අට හැවිදිරි දැරියගේ ඝාතනයට හය දෙනෙකු වරදකරුවන් - ඉන්දීය අධිකරණ තීන්දුවක්

Image copyright Getty Images
Image caption අට හැවිරිදි දැරිය කෘර ලෙස සමූහ දූෂණයට ලක් කර මරා දැමීමත් සමග සති කිහිපයක් රට පුරා විරෝධතා පැවැත්විණි

ඉන්දීය කාශ්මීරයේ දී අට හැවිදිරි දැරියක් වධහිංසා පමුණුවා, දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් අට දෙනාගෙන් හය දෙනෙකු වරදකරුවන් ලෙස විශේෂ අධිකරණයක් මගින් තීන්දු කරනු ලැබ ඇත.

ඉන් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

මුස්ලිම් එඬේර ජනකොටසකට අයත් අට හැවිරිදි දැරියගේ මළසිරුර 2018 ජනවාරි මස 'කතුවා' නගරය අසල කැලෑවක තිබී හමුවිය.

එහෙත් ඇය දූෂණය කර මරා දැමීම ප්‍රධාන පුවතක් බවට පත්වූයේ, ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට හින්දු පුරුෂයන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් සහ නීතිවේදීන් පිරිසක් විරෝධය පළකිරීමත් සමගය.

සැකකරුවන් සියලුදෙනා ඔවුන්ට එරෙහිව තිබූ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළහ.

සිදු වූයේ කුමක්ද?

2018 ජනවාරි මස වයස අවුරුදු අටක් වයසැති දැරියක් දින ගණනාවක් නිවසින් අතුරුදහන් වී සිටි අතර, සති තුනකට පමණ පසු බැඳ දමා තිබුණු ඇයගේ මළසිරුර කැලෑ ප්‍රදේශයක තිබී හමුවිය.

ප්‍රදේශයේ කෝවිලක දැරිය සඟවා තබා දින ගණනාවක් ඇයට මත් ද්‍රව්‍ය ලබා දීමෙන් සිහිනැති කර තිබෙන බව පරීක්ෂකයෝ පැවසූහ.

"දින ගණනාවක් ඇයව දූෂණය කර, වධහිංසා පමුණුවා අවසානයේ මරා දමා තිබුණා" යැයි චෝදනා පත්‍රයේ සඳහන් වී තිබිණි.

වරදකරුවන් කවුද?

චෝදනාවලින් නිදහස් කෙරුණ දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් එක් වරදකරුවෙකුගේ පුතෙකි. ආණ්ඩුවේ විශ්‍රාමික නිලධාරියෙක්, පොලිස් භටයන් හතර දෙනෙක් සහ බාල වයස්කාරයෙක් චූදිතයන් අතර සිටිති.

Image copyright AFP
Image caption "මිනිසුන් රකුසන් බවට පත්ව ඇත"

බාලවයස්කාර වරදකරුවන් සම්බන්ධයෙන් ඉන්දියාවේ ක්‍රියාත්මක වන පනතට අනුව එම තැනැත්තා විශේෂ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දුන් අතර, සඳුදා දින (ජුනි 10) තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ අධිකරණය තුළ සිටියේ චූදිතයන් හත් දෙනෙකු පමණි.

චූදිතයන් අතර සිටින ආණ්ඩුවේ විශ්‍රාමික නිලධාරියෙකු වන සංජී රාම් සහ පොලිස් නිලධාරී දීපක් කජුරියා මෙම අපරාධය පිටුපස සිටින "මහ මොලකරුවන්" වීම හේතුවෙන් ඔවුන්ට මරණ දඬුවම් ලබා දෙන ලෙස දැරියගේ මව ඉල්ලා සිටී.

අද (ජුනි 10) සවස් කාලයේ දී වැරදිකරුවන්ට හිමි දඬුවම් අධිකරණය ප්‍රකාශයට පත් කළේය.

මෙම නඩුව "පරිවේෂණ සාක්ෂි" මත පදනම් වීම හේතුවෙන් වැරදිකරුවන්ට අවම දඬුවම ලබා දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම, සියලු වරදකරුවන් සිය පවුල් නඩත්තු කරන එකම මුදල් උපයන්නන් වීම වැනි කරුණු සැලකිල්ලට ගන්නා ලෙස ද ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.

මේ අතර, දැරියගේ මව බීබීසීයට පැවසුවේ, "මගේ දුවගේ මුහුණ මට තවමත් මැවිලා පේනවා. ඒ දුක කවදාවත් නැති වෙන්නේ නැහැ. එයාගේ වයසේ අනික් දරුවන් සෙල්ලම් කරනවා දකිනකොට මගේ හදවත රිදුම් දෙනවා" යනුවෙනි. තීන්දුව ප්‍රකාශ කරන දවසේ අධිකරණයට නොයා සිටීමට දැරියගේ පවුලේ අය තීරණය කර තිබිණි.

"මෙය ඇත්තටම එකට එක් වී ලබා ගත් ජයග්‍රණයක්. ආගම් භේද නැතුව මුළු රටම මේ අපරාධයට එරෙහිව සටන් වැදුණා" යැයි දැරියගේ පවුලේ අය නියෝජනය කරන නීතිඥවරයෙකු බීබීසී වෙත පැවසීය.

Image copyright AFP
Image caption දැරියට සිදුව තිබූ අතිශය දරුණු තුවාල ගැන විස්තර ඇසීමෙන් බොහෝ ඉන්දියානුවෝ කම්පනයට පත් වූහ

දැරියට සිදුව තිබූ අතිශය දරුණු තුවාල ගැන විස්තර ඇසීමෙන් බොහෝ ඉන්දියානුවෝ කම්පනයට පත් වූහ.

චූදිතයන්ට සහයෝගය දක්වමින් පැවැත්වුන රැස්වීමකට ඉන්දියාවේ පාලක හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) ඇමතිවරුන් දෙදෙනකු ද සහභාගී වීම මහජනතාව කුපිත කිරීමක් විය.

සැකකරුවන් දැරිය දූෂණය කොට මරා දමා ඇත්තේ එම දැරිය අයත් ගෝත්‍රික ජනයා ඔවුන්ගේ වාසස්ථාන වලින් නෙරපා හැරීමේ අටියෙන් බව පරීක්ෂණ පැවැත්වෙන කාලයේ දී පොලිසිය පැවසීය.

ජම්මු සහ කාශ්මීර අධිකරණවලින් ඉවත් කර අදාළ නඩුව පංජාබ් ප්‍රාන්තයේ 'පතන්කොට්' (Pathankot) උසාවියක විභාග කළ යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබිණි. එමෙන්ම, එය 2018 ජූලි නව වෙනිදා ආරම්භ කර අවසානය තෙක් දෛනික මට්ටමින් විභාගයට ගන්නා ලෙස ද නිර්දේශ කර තිබිණි.

මේ තොරතුරුද කියවන්න:

"අපේ දියණියට සාධාරණය ඉටු කරනවා"

බීබීසීයේ දිව්‍යා ආර්යා ගෙන එන වාර්තාවකි.

කන්දක් මුදුනෙහි පිහිටි නිවසක සිටි දැරියගේ මව, වැඩිමහල් දියණිය සහ තවත් පවුලේ අය හමුවීමට මම ගියෙමි.

ඔවුන් සතු බැටළුවන් සහ එළුවන් සෑම තැනකම විසිරී සිටි අතර, නඩු තීන්දුව ලැබුණ බව ඔවුහු නොදැන සිටියහ.

චූදිතයන් හය දෙනෙකු වරදකරුවන් ලෙස අධිකරණය තීන්දු කර ඇතැයි මම ඇයට පැවසුවෙමි. එම සතුටුදායක ආරංචිය ලබා දීම වෙනුවෙන් ස්තුති කළ ඇයට හැඬීම නතර කරගත නොහැකි විය.

Image copyright AFP
Image caption දැරියගේ දෙමව්පියන් ඇතුළු පවුලෙ සාමාජිකයන් ජීවත් වන්නේ හින්දු බහුතරයක් සහිත කතුවා (Kathua) නම් ගම්මානයේය

සතුන් විකිණීම ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වන අතර, තීන්දුව ප්‍රකාශ කරන දින 'පතන්කොට්' අධිකරණයට යෑම සඳහා වියදම් දැරීමට නොහැකි වී තිබිණි.

"මම නිතරම සාධාරණය ලැබේවි යැයි විශ්වාස කරනවා. දෙවියෝ මට ශක්තිය දීලා තිබෙනවා ඒ වෙනුවෙන් සටන් කරන්න," මව පැවසුවාය.

ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට මරණ දඬුවම් ලබා නොදුනහොත්, ඇය සහ ස්වාමිපුරුෂයා තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ඇය පැවසීය.

"අපි කන්නේ, බොන්නේ නැතුව හරි අපේ දුව වෙනුවෙන් සාධාරණය ඉටු කරනවා" යැයි ඇය තවදුරටත් පැවසීය.

පහළොස් වියැති වැඩිමහල් දියණිය පැවසුවේ ඇය ඇතුළු සම වයසේ පසුවන ගැහැණු ළමුන් "නිතරම හින්දු මිනිසුන්ට බයේ ජීවත් වෙනවා" යනුවෙනි. එමෙන්ම, පවුලේ වැඩිහිටියෙකු නැතිව නිවසින් බැහැර නොවන බව ද ඔවුහු පැවසූහ.

ළමා දූෂකයන්ට මරණ දඬුවම්

වයස අවුරුදු දොළහට අඩු දැරියක් දූෂණය කිරීම මරණ දණ්ඩනය නියම විය හැකි වරදක් ලෙස නීතිගත කිරීමට හේතු වූ ඉන්දියාවේ තීරණාත්මක නඩු අතරින් එකක් බවට මෙය පත් විය.

වයස අවුරුදු දොළහට අඩු දරුවන් දූෂණය කරන අපරාධකරුවන්ට මරණ දඬුවම ලබා දීමට ඉන්දීය කැබිනට් මණ්ඩලය පසුගිය වසරේ දී අනුමැතිය පළ කළේය.

පසුගිය දශකය තුළ ඉන්දියාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර ඇත්තේ අවස්ථා තුනක දී පමණය. දිල්ලි නගරයේ බස් රිය තුළ වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම වුවත්, එය මෙතෙක් ක්‍රියාත්මක කර නැත.

Image copyright Getty Images

එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පැවසුවේ චූදිතයන්ට පැනවූ දඬුවම "අතිශය විරල දෙයක්" බවය.

ඉන්දියාවේ බල පැවැත්වෙන දණ්ඩ නීති සංග්‍රහයට අනුව කාන්තාවක් සමූහ දූෂණය කිරීමේ වරදට මරණ දඬුවම ලබා දිය හැකි බව 'හින්දුස්ථාන් ටයිම්ස්' වාර්තා කර තිබිණි.

ඉන්දියාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනු ලබන්නේ එල්ලා මරා දැමීමෙනි. එය අවසාන වරට ක්‍රියාත්මක කර තිබෙන්නේ 2015 දීය.

තවත් තොරතුරු: