ඉන්ධන නෞකා ප්‍රහාරය: සෞදි අරාබිය සහ ඉරානය අතර මැද පෙරදිග මතු වන අළු යට ගිනි පුපුරු

Image copyright ISNA VIA REUTERS

ඕමාන් ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පසුගිය දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබිය සිය ප්‍රතිවාදී ඉරානයට චෝදනා කරයි.

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන් පවසන්නේ, කලාපය තුළ උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින හෙයින් ඕනෑ ම තර්ජනයකට මුහුණ දීමට සෞදි අරාබිය පසුබට නොවන බවය.

පසුගිය බ්‍රහස්පතින්දා ඕමාන් ගල්ෆ් කලාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල වූ අතර, ඊට මසකට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළ ආසන්නයේදී තවත් නෞකා 4ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල විය.

බ්‍රහස්පතින්දා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ද ඉරානයට චෝදනා එල්ල කළ අතර ඉරානය එය ප්‍රතික්ෂේප කළේය.

Image copyright AFP/HO/IRIB

මැද පෙරදිග "කලාපය තුළ අපට යුද්ධයක් අවශ්‍ය නෑ... ඒත් අපේ ජනතාවට, අපේ ස්වෛරීත්වයට සහ අපේ භෞමික අඛණ්ඩතාවට යම් තර්ජනයක් එල්ල වෙනවා නම් අපි ඒකට ප්‍රතිචාර දක්වන්න පසුබට වෙන්නේ නෑ," මොහමඩ් බින් සල්මාන් කුමරු අරාබි පුවත්පතකට පවසා තිබිණි.

"ජපාන අගමැති ඉරානයේ කළ සංචාරයට ඉරාන රෙජීමය ගෞරවයක් දැක්වූයේ නැහැ. ඔහු ඉරානයේ සංචාරය කරන අතරතුර ඔවුන් ජපාන අගමැතිවරයාගේ උත්සාහයට ප්‍රතිචාර දැක්වූයේ ඉන්ධන නැව් දෙකකට පහර දීලා. ඉන් එකක් ජපානයට අයිති එකක්," ඔහු සඳහන් කළේය.

ලෝකයේ විශාලතම ජාත්‍යන්තර නැව් සංගමය සෙනසුරාදා පැවසුවේ, ප්‍රහාරවලින් පසුව ඕමාන් සහ හෝමස් කලාපවලට නෞකා ඇතුළත් නොකරන ලෙස නැව් සමාගම් තමන්ට දැනුම් දුන් බවය.

බෝල්ටික් ඇන්ඩ් ඉන්ටර්නැෂනල් මැරිටයිම් කවුන්සිල් (BIMCO) ආයතනයේ මුහුදු ආරක්ෂණ ප්‍රධානී ජේකබ් ලාසන් බීබීසී පුවත් සේවයට පැවසුවේ, අදාළ මුහුදු කලාපය තුළ තත්ත්වය දරුණු වුවහොත් නෞකාවල ආරක්ෂාව සඳහා ආරක්ෂක රැකවල් යෙදීමට පියවර ගන්නා බවය.

ඇමෙරිකාව වීඩියෝවක් නිකුත් කරමින් චෝදනා කළේ, බ්‍රහස්පතින්දා ප්‍රහාරයෙන් පසුව ඉරාන හමුදා සාමාජිකයින් ප්‍රහාරයට ලක්වූ නැවක තිබී පුපුරා නොගිය බෝම්බ කුඩා යාත්‍රාවලට පටවමින් සිටි බවටය.

2017 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඇමෙරිකාව සහ ඉරානය අතර පැවති සබඳතා බරපතළ ලෙස පිරිහිණි. ඔහු ඉරානය සමග පැවති න්‍යෂ්ටික ආයුධ සම්බන්ධ ගිවිසුමක් අත්හැර දැමූ අතර එරටට එරෙහි සම්බාධක දැඩි කළේය.

බ්‍රහස්පතින්දා ප්‍රහාරය ගැන අප දන්නා කරුණු

ඕමාන් ගල්ෆ් කලාප මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකා දෙකක් තුළ සිදුවූ පිපිරීම්වලින් අනතුරුව එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරා ගැනීමට හැකිව තිබිණි.

Image copyright FREDERICK A TERRY/ARTJOM LOFITSKI

අදාළ නෞකා හිමිකාර සමාගම් පැවසුවේ, කොකුකා කරෙජස් (Kokuka Courageous) නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකු සහ ෆ්‍රන්ට් ඇල්ටෙයාර් (Front Altair) නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු එලෙස බේරාගෙන ඇති බවය.

ඉරාන මාධ්‍ය වාර්තා කළේ, ඉරානය විසින් නෞකා දෙකෙහි සිටි සාමාජිකයින් 44 දෙනෙකු මුදා ගත් බවය. මෙම පිපිරීම්වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඇමෙරිකානු නාවික හමුදාව පැවසුවේ, ඔවුන්ට නැව් ආපදාවට ලක්ව ඇති බවට දුරකතන ඇමතුම් ලැබුණු බවය.

එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අනුබද්ධ එක්සත් රාජධානි මුහුදු වෙළෙඳ මෙහෙයුම් ආයතනය අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් නිවේදනය කළේ, අදාළ මුහුදු කලාපයේ "බරපතළ අවදානමක්" පවතින බවය.

ෆ්‍රන්ට් ඇල්ටෙයාර් නෞකාව භාවිත කරන තායිවානයේ රාජ්‍ය ඉන්ධන පිරිපහදු ආයතනයේ ප්‍රකාශක වූ අයි ෆන්ග් (Wu I-fang) පැවසුවේ, එම නෞකාව නැප්තා නමැති බොර තෙල් ටොන් 75000ක් ප්‍රවාහනය කරමින් තිබූ බවය. සිය නෞකාවට "මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බවට සැක කරන," බව ද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් එය මිසයිල ප්‍රහාරයක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

තවත් තහවුරු නොකළ වාර්තාවල සඳහන් වූයේ, එය බෝම්බ ප්‍රහාරයක් බවය.

ඔහු ප්‍රකාශ කළේ, එම නෞකාවේ සිටි සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරා ගත් බවය. නෞකාවේ හිමිකාරත්වය දරන නෝර්වේ සමාගමක් වන ෆ්‍රන්ට්ලයින් සමාගම පැවසුවේ, නෞකාව ගිනිබත් වූ බවය.

මේ අතර, පැනමා ධජය රැගත් කොකුකා කරෙජස් නෞකාව හිමි බී එස් එම් ෂිප් මැනේජ්මන්ට් සමාගම පැවසුවේ, කාර්ය මණ්ඩලය නෞකාව අතහැර ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක සහයෙන් දිවි බේරාගෙන ඇති බවය.

එම නෞකාව මෙතනෝල් ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර එය මුහුදුබත් වීමේ අවදානමක් නැතැයි සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය. එම නෞකාව මේ වන විට පවතින්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සැතපුම් 80ක් සහ ඉරානයට සැතපුම් 16ක් දුරිනි.

තවත් කියවන්න: