'ක්‍රයිස්ට්චර්ච්' මුස්ලිම් ජන ඝාතනයේ සැකකරු වරද පිළිනොගනී

Image copyright TVNZ
Image caption බ්‍රෙන්ටන් ටැරන්ට් ඔහු රඳවා සිටින බන්ධනාගාරයේ සිට වීඩියෝ තිරයක පෙනී සිට අදහස් දක්වමින්, තමාට එරෙහි සියලු චෝදනාවලට නිවැරදිකරු යයි කියා සිටියේය.

පසුගිය මාර්තු මාසයේ නවසීලන්තයේ 'ක්‍රයිස්ට්චර්ච්' නගරයේ මුස්ලිම් පල්ලි දෙකකට පහර දී විශාල ජීවිත විනාශයක් සිදු කළ අපරාධයේ ප්‍රධාන සැකකරු ඔහුට එරෙහි සියලු චෝදනාවලට තමා නිවැරදිකරු වන බව පවසයි.

2019 මාර්තු මස පහළොස් වෙනිදා ක්‍රයිස්ට්චර්ච්හි ඉස්ලාම් පල්ලි දෙකක ආගමික මෙහෙයන් සඳහා සහභාගී වෙමින් සිටි බැතිමතුන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් පනස් එකක් ජීවිතක්ෂයට පත්ව තවත් හතළිස් දෙනකු පමණ තුවාල ලදහ.

එම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටින ප්‍රධාන සැකකරු වන බ්‍රෙන්ටන් ටැරන්ට් (Brenton Tarrant) නැමැත්තා, ඔහු රඳවා සිටින බන්ධනාගාරයේ සිට වීඩියෝ තිරයක පෙනී සිට අදහස් දක්වමින්, තමාට එරෙහි සියලු චෝදනාවලට නිවැරදිකරු යයි කියා සිටියේය.

බ්‍රෙන්ටන් ටැරන්ට් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා සිය සේවාදායකයාගේ නිදහස වෙනුවෙන් සකස් කරන ලද ප්‍රකාශය කියවද්දී, විසිඅට හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික චූදිතයා නිහඬව සිටිනු දක්නට ලැබුණි.

පුද්ගලයන් පනස් එක් දෙනකු මරා දැමීම, මිනී මැරීමට තැත් කිරීම් හතළිහක් සහ එක් ත්‍රස්ත ක්‍රියාවක් සම්බන්ධයෙන් බ්‍රෙන්ටන් ටැරන්ට් චෝදනා ලබයි.

සාමකාමී ඉතිහාසයක් ඇති නවසීලන්තයේ මෑතක වාර්තා වූ දරුණුතම සමූහ ඝාතක අපරාධය ඉහත කී 'ක්‍රයිස්ට්චර්ච්' වෙඩි තැබීම විය.

Image copyright EPA
Image caption ප්‍රහාරයට ලක් වූ අල් නූර් මුස්ලිම් පල්ලිය

'ක්‍රයිස්ට්චර්ච්' ප්‍රහාරයෙන් දිවි ගැලවුන පුද්ගලයන් ගණනාවක් සහ ප්‍රහාරයේදී දිවි අහිමිවූවන්ගේ ඥාතීන් සමූහයක් නඩු විභාගය ආරම්භක අවස්ථාවෙහි අධිකරණය තුළ සිටි බව බීබීසී සිඩ්නි වාර්තාකරු, Hywel Griffith වාර්තා කළේය.

නීතිඥ ෂේන් ටේට් (Shane Tait) සිය සේවාදායකයා, ඔහුට එරෙහි චෝදනාවලට නිවැරදිකරු යයි පවසන බව අධිකරණය ඉදිරියේ කියා සිටිද්දී, එහි සිටි පුද්ගලයන් ගණනාවක් විස්මයෙන් මුව අයා ගත් අතර තවත් පිරිසකගේ ඇස් කඳුළින් තෙත් වනු දැක ගැනීමට ලැබුණි.

අනතුරුව මහාධිකරණ විනිසුරු කැමරන් මැන්ඩර් (Cameron Mander) නඩු විභාගය ලබන වසරේ මැයි මාසයේ හතරවෙනි දිනට කල් තබන ලද අතර, ලබන අගෝස්තු දහසය වෙනිදා පුනර්විභාගයක් සිදු කෙරෙන තෙක් චූදිත බ්‍රෙන්ටන් ටැරන්ට්ට රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කිරීමට සිදුවනු ඇත.

මාර්තු වෙඩි තැබීමෙන් අනතුරුව පසුගිය අප්‍රියෙල් මාසයේ බ්‍රෙන්ටන් ටැරන්ට් අවසන් වරට උසාවියට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ඔහු නඩු විභාගයකට යොමු කරනු ලැබීම පිණිස සුදුසු තත්වයක සිටින්නේද යන්න තීන්දු කිරීම සඳහා මානසික සෞඛ්‍යය පරීක්ෂණයකට යොමු කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණි.

Image copyright EPA
Image caption 'ක්‍රයිස්ට්චර්ච්' ප්‍රහාරයෙන් මරා දැමුණ ජනයාගේ අවමඟුල් අවස්ථාවක්

පසුගිය සිකුරාදා ( ජුනි 14) ප්‍රකාශයක් කළ මහාධිකරණ විනිසුරු කැමරන් මැන්ඩර් (Cameron Mander) "විත්තිකරු සිය නිදහස සඳහා කරන ප්‍රකාශයේ දී, සිය නීති උපදේශකයාට කරුණු ඉදිරිපත් කිරීමේ දී සහ විභාගයක් සඳහා පෙනී සිටීමේ දී ඔහු මනා සෞඛ්‍යය තත්වයකින් සිටින්නේද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නොනගින බවත්, සෞඛ්‍යය පරීක්ෂණයකට යොමු කිරීමේ වූවමනාවක් නොමැති" බවත් සඳහන් කළේය.

සැකකරුගේ මුහුණ ප්‍රදර්ශනය වෙන ඡායාරූප පළ කරනු ලැබීම සම්බන්ධයෙන් පනවා තිබුණ තහංචියක් ද පසුගිය සතියේ ඉවත් කරනු ලැබ ඇත.

ප්‍රහාරය එල්ල කෙරුණ ආකාරය

බ්‍රෙන්ටන් ටැරන්ට් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය මාර්තු මස පහළොස් වෙනි දිනයි.

එම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ, ක්‍රයිස්ට්චර්ච් නගරයේ අල් නූර් (Al Noor) මුස්ලිම් පල්ලියට සහ 'ලින්වුඩ්' ඉස්ලාම් මධ්‍යස්ථානයට (Linwood Islamic Centre) වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීම සම්බන්ධයෙනි.

Image copyright Getty Images
Image caption ප්‍රහාරයෙන් අනතුරුව

පළමුව, අල් නූර් පල්ලිය කරා මෝටර් රථයකින් ගමන් ගත් සැකකරු සිය වාහනය පල්ලිය අසල ස්ථානයක නතර කොට, පල්ලියේ දොරටුවෙන් ඇතුළට ඇවිද යමින් වෙඩි තබන්නට පටන් ගෙන ඇත.

ළමුන් ,කාන්තාවන් සහ පුරුෂයන් ඉලක්ක කර ගත් තුවක්කුකරු, විනාඩි පහක පමණ කාලයක් එක දිගට වෙඩි තබන ලද බවට චෝදනා ලබයි.

එම ප්‍රහාරය සිදු කෙරෙන ආකාරය තුවක්කුකරුගේ හිසෙහි අටවා තිබුණ කැමරාවක් ඔස්සේ සජීවී ලෙස විකාශනය කෙරෙමින් තිබුණි.

එම දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ සැකකරු, එය නිමකළ වහාම එතැන සිට සැතැපුම් තුනක් පමණ එපිටින් පිහිටි 'ලින්වුඩ්' පල්ලියට ගොස් එම ස්ථානයේදීත් පුද්ගලයන් කීප දෙනකු ද මරා දැමීය.

තුවක්කුකරුවා, AR-15 වර්ගයේ සැහැල්ලු අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක් ද ඇතුළුව, වෙනත් අර්ධ ස්වයංක්‍රීය රයිෆල් වලින් සන්නද්ධව සිටියේය. ඔහුගේ රයිෆල් තුවක්කු උණ්ඩ රාශියක් ගබඩා කළ හැකි මට්ටමින් සකස් කර ගෙන තිබෙන්නට ඇතැයි විශ්වාසයක් පවතී.

විත්තිකරු ඕක්ලන්ඩ්හි 'Paremoremo' බන්ධනාගාරයේ දැනට රඳවා තබා ඇත.

එය නවසීලන්තයේ ඉතා දැඩි පාලනයක් සහිත සිරගෙය ලෙස සැලකෙයි.

Image caption නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩර්න් (Jacinda Ardern)

මුස්ලිම් ජනයා ඉලක්ක කරගත් එම වෙඩි තැබීමෙන් අනතුරුව ජාතිය අමතා කතාකළ නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩර්න් (Jacinda Ardern) "එම අපරාධය සිදු කළ දවස සිය රටේ ඉතිහාසයේ අඳුරුතම දවසකැයි" කියා සිටියාය.

කියවන්න;

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර