ඕමාන් ගල්ෆ් කලාපයේ ඉන්ධන නෞකා දෙකක පිපිරීම්: මිසයිල් ප්‍රහාරයක් බවට සැකයක්

Image copyright ISNA via Reuters
Image caption ඉරානයේ ISNA පුවත් ඒජන්සිය පළ කර තිබූ තහවුරු නොකළ ඡායාරූපයක්

ඕමාන් ගල්ෆ් කලාප මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකා දෙකක් තුළ සිදුවූ පිපිරීම්වලින් අනතුරුව එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරා ගැනීමට හැකිව තිබේ.

අදාළ නෞකා හිමිකාර සමාගම් පැවසුවේ, කොකුකා කරෙජස් (Kokuka Courageous) නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකු සහ ෆ්‍රන්ට් ඇල්ටෙයාර් (Front Altair) නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු එලෙස බේරාගෙන ඇති බවය.

ඉරාන මාධ්‍ය වාර්තා කළේ, ඉරානය විසින් නෞකා දෙකෙහි සිටි සාමාජිකයින් 44 දෙනෙකු මුදා ගත් බවය. මෙම පිපිරීම්වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඇමෙරිකානු නාවික හමුදාව පැවසුවේ, ඔවුන්ට නැව් ආපදාවට ලක්ව ඇති බවට දුරකතන ඇමතුම් ලැබුණු බවය.

Image copyright FREDERICK A TERRY/ARTJOM LOFITSKI
Image caption කොකුකා කරෙජස් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකු සහ ෆ්‍රන්ට් ඇල්ටෙයාර් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු සිට ඇත.

මෙම සිදුවීම වාර්තා වූයේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසන්න මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා 4කට ප්‍රහාරයක් එල්ල වී මසක් ගතවීමෙන් පසුය.

එම ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය චෝදනා කළේ, නම හෙළි නොකළ නෞකා බෝම්බ සමග සම්බන්ධ අයෙකු එම ප්‍රහාරයට සම්බන්ධ බවය. ඇමෙරිකාව පැවසුවේ, එම ප්‍රහාරය පසුපස ඉරානය සිටින බවය. කෙසේ වෙතත්, ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.

එම ප්‍රහාර හේතුවෙන් ඕමාන් ගල්ෆ් කලාපය සම්බන්ධයෙන් ඉරානය සහ ඇමෙරිකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින උණුසුම් තත්ත්වය ඉහළ ගියේය.

බ්ලූම්බර්ග් වාර්තා කළේ, බ්‍රහස්පතින්දා (ජූනි 13) සිදුවූ සිද්ධියෙන් පසුව ඉන්ධන මිල 4.5%කින් ඉහළ ගිය බවය.

බහරේන්හි සේවයේ නියුතු ඇමෙරිකානු නාවික හමුදාවේ ජෝෂ් ෆ්‍රේ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, "ආපදාවට ලක්ව ඇති බව දැනුම් දීම සඳහා සිය නාවික බලකායන්ට වෙන වෙන ම දුරකතන ඇමතුම් දෙකක් ලැබී තිබුණු," බවය.

"එම කලාපයේ ඇමෙරිකානු නෞකා තියෙනවා. ඔවුන් සහය දෙනු ඇති."

එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අනුබද්ධ එක්සත් රාජධානි මුහුදු වෙළෙඳ මෙහෙයුම් ආයතනය අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් නිවේදනය කළේ, අදාළ මුහුදු කලාපයේ "බරපතළ අවදානමක්" පවතින බවය.

Image copyright AFP/HO/IRIB
Image caption ඉරානයේ IRIB පුවත් ඒජන්සිය පළ කර තිබූ තහවුරු නොකළ ඡායාරූපයක්

ෆ්‍රන්ට් ඇල්ටෙයාර් නෞකාව භාවිත කරන තායිවානයේ රාජ්‍ය ඉන්ධන පිරිපහදු ආයතනයේ ප්‍රකාශක වූ අයි ෆන්ග් (Wu I-fang) පැවසුවේ, එම නෞකාව නැප්තා නමැති බොර තෙල් ටොන් 75000ක් ප්‍රවාහනය කරමින් තිබූ බවය. සිය නෞකාවට "මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බවට සැක කරන," බව ද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් එය මිසයිල ප්‍රහාරයක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

තවත් තහවුරු නොකළ වාර්තාවල සඳහන් වූයේ, එය බෝම්බ ප්‍රහාරයක් බවය.

ඔහු ප්‍රකාශ කළේ, එම නෞකාවේ සිටි සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරා ගත් බවය. නෞකාවේ හිමිකාරත්වය දරන නෝර්වේ සමාගමක් වන ෆ්‍රන්ට්ලයින් සමාගම පැවසුවේ, නෞකාව ගිනිබත් වූ බවය.

මේ අතර, පැනමා ධජය රැගත් කොකුකා කරෙජස් නෞකාව හිමි බී එස් එම් ෂිප් මැනේජ්මන්ට් සමාගම පැවසුවේ, කාර්ය මණ්ඩලය නෞකාව අතහැර ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක සහයෙන් දිවි බේරාගෙන ඇති බවය.

එම නෞකාව මෙතනෝල් ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර එය මුහුදුබත් වීමේ අවදානමක් නැතැයි සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය. එම නෞකාව මේ වන විට පවතින්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සැතපුම් 80ක් සහ ඉරානයට සැතපුම් 16ක් දුරිනි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇමෙරිකාව ඉරානයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අතර ඔවුන් චෝදනා කරන්නේ, මැද පෙරදිග අස්ථාවර කිරීමට ඉරානය ක්‍රියා කරන බවටය.

එම මුහුදු කලාපයේ ඇමෙරිකා ආරක්ෂක බළකායන්ට ඉරාන හිතවාදී හමුදාවලින් ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින් පසුගිය මැයි මාසයේදී ඇමෙරිකාව ගුවන් යානා ප්‍රහාරක කණ්ඩායමක් ද පිටත් කර යැවීය.

ඉරානය ඇමෙරිකාවේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අතර ඔවුහු ඇමෙරිකාව ආක්‍රමණශීලී ලෙස හැසිරෙන බවට චෝදනා කළහ.

මැද පෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්

මැද පෙරදිග කලාපීය රටවල් වන කටාර්, සෞදි අරාබිය, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල විදෙස් ශ්‍රමිකයින්ගෙන් 79%ක ප්‍රතිශතයක් නියෝජනය කරනුයේ ශ්‍රී ලාංකිකයින්ය.

2017 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ වාර්තාව අනුව, විදෙස් රටවල සේවය කරන සමස්ත ශ්‍රී ලාංකිකයින්ගෙන් 90%ක ප්‍රතිශතයක් සේවය කරනුයේ මැද පෙරදිග රටවලය.

එම වසරේදී ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයින් 291 දෙනෙකු මියගොස් ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.