය' යන හැඟීම ඇති කරමින් "ඔවුන් බංග්ලාදේශ ජාතිකයන්"යයි පවසමිනි.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික පක්ෂය මුස්ලිම් න්‍යාය පත්‍රයකට රහසිගතව උදව් කරන බවට විරතු හිමියෝ චෝදනා කරති.

බුරුම බුද්ධාගම

මියන්මාරයට රාජ්‍ය ආගමක් නැත. එහෙත් බුරුම සමාජය කෙරෙහි බුදුදහම ඇති කරන්නේ දැවැන්ත බලපෑමකි.

රටේ ජනගහනයෙන් 90% ක් පමණ බුදු දහමට ආශක්ත වෙති. එම දහම අදහති.

Image caption මියන්මාරයේ රට පුරා විසිර ඇති බෞද්ධ ආරාම වසර දහස් ගණනක පටන් රාජ්‍යානුග්‍රහය ලබයි

මියන්මාරයේ බෞද්ධ ආරාම වසර දහස් ගණනක පටන් රාජ්‍යානුග්‍රහය ලබයි. දහනව වැනි ශත වර්ෂයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුළදී එම අනුග්‍රහයෙහි නතර වීමක් දක්නට ලැබිණි.

'ඉරවඩි' මහා ගංගාව ඇතුළු වෙනත් ගංගාවන්හි දිය දහරින් සරුසාර වන මියන්මාරයේ ඈත ගම්දනව්වල ඉදි කෙරුණ චිත්තාකර්ෂණීය බෞද්ධ ආරාම රැසකි.

එම කෘෂිකාර්මික කලාපයන්හි විහාරාරාම සතුව ඉඩකඩම් ඇත.

මියන්මාරය දීර්ඝ කාලයක යුද හමුදා පාලන ඉතිහාසයක් කියා පායි. යුද භටයන්ගේ සංඛ්‍යාව හාර ලක්ෂය ඉක්මවයි.

රටේ බෞද්ධ භික්ෂූන්ගේ සංඛ්‍යාව පන් ලක්ෂයට වැඩිය. රටවැසියන්ගේ ගරු බුහුමන් ලබන මියන්මාර් භික්ෂු පරපුර සමාජ වරප්‍රසාද ද භුක්ති විඳිති.

'මා බා තා" බුද්ධ පුත්‍ර (Ma Ba Tha)

විරතු හිමියන් ආරම්භයේ දී එකමුතුව සිටියේ '969' යනුවෙන් නම් කරන ලද සංවිධානයක් සමගය.

එම සංවිධානය වඩාත් ප්‍රකටව සිටියේ මුස්ලිම් විරෝධී කණ්ඩායමක් වශයෙනි.

2013 වන විට '969' කණ්ඩායමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙමින් තිබු අතර, එවකට මියන්මාර් ජනාධිපති තේන් සෙන් (Thein Sein) එම සංවිධානයට ප්‍රසිද්ධියේ සහයෝගය පළකළ අතර, ඔහු සංවිධානයේ ඉදිරිපෙළේ නායකයා වු විරතු භික්‍ෂුව හඳුන්වා තිබුණේ "බුද්ධ පුත්‍රයා" යන යෙදුම පාවිච්චි කරමිනි.

'969' ට පසුව විරතු හිමියන් විසින් විසින් නායකත්වය දෙන ලද සංවිධානය 'මා බා තා' (Ma Ba Tha) ව්‍යාපාරයයි. 2014 වසරේ ආරම්භ වු එම සංවිධානය 'බුරුම දේශප්‍රේමී ව්‍යාපාරය' යනුවෙන් ද නම් කරනු ලැබ ඇත.

2017 වසරේ ආරම්භ වූ 'මා බා තා' ව්‍යාපාරය, 2017 වසරේ දී තහනම් කරනු ලබන විට රටපුරා ව්‍යාප්ත සංවිධානයක් වී තිබුණි.

Image copyright AFP
Image caption විරතු හිමිගේ ආකර්ශනීය නායකත්වය සමඟ මා බා තා ව්‍යාපාරය වේගයෙන් පැතිර යමින් තිබුණි

තහනමක් බල පැවැත්වුනද විරතු භික්ෂුවට මියන්මාරයේ රාජාණ්ඩු පාලනයේ අවසන් අගනගරය වූ 'මැණ්ඩලේ'හි පිහිටි සිය නිසංසල ආරාමයේ සිට 'මා බා තා' (Ma Ba Tha) බුරුම දේශප්‍රේමී ව්‍යාපාරයේ කටයුතු දිගටම මෙහෙයවීම අතින් බාධාවක් නොවුණි.

උන්වහන්සේගේ මූලස්ථානය වූ බෞද්ධ ආශ්‍රමයේ මුස්ලිම් ප්‍රචණ්ඩ ප්‍රහාරවලට ගොදුරුවූවන්ගේ පින්තූර දිගටම ප්‍රදර්ශනය කෙරෙමින් තිබුණි.

විරතු හිමියෝ 2013 වසරේ බීබීසිය සමග සාකච්ඡාවකට එක්වූහ.

කහවන් සිවුරක් පොරවා සිටි භික්‍ෂුව සිය වැරදි හැසිරීම සම්බන්ධයෙන් පසුතැවිලි නොවන බව එම සාකච්ඡාවේ දී හොඳින් ප්‍රදර්ශනය විය.

"දුර්වල අවස්ථාවන්හි මුස්ලිම් මිනිස්සු හොඳට හැසිරෙනවා. ඒත් ශක්තිමත් වුනාම ඔවුන් වෙනත් සතුන් දඩයම් කරගත් විශාල රංචුවක වෘකයෙක් නැත්නම් හිවලෙක් වගෙයි," උන්වහන්සේ කියා සිටියහ.

බීබීසියට තවදුරටත් කරුණු දක්වමින් උන්වහන්සේ මෙසේ වදාළහ.

"මුස්ලිම්කාරයෝ තමන් හැර වෙනත් ජනකොටස් මනුෂ්‍යයෝ විදියට පිළිගන්නේ නැහැ. ඔවුන් කිතුනුවන්ට සහ හින්දු ජනයාටත් පහර දෙනවා. ඔවුන්, (මුස්ලිමුන්) හැර සේරටම පහර දෙනවා. මේ කාරණේ පිළිගන්න බැරිනම්, ඔබ සතු න්‍යෂ්ටික බලය 'තාලිබාන්' ව්‍යාපාරයට දීල බලන්න. මම ස්ථිරවම ඔබට කියනවා- ඔවුන් ඔබේ රට සුං කරනවා."

මහා බලපෑම

විරතු හිමියෝ නිරන්තර සංචාරකයකු මෙන්ම, ශ්‍රී ලංකාවේ බොදු බල සේනා (BBS) සංවිධානයත් සමග ඉතා කිට්ටු සබඳතා පවත්වා ගෙන යති.

බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් නායකත්වය දෙන බොදු බල සේනා සහ විරතු හිමියන් අයත් වන්නේ එකම ථේරවාදී පාර්ශ්වයටයි.

මුස්ලිම් ජනයාට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහැරීම නිසා බොදු බල සේනා ව්‍යාපාරයත් අපකීර්තියට ලක්වූ සංවිධානයකි.

Image copyright Getty Images

"අද බුදු දහම අනතුරකට වැටිලා තියෙනවා. අනතුරු ඇඟවීමේ සීනු නාදය ඇහෙනවානම්, ශක්තිමත්ව අපි අත්වැල් අල්ලා ගත යුතුව තියෙනවා," විරතු හිමියෝ 2014 වසරේ කොළඹ පැවති ජන හමුවකදී සඳහන් කළහ.

ආණ්ඩුවේ සහයෝගය ලබන මියන්මාර සංඝ සභාව (Sanga Council) 2017 වසරේ 'විරතු දේශනාවලට' වසරක තහනමක් පනවන ලද නමුත්, විරතු හිමියන් දිනූ ජනප්‍රියත්වය බුරුම සාම්ප්‍රදායික බෞද්ධ විහාරාරාම අතර විශාල පිරීහීමක් පෙන්නුම් නොකරයි.

එහෙත් උන්වහන්සේ මුහුණ දෙන ගැටලු නියමාකාරයෙන් ආරම්භ වන්නේ මියන්මාරයේ අතිශයින් ජනප්‍රිය නායිකාවට ප්‍රහාර එල්ල කිරීමත් සමගය.

'අවුං සාන් සුචි ට එරෙහි වීම '

"එතුමිය අඳින්නේ පළඳින්නේ විලාසිතාවට. රූප ලාවණ්‍ය ආලේපන පාවිච්චි කරනවා (make-up) ගමන් කරන්නේ ලතාවකට. අඩි උස සපත්තු. විදේශිකයෝ ඉස්සරහ පස්ස නළවනවා."

පසුගිය අප්‍රේල් මාසයේ උන්වහන්සේ, ඔල්වරසං දෙමින් සිටි පිරිසක් ඉදිරිපිට අවුං සාං සුචි ගැන සඳහන් කරමින් පාවිච්චි කරන ලද්දේ එවැනි වචන සමුදායකි.

උන්වහන්සේ පසුගිය මැයි මාසයේ පැවැත්වූ කතාවක දී "විදේශිකයකු සමග නිදි වදින" ("sleeping with a foreigner" ) බවට ආණ්ඩුවේ සාමාජිකයකුට චෝදනා කළහ.

අවුං සාන් සුචි විවාහ වී සිටියේ මයිකල් ආරිස් (Michael Aris) නම් බ්‍රිතාන්‍ය ජාතිකයකු සමගය. එවකට බලයේ සිටි මියන්මාර හමුදා පාලනයේ නියෝගයක් යටතේ අවුං සාන් සුචි නිවාස සිර අඩස්සියේ තබා සිටියදී, ඇයගේ සැමියා 1999 වසරේ දී පිළිකා රෝගයට ගොදුරුව දිවිය අත් හළේය.

Image caption බුරුම පාලනයේ සැබෑ හස්තය - අවුං සං සුචි

"උතුරා ගිය ජනප්‍රියභාවයක් සහිත විරතු භික්‍ෂුව විශාල අනුගාමිකයන් පිරිසකට නායකත්වය දෙනවා. උන්වහන්සේ මුස්ලිමුන්ට පහර එල්ල කිරීම එතුමන්ගේ අනුගාමිකයන්ට සතුටක්. ඒත් හාමුදුරුවො අවුං සාන් සුචි ඉලක්ක කර ගත්තාම උන්වහන්සේගේ ජනප්‍රියත්වයට පහරක් එල්ල වුණා," දේශපාලන විද්‍යාව පිළිබඳ 'යැන්ගොන් පාසලේ (Yangon School of Political Science) බුද්ධි මණ්ඩලයක සහකාර නිර්මාතෘ මියට් තු (Myat Thu) පවසයි.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලද, මියන්මාර් සමාජය තුළ "ශක්තිමත් කාන්තාව" (The Lady) හැටියට විරුදාවලි ලබන, අවුං සාන් සුචී එරට පාලනයේ නිල නොවන නායිකාව ලෙස සැලකෙයි.

මියන්මාරයේ වත්මන් ජනාධිපති වින් මියන්ට් (Win Myint) ඇයගේ සමීප ආධාරකරුවෙකි.

අවුං සාන් සුචීට මියන්මාරයේ ඉහළතම පදවියට අනුප්‍රාප්ත වීමට මග අහුරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වගන්ති ඉවත් කිරීම එරට සිවිල් පාලනයේ නවතම වුවමනාව වෙයි.

එහෙත් එවැනි වෙනසක් සිදු කරනු ලැබීම සම්බන්ධයෙන් විරතු හිමියෝ විරෝධය පළ කරති.

"අවුං සාන් සුචී සම්බන්ධයෙන් මහජනයා අතර පවතින්නේ අති විශාල ගෞරවයක්. විරතු හාමුදුරුවන් විසින් අවුං සාන් සුචීට විරුද්ධව කරනු ලබන ප්‍රහාරාත්මක ප්‍රකාශනත් සමඟ, උන්වහන්සේත් එක්ක ඉන්න දැඩි මතධාරී බොහෝ භික්ෂූන්ට පවා එකඟවීමේ දුෂ්කර තත්වයක් දැන් උද්ගත වෙලා තියෙනවා," මියට් තු වැඩි දුරටත් සඳහන් කරයි.

Image copyright Getty Images
Image caption ටයිම් සඟරාවේ පිටකවරයකට තෝරා ගත් විරතු හිමියන්

"විරතු හාමුදුරුවෝ විවේචනය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදු කරනු ලැබීම විතරක් නම්, ආණ්ඩුවට හාමුදුරුවන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීම දුෂ්කරයි. ඒත් උන්වහන්සේ අවුං සාන් සුචිට විරුද්ධව පෞද්ගලික මට්ටමින් පහර දෙන්න ගියොත් මහජනයා අතර ඒක ඒතරම් ලේසි වෙන්නේ නැහැ," මියට් තු පෙන්වා දෙයි.

"අවුං සාන්ට ගහන්න ගිහින්, විරතු හාමුදුරුවෝ උන්වහන්සේට විරුද්ධව පියවර ගන්න ආණ්ඩුවට අවස්ථාවක් හදල දුන්නා," මියට් තු වැඩිදුරටත් සඳහන් කළේය.

එහෙත් විරතු හිමියෝ කිසිදු පසුබෑමකින් තොරව සිය ස්ථාවරයේ දැඩිව එල්බ සිටිති.

"ආණ්ඩුවට මම අත්අඩංගුවට ගන්න අවශ්‍යනම් ඔවුන්ට ඒක කරන්න කියන්න" ඉරවඩි.කොම් (Irrawaddy.com) වෙබ් අඩවියට උන්වහන්සේ ප්‍රකාශ කළහ.

කියවන්න;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර