කවුද හොරු? දේශපාලන නායකයන් කරන 'හොරකම්'

Image copyright Getty Images

බොහෝ රටවල දේශපාලන පක්ෂ සහ ඒවා නියෝජනය කරන දේශපාලනඥයන් බලය දිනා ගනු ලබන්නේ දූෂණ සහමුලින් ම පිටු දකිමින් දූෂිතයන්ට දඬුවම් කරන බවට ප්‍රතිඥා දෙමිනි.

බලයට පත්වීමෙන් අනතුරුව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඊට පටහැනිව කටයුතු කිරීම බොහෝ රාජ්‍යයන්හි දක්නට ලැබෙන අත්දැකීමය.

එහෙත් මේ අතර වත්මන් ලෝකයේ දේශපාලන ලෝකයේ බලවතුන් රැසක් පසුගිය කාල සීමාව ඇතුළත මූල්‍ය අපචාර, වත්කම් සැඟවීම ආදී අපචාර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබ හෝ සිරගත කරනු ලැබ ඇත.

පහත දැක්වෙන්නේ එවැනි සිදුවීම් කිහිපයකි.

අසිෆ් අලි ශර්දාරි

පාකිස්තානයේ හිටපු ජනාධිපති අසිෆ් අලි ශර්දාරි එම ලැයිස්තුවට අලුතින් එක්වූ හිටපු රාජ්‍ය නායකයා වෙයි.

මූල්‍ය දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා යටතේ අසිෆ් අලි ශර්දාරි ඉස්ලාමාබාද් නගරයේදී පසුගිය ජූනි 10 වන දා අත්අඩංගුවට ගනු ලැබිණි.

ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වා ලන නියෝගය යළිත් දීර්ඝ කරනු ලැබීම ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් බැහැර ලන අතර ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සිදු විය.

ව්‍යාජ ගිණුම්වල සිය මුදල් සඟවා ඇති බවට ඔහු චෝදනා ලබයි.

Image caption අසිෆ් අලි ශර්දාරි රැගෙන යද්දී එහි රැස්වූ PPP ආධාරකරුවන්

2008 පටන් 2013 දක්වා පාකිස්තානයේ ජනාධිපති පදවියේ කටයුතු කළ අසිෆ් අලි ශර්දාරි ඉන් පෙර දූෂණ චෝදනා යටතේ සිර දඬුවම් ගෙවා ඇති නායකයෙකි.

සිය බිරිඳ වූ හිටපු අගමැතිනි බෙනාශීර් බුට්ටෝ ඝාතනය කරනු ලැබීමෙන් පසුව අසිෆ් අලි ශර්දාරි පාකිස්තානයේ ජනධිපති පදවියට පත් වීමට සමත් විය.

ඉස්ලාමාබාද් මහාධිකරණයේ තීන්දුවෙන් අනතුරුව නිලධාරීන් අලි ශර්දාරිගේ නිවසට ඇතුළු වන ආකාරයත්, පසුව ඔහු සිය පුත් බිල්වාලි බුට්ටෝ ශර්ධාරි සමග නිවසින් බැහැර යන ආකාරයත් මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කෙරිණි.

සඳුදා ශර්දාරි නිවසින් පිටතට ගෙන යනු ලබන අවස්ථාවේ බුට්ටෝ පවුලේ ආධාරකරුවන් එහි රැස්ව 'බුට්ටෝ දිනේවා'යි කියමින් හඬ නගමින් සිටි බවත් වාර්තා විය.

ඉන්දියාවේ කලක් බලය හෙබවූ 'නේරු' පවුල මෙන්, පාකිස්තානයේ 'බුට්ටෝ' පවුල එරට දේශපාලනයේ මුල් බැස ගත් උරුමයක් සහිත බලයක්ව පැවතිණි.

ඔවුන් නායකත්වය දෙන පාකිස්තාන් මහජන පක්ෂය (PPP ) දැන් විපක්ෂයේ සිටින අතර ඊට නායකත්වය දෙන්නේ අලි ශර්දාරිගේ සහ බෙනාශීර් බුට්ටෝගේ පුත් බිල්වාලි බුට්ටෝ ශර්දාරිය.

පාකිස්තානයේ හිටපු අගමැති නවාෂ් ෂරීෆ් මූල්‍ය අපචාර චෝදනා යටතේ සිරබත් කන අතර හිටපු ජනාධිපති පර්වේෂ් මුෂාරෆ් ද දූෂණ චෝදනාවලට ගොදුරුව ඇත.

ජනාධිපති සිල්වා

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා දූෂණ චෝදනා යටතේ සිරගත කරන ලද තවත් හිටපු රාජ්‍ය නායකයෙකි.

අල්ලස් සහ මූල්‍ය විශුද්ධිකරණය සම්බන්ධයෙන් වරදකරු කෙරුණ බ්‍රසීලයේ ජනප්‍රිය දේශපාලන නායකයා අවුරුදු නවය හමාරක සිර දඬුවමකට යටත් කරනු ලැබිණි.

ඩොලර් දශ ලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.

වෙරළාසන්න නිවාඩු නිකේතනයක තට්ටු නිවාසයක් නවීකරණය කිරීමක් සම්බන්ධයෙන් එම අල්ලස ලබාගෙන ඇති බව ලූලා ද සිල්වාට එරෙහි චෝදනා මගින් ප්‍රකාශ කෙරිණි.

Image copyright AFP
Image caption දූෂණ චෝදනා ලද ලූලා ද සිල්වාට එරෙහිව මහජන උද්ඝෝෂණයක්

බ්‍රසීල ආණ්ඩුවේ සහ ව්‍යාපාරික අංශයේ ප්‍රමුඛ පුද්ගලයන් විසින් සිදු කරනු ලැබ ඇති බවට අනාවරණය වී ඇති දූෂණ සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙමින් පවතින විභාගවලදී බලවත් ම පුද්ගලයෙකු වරදකරු කරමින් දුන් පළමු නඩු තීන්දුව මෙයයි.

ළමා වියේ දිළිඳු භාවයෙන් පීඩා විඳින ලද ලූලා ද සිල්වා වෘත්තීය සමිති නායකයෙකු ලෙස නැඟී සිටි නායකයෙකු වන අතර, ඔහු බ්‍රසීලයේ අතිශයින් ජනාදරයට පත් ජනාධිපතිවරුන් කීප දෙනාගෙන් එක් අයෙකි.

ගඩාෆිගෙන් ප්‍රංශ මැතිවරණයට මුදල්?

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි මූල්‍ය අපචාර දූෂණ යටතේ අත්අඩංගුවට ගන්නා ලද තවත් මහා දේශපාලන බලවතෙකි.

එරට පොලිසිය විසින් හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි අත්අඩංගුවට ගන්නා ලද්දේ, මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ලිබියානු නායක ගඩාෆිගෙන් මුදල් ආධාර ලබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙනි.

2007 ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් වියදම් කිරීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සාකෝසි පොලිස් අත්අඩංගුවේ රඳවා තබා ගනිමින් ප්‍රශ්න කෙරිණි.

Image copyright EPA
Image caption සාකෝසි සහ ගඩාෆි

පොලිසිය හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිගෙන් අවස්ථා කීපයක් ම ඒ පිළිබඳව ප්‍රශ්න කොට ඇත.

ඔහුට එරෙහි සියලු චෝදනා සාකෝසි විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

ප්‍රංශ සහ ලෙබනන ව්‍යාපාරිකයෙකු වන සියැඩ් ටකීඩීන් (Ziad Takieddine) සහ ගඩාෆි පාලනය යටතේ සිටි නිලධාරීන් සැපයූ තොරතුරු අනුව එම මූල්‍ය ගනුදෙනු පිළිබඳ තොරතුරු හෙළිදරව් වූ අතර ගඩාෆි, සාකෝසිගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.2 කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලබා දුන් බව ටකීඩීන් පවසා තිබිණි.

දූෂණ චෝදනා අටසීයක්

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමාට එරෙහිව දූෂණ චෝදනා අට සීයක් එල්ල විය.

එම දූෂණ චෝදනා විභාග නොකොට ඉවත දැමීමට පසුව තීන්දු කෙරුණ නමුත්, ඒවා නැවත විමර්ශනයට ලක් කළ යුතු බව එරට මහාධිකරණයේ තීන්දුව විය,.

එම චෝදනා සියල්ල ඉවත දැමීමට එවකට සිටි නීතිපතිවරයා ගත් තීරණය 'අවිචාරී' බව දකුණු අප්‍රිකාවේ මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේය.

ඩොලර් බිලියන ගණනක් වටිනා අවි ගනුදෙනුවක් පිළිබඳව එල්ල වී ඇති චෝදනාවලට ද ජනාධිපති ජේකොබ් සූමා මුහුණ දිය යුතු බව දකුණු අප්‍රිකානු මහ අධිකරණයේ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

සූමා තමාට එරෙහි චෝදනා දිගින් දිගට ම ප්‍රතික්ෂේප කර තිබේ.

රාජ්‍ය මුදල් අවභාවිතය

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් දූෂණ චෝදනා යටතේ නඩු පවරන ලද තවත් හිටපු රාජ්‍ය නායකයෙකි.

2018 මැයි මාසයේ පැවැත්වූ මහ මැතිවරණයෙන් පරාජය වීමෙන් පසුව හිටපු අගමැති නජීබ් රසාක්ට (Najib Razak) එරෙහි පරීක්ෂණ විය.

Image copyright AFP/getty
Image caption හිටපු අගමැති නජීබ් රසාක්

ඔහු විසින් පිහිටුවන ලද රාජ්‍ය අරමුදලකින් ඩොලර් මිලියන 700ක් ලබා ගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. එම අරමුදලට ලැබුණු තවත් ඩොලර් බිලියන ගණනක් ගිණුම්වලට ඇතුළත් කර නොමැත.

හිටපු අගමැතිවරයා සහ ඔහුගේ බිරිඳ රොස්මා මැන්සෝ (Rosmah Mansor) සතුව තිබූ ඩොලර් මිලියන 273ක් පමණ වටිනා ආභරණ, අත්බෑග් සහ මුදල් ද පොලිසිය භාරයට ගනු ලැබිණි.

ඒ අතර ඩොලර් මිලියන 1.6ක රන් සහ දියමන්ති මාලයක්, කුඩා ඔටුනු දහ හතරක් සහ හර්මීස් (Hermes) වර්ගයේ අත්බෑග් 272 ක් තිබී ඇත.

මැලේසියානු ඉතිහාසය තුළ අත්අඩංගුවට ගත් විශාලතම වටිනාකමක් ඇති භාණ්ඩ තොගය මෙය වන බව පොලිසිය කියා සිටියේය.

ඊශ්‍රායල් ජනාධිපති

අල්ලස් ගැනීමේ චෝදනාවකට වරදකරු වූ ඊශ්‍රායලයේ හිටපු අගමැති යෙහුද් ඔල්මර්ට් වසර හයක සිර දඬුවමකට යටත් කෙරුණු තවත් දේශපාලනඥයෙකි.

ඔහු දූෂණ චෝදනා යටතේ සිරගත කෙරුණ පළමු ඊශ්‍රායල් නායකයා ලෙස ඉතිහාසයට එක් විය.

ඔල්මර්ට් හිටපු අගමැතිවරයා, ජෙරුසෙලමේ නගරාධිපතිව සිටි සමයේ නිවාස ව්‍යාපෘතියකට සහයෝගය පළ කිරීම සඳහා අල්ලස් ගත් බවට වරදකරු යයි තීන්දු විය.

රාජ්‍ය මුදල් අවභාවිත කර වංචා සිදු කිරීමේ චෝදනා යටතේ ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බිරිඳට එරෙහිව නඩුවක් පවරා තිබිණි.

සාරා නෙතන්යාහුට එරෙහිව අධිචෝදනා ගොනු කරන ලද්දේ අගමැති නිල නිවසේ උත්සව අවස්ථා සඳහා ආහාර සැපයීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් අවභාවිත කර ඇති බව පවසමිනි.

පොලිස් පරීක්ෂණයකින් අනතුරුව විශ්වාසය කඩ කරනු ලැබීම යටතේ ද අගමැති බිරිඳට එරෙහිව නඩු පවරා ඇතැයි එරට අධිකරණ අමාත්‍යංශය පැවසීය.

සාරා නෙතන්යාහු එම චෝදනා ප්‍රතික්ෂේප කළාය.

සාරා නෙතන්යාහු සමග, අගමැති කාර්යාලයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් එස්රා සෙයිඩොෆ්ට එරෙහිව ද නඩු පවරනු ලැබිණි.

දකුණු කොරියාවේත් නායක දූෂණ

බලය අයුතු ලෙස පරිහරණය කිරීමට සහ බලහත්කාරයට වැරදිකාරිය වීම හේතුවෙන් දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාර්ක් ගන්-හේ (Park Geun-hye) වසර විසි හතරක සිර දඬුවමකට යටත් කරන ලද රාජ්‍ය නායිකාවකි.

සිර දඬුවමට අමතරව 'වොන්' බිලියන දහ අටක ක දඩයක් ගෙවන ලෙසත් හිටපු ජනාධිපතිවරියට නියම කෙරිණි.

Image copyright AFP
Image caption සිර දඬුවමට අමතරව 'වොන්' බිලියන දහ අටක ක දඩයක් ගෙවන ලෙසත් හිටපු ජනාධිපතිවරියට නියම කෙරුණි.

වංචා දහ අටක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඇය ඉන් දහ සයකට වරදකාරිය බව අධිකරණයේ තීන්දුව විය.

එම තීන්දුව දේශපාලන සහ ව්‍යාපාරික ප්‍රභූ පිරිස්වලට එරෙහිව දීර්ඝ කාලයක් පුරා දකුණු කොරියාවේ ගෙන යමින් තිබුණ සටනේ එක් කූටප්‍රාප්තියක් ලෙස විචාරකයන් විසින් විග්‍රහ කරනු ලැබිණි.

තවත් ජනාධිපතිවරයෙක් සිරගෙට

හිටපු ජනාධිපතිනි පාක් ගුන් හේ (Park Geun-hye) සිරදඬුවමකට යටත් කිරීමෙන් දින කිහිපයකට පසු දකුණු කොරියාවේ තවත් හිටපු ජනාධිපතිවරයකු වූ ලී මුන්-බක්ට (Lee Myung-bak) එරෙහිව දූෂණ චෝදනා යටතේ නඩු පවරනු ලැබිණි.

අල්ලස් ගැනීම, බදු පැහැර හැරීම, වංචනික ක්‍රියා සහ බලය අයුතු ලෙස යොදා ගැනීම යන චෝදනා ලද හිටපු ජනාධිපති ලී මුන්-බක් (Lee Myung-bak) එකී චෝදනාවලට වැරදිකරු කෙරුණ අතර ඔහුට වසර පහළොවක සිර දඬුවමක් නියම විය.

Image copyright AF/getty
Image caption හිටපු ජනාධිපති ලී මුන්-බක්ට (Lee Myung-bak)

ඊට අමතරව ඩොලර් මිලියන 11.5ක දඩ මුදලක් ගෙවන ලෙසත් අධිකරණය ඔහුට නියෝග කළේය. සැම්සන්ග් සමාගමෙන් සහ රටේ ඔත්තු සේවයෙන් ඩොලර් කෝටියකට වැඩි මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවට ඔහුට චෝදනා එල්ල විය.

සැබවින් ම මේ ලැයිස්තුව මීටත් වඩා බොහෝ දිගය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර