ඇමසන් වනාන්තරය: බ්‍රසීල ජනපතිගේ 'අනුදැනුමෙන් සිදුවන' වන විනාශය

Image caption ඇමසන් වනය ලොව විශාලතම වැසි වනාන්තරයයි

(ඩේවිඩ් ශුක්මන් බීබීසී පුවත් සේවයට සැපයූ වාර්තාවක් ඇසුරිනි)

සෑම මිනිත්තුවකදී ම ඇමසන් වැසි වනාන්තරයෙන් පාපන්දු පිටියකට හා සමාන බිම් ප්‍රමාණයක් එළි කෙරෙන බව චන්ද්‍රිකා මාර්ගයෙන් ලබා ගත් තොරතුරු අනුව අනාවරණය වේ.

වනගහනයේ විනාශය වැඩී වීමට හේතු වී ඇත්තේ, බ්‍රසීලයේ මෑතකදී තේරී පත්වූ දක්ෂිණාංශික ජනාධිපතිවරයා 'සංරක්ෂණය වෙනුවට සංවර්ධන කටයුතු' සඳහා මූලිකත්වය දීම යැයි සැලකේ.

ඇමසන් වනය ලොව විශාලතම වැසි වනාන්තරය වේ. ඉන් වැඩි ප්‍රමාණයක් බ්‍රසීලය සතු වේ. ගෝලීය උණුසුම අඩු කිරීම සඳහා ද මෙම වනාන්තරය වැදගත් වේ.

නම හෙළි කිරීමට අකමැති වූ බ්‍රසීල රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ තම රජය වනාන්තරය එළි කිරීමට අනුබල දෙන බවය.

මෑතකදී එළි කරන ලද විශාල කලාපයක දැවැන්ත ගස් පෙරලා දමා තිබිණි. සමහර ගස්වල පත්‍ර තවමත් කොළ පාටය.

විශාල ගස් කපා කුට්ටි කර විකුණා දැමීම හෝ ගිනි තැබීම හෝ සිදු කෙරේ. එළි කළ භූමිය ඉන් අනතුරුව වගා කටයුතු සඳහා යොදා ගැනේ.

Image copyright AFP
Image caption බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ

සමහර කලාප තුළ නීති විරෝධී ගස් කපන්නෝ වනගහනයට යටින් පාරවල් සාදා ගෙන වටිනා ගස් වර්ග කපා දමති. එසේ කපන දැව වැඩි මිලට නීති විරෝධී ලෙස විකුණති.

චන්ද්‍රිකා රූප රාමු අනුව පෙනී යන්නේ, ජෙයර් බොල්සොනාරෝ බ්‍රසීලයේ ජනාධිපති පදවියට පත් වීමෙන් අනතුරුව, මේ වසරේ මුල් මාස හය තුළදී ගස් කපා දැමීම් ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බවය.

ඉතා මෑතකදී කළ විශ්ලේෂණයකදී පෙනී ගොස් ඇත්තේ පසු ගිය මාස දෙක තුළදී වන විනාශය ශීඝ්‍ර ලෙස වැඩී වී ඇති බවය.

සාමාන්‍ය වශයෙන් එක් විනාඩියක් තුළ වනාන්තරයෙන් හෙක්ටයාරයක් පමණ එළි කෙරෙන බව හෙළි වී තිබේ.

නිල දත්ත අනුව ගස් කපා දැමීමට හේතු වී ඇති මූලික ම කරුණ වන්නේ ගව පාලනය සඳහා තෘණ බිම් නිර්මාණය කිරීමය.

වැසි වනාන්තර කලාපයට මීට පෙර අයත් ව තිබූ විශාල ප්‍රදේශයක මේ වන විට ගව රංචු දැකිය හැකිය.

පසුගිය දශකයේදී, බලයේ සිටි ආණ්ඩු, රාජ්‍ය ආයතනවල මැදිහත් උපකාරයෙන් සහ දඩ ගැසීම් මගින් වනාන්තරය එළි කිරීම පාලනය කළේය.

ජනපති බොල්සොනාරෝ සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය දඩ ගැසීමේ ප්‍රතිපත්තිය විවේචනය කරති.

එම නිසා නීති විරෝධී ලෙස කැපූ දැව කඳන් අත්අඩංගුවට ගැනීම් සහ පරිසර නීති උල්ලංඝණයට සම්බන්ධ අපරාධවලට එරෙහි දඬුවම් කිරීම් ද අඩු වී තිබේ.

මෙම වනාන්තරය තුළ ගස් බිලියනයක් පමණ ඇතැයි සැලැකේ. එමගින් දරා සිටින කාබන් ප්‍රමාණය අතිවිශාලය.

සෑම වර්ෂයක ම ශාක පත්‍ර මගින් කාබන් ඩයොක්සයිඩ් විශාල වශයෙන් උරා ගැනේ. එමගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ද වැළැකේ.

මෑතකදී කළ ඇස්තමේන්තුවකට අනුව ඇමසන් වනාන්තරය විසින් අවශෝෂණය කරනු ලැබූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය, 1980ත් 2010ත් අතර කාලයේදී, ඇමසන් වනාන්තරයට හිමිකම් කියන හෝ එහි සීමාවේ පිහිටි රටවවල් නවයෙන් නිකුත් වූ පොසිල ඉන්ධන විමෝචනය හා සමාන වී තිබිණි.

ඇමසන් වනය පෘථිවියේ පිහිටි ජෛව විවිධත්වයෙන් සශ්‍රීක ම කලාපය වේ. ලොව පවතින සියලු ශාක සහ සත්ත්ව විශේෂයන්ගෙන් 10න් එකක් පමණ එහි හමුවේ.

එසේ ම දස ලක්ෂයක පමණ ආදිවාසී ජනතාවක් එහි වාසය කරති.

Image caption එළි කරන ලද පෙදෙස්වල ගවයින් සැරිසරනු දැකිය හැක

බ්‍රසීලයේ නව ප්‍රතිපත්තියේ අරමුණ කුමක් ද?

බ්‍රසීල රජයේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරියෙකු පැවසුවේ නව ප්‍රතිපත්තියේ බලපෑම ඉතා අහිතකර බවය. එම නිසා ම අවදානම නොතකා නිසි අවසරයකින් තොරව ම ඔහු බීබීසීයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේ සිදුවන විනාශය ගැන ලෝකයේ අවධානයට ලක් කිරීමටය.

අප ඔහු හමු වූයේ රහසිගත ස්ථානයකදීය. හඳුනා ගත නොහැකි ආකාරයට ඔහුගේ මුහුණ ආවරණය කෙරුණු අතර කටහඬ ද වෙනස් කර කතා කිරීමට සලස්වන ලදී.

එසේ කරන ලද්දේ ජනාධිපතිවරයා පරිසර අංශය හා සම්බන්ධ නිලධාරීන්ට මාධ්‍ය වෙත අදහස් දැක්වීම තහනම් කර ඇති බැවිනි.

තමන් සහ අනෙක් නිලධාරීන් මුහුණ දී සිටින තත්ත්වය පැය තුනක කාලයක් පුරා ඔහු හෙළි කළේය.

ජනප්‍රිය මතවාදයක් ඉදිරිපත් කරමින් බලයට පැමිණි බොල්සොනාරෝට කෘෂිකාර්මික ව්‍යාපාරිකයින්ගේ සහ සුළු පරිමාණ ගොවීන්ගේ සහය ලැබිණි.

ඔවුන්ගෙන් බහුතරයක් සිතන්නේ ඇමසන් වනයේ කලාපයන් වුවමනාවටත් වඩා ආරක්ෂා කෙරෙන බවත් පාරිසරික නිලධාරීන්ගේ බලපෑම අනවශ්‍ය ලෙස වැඩි බවත්ය.

තුරුලතා ආරක්ෂා කිරීමට පත් කර ඇති රජයේ නිලධාරීන්ට පහර ගසන ජනාධිපතිවරයා පවසන්නේ වනාන්තර රැකීමට හඳුන්වා දී ඇති නීති දුර්වල කිරීම ඔහුගේ බලාපොරොත්තුව බවය.

පරිසර නිලධාරියා පවසන්නේ, "මේකෙන් අපිට හැඟෙන්නේ අපි ඇමසන් වනාන්තරයේ සතුරන් වගේ. නමුත් සිදුවිය යුත්තේ, අපි ඉදිරි පරම්පරාවන් සඳහා පාරිසරික උරුමයන් ආරක්ෂා කිරීමට උත්සහ දරන පිරිසක් ලෙස පිළිගැනීමයි."

"අපි සත්‍ය කතා කරන නිසා අපි කතා කරනවට ඔවුන් කැමති නැහැ. සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ ආක්‍රමණය කරලා විනාශ කරලා. ආරක්ෂා කළ යුතු ප්‍රදේශ බොහෝ පිරිස් වෙන් කරගෙන."

Image caption මිලියනයක් පමණ ආදීවාසී ජනතාවක් ඇමසන් වනාන්තරයේ ජීවත් වෙති

ඊළඟට කුමක් සිදුවේද?

දැනට සිදුවී ඇති වන විනාශය නිල වශයෙන් හඳුනාගෙන ඇති ප්‍රමාණයට වඩා ඉතා කනගාටුදායක බව එම නිලධාරියා පැවසීය.

"රජය උත්සහ කරනවා අපේ දත්ත වැරදියි කියලා පෙන්නන්න."

වර්තමාන රජයේ ආයතනය කටයුතු කරන අකාරය ප්‍රශ්න කරමින් ඒ වෙනුවට ස්වාධීන ආයතනයක් තෝරා ගැනීමට රජයේ අමාත්‍යවරු කල්පනා කරති.

නමුත් බීබීසීයට අදහස් දැක් වූ නිලධාරියා පැවසුවේ, "සත්‍ය වශයෙන් ම විනාශය දරුණුයි. මෑතකදී විනාශ වූ ප්‍රදේශ අලුත් චන්ද්‍රිකා ඡායාරූපවල සටහන් වෙලා නෑ."

"සිදුවන දේ ජනතාව දැනගත යුතුයි. අපිට මිතුරන් අවශ්‍යයි මෙම කලාප ආරක්ෂා කර ගැනීමට සහ වන විනාශය වැළැක්වීමට."

රජයේ ප්‍රතිචාරය:

බ්‍රසීල පරිසර සහ කෘෂිකර්ම අමාත්‍යවරුන්ගෙන් සම්මුඛ සාකච්ඡා සඳහා අවස්ථා ඉල්ලුව ද ඊට යහපත් ප්‍රතිචාරයක් බීබීසීයට නොලැබිණි.

"නිවර්තන කලාපයේ ට්‍රම්ප්" ලෙස නම් පටබැඳි බ්‍රසීල ජනපතිවරයා, ඇමසන් වනයේ සම්පත් 'සූරා කෑමට' එක් වන ලෙස මේ වසර මුලදී ඇමෙරිකානු ජනාධිපතිවරයාට ආරාධනා කළේය.

බීබීසී බ්‍රසීල අංශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ පරිසර අමාත්‍ය රිකාර්ඩෝ සාලෙස් වන සංරක්ෂණය වෙනුවෙන් ඉඩම් හිමියන්ට තෑගි දිය යුතු බවත් එම වියදම සංවර්ධිත රටවල් දැරිය යුතු බවත් පැවසීය.

මේ අතර, ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක උපදේශක ජනරාල් ඔගස්ටෝ හෙලේනෝ පෙරෙයිරා බ්ලූම්බර්ග් පුවත් ආයතනය සමග පසුගිය මස පැවසුවේ ඇමසන් වනය ලෝක උරුමයක් බව පැවසීම 'විකාරයක්' බවය.

"ඇමසන් අයිති වන්නේ බ්‍රසීලයට. එය බ්‍රසීල උරුමයක්. එහි කටයුතු සිදුවිය යුත්තේ බ්‍රසීලයේ ප්‍රතිලාභය වෙනුවෙන්."

ගොවීන්ගේ අදහස:

දශක ගණනාවක සිට ගොවි සංවිධාන පවසන්නේ වනාන්තරයේ රක්ෂිත කලාප සහ ආදිවාසී ජනතාව වෙනුවෙන් වෙන් කර ඇති කලාපවල පවතින නීති සංවර්ධනය වෙමින් පවතින රටකට රැකියා අවස්ථා ඇති කිරීමට නුසුදුසු බවය.

ගව පාලනයට සහ සොයා වගාවට ප්‍රසිද්ධ සන්ටාරේම් නගරයේ ගොවි සංවිධානයක ප්‍රධානියෙකු පැවසුවේ අනෙක් රටවල් කෘෂිකර්ම කටයුතු සඳහා මේ වන විටත් වනාන්තර එළි කර ඇති බවත් එම රටවල් දැන් බ්‍රසීලයට එසේ නොකරන ලෙස පවසන බවත්ය.

ඇමසන් කලාපයේ කෙරෙන නිෂ්පාදන මිල දී ගන්නා ඇමෙරිකාව සහ යුරෝපීය රටවල වනාන්තරය හා සම්බන්ධ නීති දැඩි නොවන බව පැවසූ වැන්ඩලේ වෙග්නර් පෙන්වා දුන්නේ යුරෝපයේ ඉතිරි වී තිබෙන්නේ "ඉතා සුළු වනාන්තර ගහනයක්" බවය.

"අපි ඇමසන් වනාන්තරය වර්ධනය කළ යුතුයි. මිලියන හතරකට වඩා ජනතාවක් එහි ජීවත් වෙනවා. ඔවුන්ට සංවර්ධනය අවශ්‍යයි. එය සෑම බ්‍රසීල ජාතිකයෙකු සතු ව්‍යවස්ථාමය අයිතියක්."