මුහුදේ පාවී වෙරළට ආ 'Nike' සපත්තු අභිරහස

Image copyright Tracey Williams
Image caption වෙරළේ ලැගුම්ගත් Nike ට්‍රේනර්ස් සපත්තුවල සවිකර තිබුණ ලේබල්වල සටහන් වුණේ එකම නිෂ්පාදන දිනයකි

පසුගිය වසරක පමණ කාලය ඇතුළත බර්මුඩා සහ බහමාස් වලින් පටන් ගෙන අයර්ලන්තය සහ ඔර්ක්නි ( Orkney) තෙක් රටවල් රාශියක මුහුදු වෙරළට පළුදු නොවූ සපත්තු ජෝඩු සිය ගණනක් පාවී විත් වෙරළේ රැඳී තිබුණි.

මෙහිදී පැන නැගුණ ප්‍රශ්න දෙකකි. මේ සපත්තු මේ ආකාරයට වෙරළට පාවී ආවේ කෙසේද? යන්න ඉන් පළමුවැන්නය. දෙවැන්න ඒවා හමු වූ ස්ථාන සම්බන්ධයෙන් විද්‍යාඥයන් මෙතරම් උනන්දුවක් දක්වන්නේ ඇයි? ද යන්නය.

මේ කුතුහලය ආරම්භ වන්නේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේ අත්ලාන්තික් සාගරයේ 'Azores' දූපත් වළල්ලේ ඈත කුඩා දූපතක් වන 'ෆ්ලෝරස්' (Flores Island) දිවයිනේ වෙරළට පාවී, එහි රැඳී තිබුණ ආගන්තුක භාණ්ඩ විශේෂයක් එහි සැරි සරණ ගයි රිබෙයිරෝ (Gui Ribeiro) නමැත්තාගේ ඇස ගැටීමත් සමඟය.

පළමුව එම ආගන්තුක භාණ්ඩ වූයේ කුඩා සංඛ්‍යාවකි. ඒවා යම්කිසි පුද්ගලයන් අතින් ගිලිහුන එසේත් නැත්නම්, මිනිස් ක්‍රියාකාරකම් නිසා මහ සයුරට එක් වූ අපද්‍රව්‍ය හැටියට සලකමින් ඒවා නොතකා හැරීමට එම පළමු අදියරේදී හැකි විය.

එහෙත් ඉක්මනින් තත්වය වෙනස් වුණේ එම ආගන්තුක වස්තූන් විශාල වශයෙන් වෙරළට පාවී ඒමත් සමඟය.

Image copyright LIAM MCNAMARA

ට්‍රේනර්ස්, සැහැල්ලු රබර් සෙරෙප්පු සහ වෙනත් ආකාරයේ පාවහන් නිතරම මෙන් වෙරළට පාවී ආ අතර, එලෙස පාවී ලඟා වූ වෙනත් වස්තූන් අතරින් එම විවිධ පාවහන් වර්ග කැපී පෙනුනි.

එම පාවහන් වර්ග එකම වෙළෙඳ ලාංඡනයක් යටතේ නිමවන ලද එසේම එකම මෝස්තරයේ නිමැවුම් වෙයි.

වෙරළේ ලැගුම්ගත් ඇතැම් ට්‍රේනර්ස් සපත්තුවල සවිකර තිබුණ ලේබල්වල සටහන් වුණේ එකම නිෂ්පාදන දිනයකි.

තවත් පුදුම සහගත් දෙයක් වන්නේ එම පාවහන් පාවිච්චි නොකරන ලද ඒවා බව පෙනී යාමය.

මාස කීපයක් ඇවෑමෙහි සයුරු තීරයෙන් ගයි රිබෙයිරෝ (Gui Ribeiro) විසින් වෙනත් නිෂ්පාදන වර්ගත් ඇතුළුව රැස් කර ගන්නා ලද නයිකි (Nike) ට්‍රේනර්ස් සපත්තු සංඛ්‍යාවේ එකතුව හැටක් පමණ විය.

ඒ සමඟ සිද්ධියට පණක් ලැබ ප්‍රවෘත්තියක් ලෙස වේගයෙන් පැතිර යන්නට පටන් ගත්තේය.

Image copyright TRACEY WILLIAMS

මාස හතක කාලයක් ගත විය. 'ෆ්ලෝරස්' (Flores Island) දිවයිනෙන් කිලෝ මීටර් 2,250 ක් ඈතින් එක්සත් රාජධානියේ 'කෝර්න්වෝල්' (Cornwall) වෙරළ අද්දර වෙසෙන ට්‍රේසි විලියම්ස් (Tracey Williams) සිය වෙරළේදී මෙහි ඉහත කී ආකාරයට සමාන ප්‍රවණතාවක් දකින්නට වූවාය.

"මොනවා හරි දෙයක් වෙරළෙදි දැක්කද කියල අයර්ලන්තයේ ජීවත් වෙන මගේ මිතුරියක් මගෙන් ඇහුව. ඉතින් පහුවදා මම වෙරළට ගියාම කීපයක් දැක්කා."

ට්‍රේසි විලියම්ස් (Tracey Williams) පවසන්නීය.

"වෙරළ පිරිසිදු කරන්නන් හෝ එහෙමත් නැත්නම් වටින කියන දේවල් අහුලා ගන්න වෙරළ දිගේ ඇවිදින පුද්ගලයන් ජාලයක් තියෙනවා. ඉතින් නිශ්චිත භාණ්ඩයක් පා වෙලා ආවාම අපි ඒක ඉක්මනින් හොයා ගන්නවා. ඊළඟට අපි අපේ ඇහැ ගහගෙනයි ඉන්නේ."

'Azores' අත්ලාන්තික දූපත් සමූහය සහ ගිනිකොන එංගලන්තයෙන් මෙන්ම පාවී ආ ඉහත කී මෙම ආගන්තුක පාවහන් රැල්ල මේවනවිට බර්මුඩා, බහාමාස්, ප්‍රංශය,අයර්ලන්තය, ඔර්ක්නි (Orkney) සහ චැනල් දූපත් (Channel Islands) වලින් ද දක්නට ලැබී ඇත.

Image copyright TRACEY WILLIAMS
Image caption වෙරළ පිරිසිදු කිරීම පහසු කටයුත්තක් නොවේ

"මම සිදු කරපු පරීක්ෂණ අනුව" යනුවෙන් ආරම්භ කරමින් ගයි රිබෙයිරෝ මෙසේ විස්තර කරයි.

"Maersk Shanghai නැවෙන් මූදට වැටුන හැත්තෑවත් - හැත්තෑ හයත් අතර ගණනක කන්ටේනර්වල ඇතැම් ඒවායෙන් මේ පාවහන් මූදට වැටෙන්න ඇති ආකාරයක් පෙන්නුම් කෙරෙනවා."

දිගින් අඩි 1,063 ක් (මීටර් 324m) වූ, දහදාහකට අධික කන්ටේනර් ප්‍රවාහනය කළ හැකි Maersk Shanghai නෞකාව, පසුගිය වසන්ත සමයෙහි එක්සත් ජනපදයේ වර්ජිනියා,නෝෆෝක් (Norfolk) සිට එරට නැගෙනහිර වෙරළේ දකුණු කැරොලිනාහි 'චාර්ල්ස්ටන්' (Charleston) බලා යාත්‍රා කරමින් සිටියාය.

මාර්තු මාසයේ තුන් වෙනිදා සවස උතුරු කැරොලිනාහි පටු ඔරිගොන් මුහුදු තීරයෙන් (Oregon Inlet) සැතැපුම් දාහතක් ඔබ්බෙන් නෞකාව යාත්‍රා කරමින් තිබිය දී ඇය කුණාටුවකට මැදි වූවාය.

රළු චණ්ඩ මුහුදේ ඉහල නගිමින් තිබුණ රළ පහරට එරෙහිව පොර බදමින් සිටි නෞකාවේ භාණ්ඩ පිරවූ කන්ටේනර් තොගයක් මහා සයුරට පෙරළුනි.

එම අතුරුදහන් වූ කන්ටේනර් සොයා ගනු ලැබීම සඳහා පිටත් කර යවන ලද ගුවන් නැවියන් කණ්ඩායමක්, මුහුදේ පාවෙමින් තිබුණ කන්ටේනර් නවයක් සොයා ගත් නමුත්, එයින් හතක් පසුව මුහුදේ ගිලුණ බව සාගර වාණිජ තොරතුරු මාධ්‍ය මගින් ඒ දිනවල වාර්තා කරනු ලැබුණි.

වෙරළෙන් හමු වී ඇති සියලු පාවහන් 'Maersk Shanghai' නෞකාවෙන් මුහුදට වැටුන ඒවා යයි නිශ්චිත ලෙස ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැත.

එම සියලුම පාවහන් එකම නැවකට අයත් වේයැයි විශ්වාසයක් පවතී.

ඒ සම්බන්ධයෙන් බීබීසිය එම නැව මෙහෙයවන ලද සාගර වාණිජ කටයුතුවල නිරත Zodiac සමාගමෙන් විමසීමක් කළ විට ඒ සඳහා ප්‍රතිචාරයක් නොලැබුණි.

එසේම, බීබීසිය නයිකි (Nike) සමාගම සම්බන්ධ කරගත් අවස්ථාවේ ඔවුන්ගේ තෝරා ගැනීම වූයේත් නිහඬව සිටීමය.

එහෙත් පාවහන් නිපදවන 'ට්‍රෑන්ගල්' (Triangle) සහ 'ග්‍රේට් වොල්ෆ් ලොඩ්ජ්' (Great Wolf Lodge) යන වාණිජ සමාගම් දෙක නෞකාවෙන් මුහුදට වැටීමෙන් අනතුරුව හමු වූ ඇතැම් පාවහන් සිය නිෂ්පාදන බව තහවුරු කරනු ලැබුණි.

එම පාවහන් Maersk Shanghai නැවෙන් වැටුන ඒවා බව ඒත්තු ගන්නා එකම වෙරළ පිරිසිදු කරන්නා ගයි රිබෙයිරෝ පමණක් නොවේ.

ලියෑම් මැක්නමාරා (Liam McNamara) අයර්ලන්තයේ බටහිර වෙරළේ පදිංචි කරුවෙකි. ඔහුට සීයකට අධික පාවහන් තොගයක් මුහුදු වෙරළින් හමු වී ඇත. ඉන් වැඩි හරියක් නයිකි (Nike) ට්‍රේනර්ස් පාවහන් වෙති. ඒවා ඉහත කී නෞකාවෙන් වැටුන ඒවා වීමට විශාල ඉඩකඩක් ඇත යන්න ඔහුගේ අදහස වෙයි.

"තම භාණ්ඩ අතරින් තොගයක් නැති වූ බව එක සමාගමක් පිළිගෙන තියෙනවා. මුහුදේ දී තම භාණ්ඩ තොගයක් අහිමි වූ බව තවත් සමාගමක් පිළිගත්තා," ලියෑම් මැක්නමාරා (Liam McNamara) පවසයි.

කෙසේ වෙතත් මෙයින් ඇතිවන බලපෑම කුමක් ද?

"එක්කෝ මුහුදු පතුලට ගිලෙනවා. නැත්නම් වෙරළට පාවෙලා එනවා. මෙයින් මුහුදු ජීවීන්ට සිදු වෙන්නේ විනාශකාරී බලපෑමක්." සමුද්‍ර ආරක්‍ෂණ සංගමයේ ලොරේන් එයිල්ස් පැවසුවාය.

"මේ සපත්තු කාලයක් ගතවන විට ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් (micro-plastics) බවට පත් වෙනවා. වටිනා මුහුදු ජීවී සම්පතට ඒක විශාල වශයෙන් බලපානවා."

පවතින ඇස්තමේන්තු විවිධාකාර වුවත්, දල වශයෙන් ගත කල වසරකට මුහුදට එක් වන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 10ක් ලෙස විශ්වාස කෙරෙයි.

මුහුදු බත් වූ Maersk Shanghai නෞකාවේ තිබූ සපත්තු සුළු ප්‍රමාණයක් වෙරළට ගසාගෙන ආ නමුත් බහුතරය දැඩි ජල පහරට ලක්ව උතුරු අත්ලාන්තික් සාගර පතුළේ සැගවෙන්නට පවතින ඉඩ කඩ වැඩිය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර