සෞදි අරාබියට යුද අවි විකිණීම: බ්‍රිතාන්‍ය රජයට උසාවියෙන් අභියෝගයක්

Image copyright AFP
Image caption යේමනය තුළ සෞදි අරාබියේ මුලිකත්වයෙන් දියත් වන ඒකාබද්ධ හමුදා මෙහෙයුම්

බ්‍රිතාන්‍යයෙන් සෞදි අරාබියට මහා පරිමාණයෙන් යුද අවි අපනයනය කිරීමට එරෙහිව මානවවාදීන් ගෙන යන සටනේ එක් පියවරක් ජය ගෙන තිබේ.

සෞදියට යුද අවි විකිණීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබා දී තිබෙන අවසරය නැවත සලකා බැලිය යුතු බවට අධිකරණ නියෝගයක් නිකුත් විය.

බ්‍රිතාන්‍යයේ අභියාචනාධිකරණයෙන් මෙම නියෝගය නිකුත් වූයේ ඊට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුවය.

'අවි වෙළඳාමට එරෙහි ව්‍යාපාරයේ' (Campaign Against Arms Trade) තර්කය වී ඇත්තේ ගල්ෆ් කලාපයට අවි සහ යුද උපකරණ සැපයීමට අවසර ලබා දීම නීති විරෝධී බවය.

යේමනයේ පවතින යුද්ධයේ දී ජාත්‍යන්තර මානවීය නීති බරපතළ ලෙස උල්ලංඝනය කරමින් මෙම යුද අවි භාවිතා කිරීමට පැහැදිලි ඉඩකඩක් පවතින බව ඔවුහූ පවසති.

අධිකරණ විනිසුරුවරුන් කියා සිටියේ ලබා දී තිබෙන අවසරය නැවත සලකා බැලිය යුතු බව පමණි. එතෙක් බ්‍රිතාන්‍යය විසින් සෞදි අරාබියට යුද අවි අළෙවි කරනු ලැබීම නතර කිරීමට අධිකරණය නියෝග කර නොමැත.

"පැහැදිලි අවදානමක් ?"

කෙසේ නමුත් මෙම අධිකරණ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලීමක් කරන බව බ්‍රිතාන්‍ය රජය පැවසීය.

බ්‍රිතාන්‍යය තුළ සම්මත වී තිබෙන අපනයන ප්‍රතිපත්තිය අනුව, "ජාත්‍යන්තර මානවීය නීති බරපතළ ලෙස උල්ලංඝනය වන අන්දමින්" එම අවි භාවිතා වීමේ "පැහැදිලි අවදානමක්" ඇත්නම් එවැනි රටකට අවි ආයුධ විකිණීම සඳහා අවසරය ලබා දිය නොහැකිය.

Image caption සෞදි අරාබියට අළෙවි කර ඇති යුද උපකරණ අතර Typhoon සහ Tornado වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා මෙන්ම නවීන බෝම්බ ද පවතී

අධිකරණ විනිශ්චය ලබා දෙමින් විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා කියා සිටියේ "යේමනය තුළ සෞදි අරාබියේ මුලිකත්වයෙන් දියත් වන ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මගින් ජාත්‍යන්තර මානවීය නීති උල්ලංඝනය කර ඇත්දැයි සොයා බැලීම සඳහා" බ්‍රිතාන්‍ය රජය කිසිදු උත්සාහයක් හෝ දරා නොමැති බවය.

බ්‍රිතාන්‍ය රජය මේ පිළිබඳව "නැවත සලකා බැලිය යුතු" බවත් "අනාගත අවදානමක්" පවතී ද යන්න පිළිබඳව යම් තක්සේරුවක් කළ යුතු බවත් ඔහු පැවසීය.

බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය කිහිප විටක් ම ප්‍රකාශ කර ඇත්තේ සෞදි හමුදා සාමාන්‍ය වැසියන් ඉලක්ක කරන බවට සාක්‍ෂි නැති බවය.

පවුම් බිලියන 4.7ක යුද අවි

2015 මාර්තු මාසයේ දී යේමනයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වීමෙන් පසුව මේ දක්වා බ්‍රිතාන්‍ය පවුම් බිලියන 4.7ක යුද අවි සෞදියට සැපයීමට බ්‍රිතාන්‍ය රජය අවසරය ලබා දී තිබේ.

සෞදි අරාබියට අළෙවි කර ඇති යුද උපකරණ අතර Typhoon සහ Tornado වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා මෙන්ම නවීන බෝම්බ ද පවතී.

මෙම අවි වෙළඳාම නිසා බ්‍රිතාන්‍යය තුළ දහස් ගණනකට රැකියා සැපයෙන අතර පවුම් බිලියන ගණනක ආදායමක් රට තුළට ලැබේ.

අධිකරණ නියෝගය ගැන සතුට පළ කරමින් 'අවි වෙළඳාමට එරෙහි ව්‍යාපාරයේ' ප්‍රකාශක ඇන්ඩෲ ස්මිත් කියා සිටියේ ලොව පවතින කුරිරු ම සහ මර්දනකාරී ම රෙජීමයක් වුවත් සෞදි අරාබිය පසුගිය දශක කිහිපය පුරාම බ්‍රිතාන්‍ය අවි වෙළඳාමේ විශාලතම ගනුදෙනුකරුවා වී සිටින බවය.

මේ තොරතුරුද කියවන්න:

තුන්වැනි ස්ථානය බ්‍රිතාන්‍යයට

යේමනයේ යුද්ධයට සම්බන්ධ වීමෙන් අනතුරුව සෞදි අරාබියට අවි විකිණීම පිළිබඳව දැඩි විවාදයක් සමාජයෙන් මතු වන්නට විය.

ලෝක අවි වෙළඳාම පිළිබඳව සමීක්ෂණයක යෙදුණු ස්ටොක්හෝම් ජාත්‍යන්තර ආයතනයේ (Stockholm International Peace Research Institute) වාර්තාවකට අනුව සෞදි අරාබියට අවි අළෙවි කරන රටවල් අතරින් තුන්වැනි ස්ථානය බ්‍රිතාන්‍යයට හිමි වෙයි. ඊට ඉදිරියෙන් සිටින්නේ එක්සත් ජනපදය සහ ප්‍රංශය යි.

සෞදි අරාබිය විසින් මිල දී ගනු ලබන යුද අවි ප්‍රමාණය 2012 සහ 2017 අතර කාලය තුළ තෙගුණයකින් ඉහළ ගියේය.

ලොවපුරා වාර්ෂික ගිනි අවි වෙළඳාම පවුම් ට්‍රිලියන 1.3 බවට ගණන් බලා ඇත.

යේමන් අර්බුදය

සෞදි අරාබියේ නායකත්වය ඇතිව යේමනයේ ආණ්ඩුවේ හමුදාවන්ට සහයෝගය දෙන සන්ධානයක් සහ හූති (Houthi) කැරලිකරුවන් අතර වසර කීපයක පටන් බිහිසුණු අරගලයක් සිදු වෙමින් පවතින අතර එමගින් රටේ ජන ජීවිතය විනාශ වී ඇත.

2015 මාර්තු මාසයේ පටන් ඇවිල යමින් පවතින ගැටුම් අතරවාරයේ ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර හේතුවෙන් මේ වනවිට 8530 කට අධික ජීවිත විනාශයක් සහ තුවාල කරුවන් 48000 ක් පිළිබඳව වාර්තා වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

යේමන් අර්බුදය නිසා තුන් කෝටියකට ආසන්න ජනකායකට මානවීය ආධාර සැපයීමට සිදුව ඇති අතර කොලරා වසංගතයට හත් ලක්ෂයක් පමණ ජනතාව ගොදුරු වී ඇතැයි විශ්වාස කෙරෙයි.

තවත් තොරතුරු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර