අරාබිය තුළ ආගමානුකූලව හැසිරෙන පුද්ගලයන් අඩු වෙලා ද?

Arabs turning their backs on religion

මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයන් තුළ මෙතෙක් සිදු කළ විශාලතම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ අරාබි රටවල් තුළ ආගමානුකූල දිවි පෙවතක් ගත කරන පුද්ගලයන්ගේ විශාල අඩු වීමක් දක්නට ලැබෙන බවය.

කාන්තා අයිතීන්, සංක්‍රමණය, ආරක්ෂාව සහ ලිංගිකත්වය වැනි කාරණා ගැන ආරාබියේ දිවි ගෙවන පුද්ගලයන්ගේ අදහස් මත පදනම්ව මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

බීබීසී අරාබි පුවත් සේවය වෙනුවෙන් අරාබි බැරෝමීටර (Arab Barometer) සමීක්ෂණ ජාලය මෙම සමීක්ෂණය පවත්වනු ලැබ ඇත.

2018 වසරේ අවසානයේ සිට 2019 වසරේ මැද දක්වා පලස්තීන භූමි ප්‍රදේශ සහ අරාබි කලාපයේ රටවල් දහයක සිදු කළ සමීක්ෂණයට පුද්ගලයන් 25,000කට වැඩි සංඛ්‍යාවක් සහභාගී කරගෙන තිබේ.

එම සමීක්ෂණයේ සමහර ප්‍රතිඵල පහතින් දැක්වේ.

2013 වර්ෂයේ සිට මේ දක්වා කලාපය පුරා පැතිරී සිටින "ආගමානුකූලව නොහැසිරෙන" පුද්ගලයන්ගේ ගණන 8% සිට 13% දක්වා වැඩි වී තිබේ. සමීක්ෂණයට අනුව වයස අවුරුදු තිහට අඩු පුද්ගලයන් ආගමික දිවි පෙවතින් ඉවත් වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. ඔවුන් අතරින් 18%ක් ආගමානුකූලව නොහැසිරෙන බවට හඳුනාගෙන ඇත. යේමනයේ පමණක් එහි පහත වැටීමක් දක්නට ලැබේ.

රටේ අගමැතිනිය හෝ අමාත්‍යවරියක වීමේ කාන්තා අයිතියට කලාපය පුරා සිටින බොහෝ දෙනෙකු සිය කැමැත්ත පළ කර තිබිණි. නමුත් ඇල්ජීරියාවෙන් සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් කාන්තාවක රටේ නායිකාව වීම ගැන කැමැත්ත පළ කළේ 50%ට අඩු පිරිසක් වීම විශේෂත්වයකි.

නමුත්, කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් ඇතුළු බොහෝ දෙනෙකු පැවසුවේ, ගෘහ ජීවිතයේදී පවුල වෙනුවෙන් අවසාන තීන්දුව ගැනීමේ අයිතිය ඇත්තේ සැමියාට හිමි විය යුතු බවය.

මොරොක්කෝවේ පමණක් ජනගහනයෙන් අඩකට මදක් අඩු ප්‍රමාණයක් පවුල තුළ අවසන් තීන්දුව ගැනීම සැමියා සතු කාර්යයයක් ලෙස සිතන බව සමීක්ෂණයෙන් පෙනී යයි.

සමලිංගික සම්බන්ධතා ගැන කලාපය පුරා විසිරී ඇති මතය එකිනෙකට වෙනස් වුවත් එය පිළිගැනීම ඉතා අවම මට්ටමක පවතී. ලිබරල් සමාජයක් ඇති බවට ප්‍රසිද්ධියක් උසුලන ලෙබනනයේ පවා මෙය පිළිගනු ලබන්නේ 6%ක් පමණි.

අගෞරව වන ආකාරයෙන් හැසිරෙන පවුලේ සාමාජිකයෙකු, විශේෂයෙන් ම කාන්තාවක, ඥාතීන් විසින් ඝාතනය කරනු ලැබීම 'පවුලේ ගෞරවය වෙනුවෙන් සිදු කරන ඝාතන' ලෙස හැඳින්වේ.

ලෝකයේ අනෙක් නායකයන් සමග සංසන්දනය කර බලන විට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැද පෙරදිග ප්‍රතිපත්ති සමීක්ෂණය පැවැත්වූ සෑම ප්‍රදේශයක ම හිමිව තිබුණේ අවසාන ස්ථානයයි.

නමුත් පුදුමයට කරුණ නම්, සමීක්ෂණය සිදු කළ ප්‍රදේශ 11න් 7ක පිරිස අතරින් අඩක් හෝ ඊට වැඩි ගණනක් තුර්කි ජනාධිපති රිසෙප් තයියෙප් එර්දොවාන්ගේ ප්‍රතිපත්ති පිළිගැනීමය.

ලෙබනනය, ලිබියාව සහ ඊජිප්තුව යන රටවල එර්දොවාන්ට වඩා ව්ලැදිමීර් පූතීන්ගේ ප්‍රතිපත්තිවලට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල් බොහොමයක් නිරන්තරයෙන් සිය ආරක්ෂාව ගැන අවධානයෙන් පසු වේ. කලාපයට දැඩි තර්ජනයක් එල්ල කරන රටවල් ගැන පුද්ගලයන්ගෙන් ඇසූ විට පළමුව ඊශ්‍රායල ද දෙවනුව ඇමෙරිකා එක්සත් ජනපදය සහ තෙවනුව ඉරානයත් ලෙස හඳුන්වන ලදී.

සමීක්ෂණය සිදු කළ සෑම රටක ම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමැත්ත පළ කළේය.

සුඩානයේ ජනගහනයෙන් හරි අඩක් සිය රටින් පිටත් වීමට කැමැත්ත පළ කළහ.

ආර්ථික ගැටලු මෙයට ප්‍රධානතම හේතුවක් ලෙස ඔවුහු පැවසූහ.

නමුත් ඔවුන් සියලුදෙනාගේ ඉලක්කය වන්නේ යුරෝපය නොවේ.

උතුරු ඇමෙරිකාවට යෑමට බලාපොරොත්තු වන පිරිසේ වැඩි වීමක් දක්නට ලැබෙන අතර, යුරෝපයට සංක්‍රමණය වීමේ කැමැත්ත පෙරට වඩා අඩු වී තිබේ. නමුත් මැද පෙරදිග හැර දා යාමට සිතන පුද්ගලයන් තවමත් ප්‍රමුඛත්වය ලබා දෙන්නේ යුරෝපයටය.

මෙම සතිය පුරාවට බීබීසී අරාබි සේවයේ ප්‍රධාන මාතෘකාව මෙය වන අතර, ට්විටර්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ #BBCARABICSURVEY යන හෑෂ්ටැගය භාවිත කර වැඩි විස්තර දැන ගත හැකිය.

සමීක්ෂණ ක්‍රමවේදය

අරාබි බැරෝමීටර නම් සමීක්ෂණ ජාලයක් විසින් මෙම සමීක්ෂණය පවත්වනු ලැබීය. පලස්තීන භූමි ප්‍රදේශ සහ මැද පෙරදිග රටවල් දහයක දිවි ගෙවන පුද්ගලයන් 25,407ක් සමග මුහුණට මුහුණ ලා සාකච්ඡා පවත්වා තිබිණි.

අරාබි බැරෝමීටර සමීක්ෂණ ජාලය අනුයුක්ත වී ඇත්තේ ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයටය. 2006 වසරේ සිට ඔවුන් මේ ආකාරයේ සමීක්ෂණ පවත්වයි. මිනිත්තු 45ක් දක්වා දිගු වූ සාකච්ඡා බොහෝ විට සිදු කර ඇත්තේ ටැබ්ලට් උපකරණයක් හරහා වන අතර, එයට සහභාගී වූ පුද්ගලයන් පෞද්ගලික ස්ථානයක සිට කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය ඇතුළත් නොවුණ ද, අනෙක් පසින් පලස්තීන භූමි ප්‍රදේශ ඇතුළත් වුව ද, මෙම සමීක්ෂණයෙන් පිළිබිඹු වන්නේ අරාබි ලෝකය තුළ පවතින මතයයි.

ගල්ෆ් ඇතුළු කලාපයේ රටවල් බොහොමයක් සම්පූර්ණ සහ සාධාරණ ලෙස සමීක්ෂණය පැවැත්වීමට ඉඩ ලබා නොදිණි.

කුවේට්හි ප්‍රතිඵල ලැබීම දැඩි ලෙස ප්‍රමාද වීම හේතුවෙන් එය බීබීසී අරාබි සේවයේ ආවරණය සඳහා යොදා ගැනීමට නොහැකි විය. සිරියාවට ඇතුළු වීමේ ඇති අපහසුතා නිසා සමීක්ෂණයට සහභාගී කර ගත නොහැකි විය.

නීතිමය සහ සංස්කෘතික ගැටලු හේතුවෙන් සමීක්ෂණයට ඇතුළත් සමහර ප්‍රශ්න ඉවත් කරන මෙන් රටවල් කිහිපයක් ඉල්ලීම් කර තිබිණි. අවසන් ප්‍රතිඵල එළිදැක්වීමේදී මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන ඇති අතර, සීමාවන් පැහැදිලිව දක්වා තිබේ.

මෙම ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර විස්තර අරාබි බැරෝමීටර වෙබ් අඩවියෙන් දැනගත හැකිය.

මේ තොරතුරුද කියවන්න: