සංගීත චිකිත්සාව: ගීත ගැයීමෙන් රෝග සුව කිරීම

Mel B, Emma Bunton, Geri Halliwell and Melanie C of the Spice Girls perform in Dublin, Ireland. Image copyright Getty Images
Image caption සංගීත සංදර්ශන නැරඹීමෙන් ද සෞඛ්‍යයට හිතකර බව පර්යේෂකයෝ පවසති.

ගායනය මගින් අපගේ ආත්මය ඔසවා තැබිය හැකිය. එසේම, එමගින් අපගේ ශාරීරික සෞඛ්‍යයට ද ප්‍රතිලාභ හිමි වන බව පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. ගායනා කිරීම මගින් පෙනහලු ආබාධ සහිත පුද්ගලයින්ට ශ්වසන හැකියාව වැඩි වීමත් ඩිමෙන්ෂියා වැනි රෝගී තත්ත්වයන්ට සහනයක් ලැබීමත් සිදුවෙයි.

ගායනා කිරීම සහ සෞඛ්‍යය අතර පවතින සම්බන්ධතාවට අදාළ මානසික, ජීවවිද්‍යාත්මක සහ චර්යාත්මක යාන්ත්‍රණය පිළිබඳව තොරතුරු සෙවීම සඳහා පර්යේෂකයින් රැසක් පසුගිය දශක දෙක පුරා උත්සහ දැරූහ.

ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි මහාචාර්ය ඩේසි ෆැන්කෝර්ට් පවසන්නේ, ගායනා කරන අවස්ථාවලදී මිනිස් ශරීරය තුළ විපර්යාසයන් රැසක් සිදුවන බවය.

"ගායනයේ යෙදෙන විට මානසික පීඩනය ඇති කරන කෝටිසෝල් වැනි හෝමෝන අඩු වීමක් සිදුවෙන්න පුළුවන්. ඒ වගේ ම ගායනා කරන විට අපේ මනෝ භාවයන්ට (mood) බලපාන හෝමෝන මට්ටම්වල වෙනසක් සිදු වෙනවා."

Image copyright Getty Images

විවිධ බලපෑම්

ගායනය නිසා අත්වන සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණ සිදුකළ මහාචාර්ය ෆෑන්කෝට් පවසන්නේ, එහි විවිධ බලපෑම් ඇති බවය.

"ගායනය කියන්නේ බහුවිධ සෞඛ්‍ය ක්‍රියාකාරකමක්. ඒක අංග රැසකින් සමන්විතයි. ගායනය තුළ සංවේදී ප්‍රකාශයක් අන්තර්ගත වෙනවා. එය මානසික සෞඛ්‍යයට යහපත්. ගායනය නිසා සමාජමය අන්තර්ක්‍රියාවක් සිද්ධ වෙනවා. එය හුදෙකලා වෙලා කියන සිතුවිල්ල බැහැර කරනවා."

ඇය පවසන්නේ, සංගීතයට සවන් දීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකි බවය.

"සම්භාව්‍ය සංගීතය වේවා රොක් සංගීතය වේවා, ඕනෑ ම සංගීත සංදර්ශනයකට සවන් දෙන්නෙකුගේ මානසික පීඩනය අඩුවීම සිදුවන්නේ සමාන මට්ටමකින්. මෙය සන්දර්භමය සාධක වල ක්‍රියාකාරීත්වයක්."

එංගලන්තයේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය මගින් 2011 වසරේදී පළ කරන ලද පර්යේෂණ ලිපියක දැක්වෙන්නේ, "මානසික සහ ශාරීරික සෞඛ්‍ය ගැටලු පවතින පුද්ගලයින්ට ගායනයෙන් සහනයක් ලැබෙන," බවය.

Image copyright Getty Images

එම පර්යේෂකයින් සඳහන් කර ඇත්තේ, "බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවලට පවා සමූහ ගායනය තුළින් සැලකිය යුතු ප්‍රතිලාභ අත් කර ගත හැකි" බවය.

ගායනා කිරීමේදී මනසට සහ ශරීරයට ඇති වන ඍජු බලපෑම පිළිබඳව කරුණු හෙළි කිරීමට ජර්මනියේ වෙසෙන කණ්ඩායම් ගායිකාවක ලෙස කටයුතු කරන ඇනාබෙල් ඉදිරිපත් වූවාය.

"මම ගායනා කරද්දී මට දැනෙන්නේ ඒක භාවනාවක් වගේ. මම ඒ වේලාවට සංගීතය තුළ ගිලිලා ඉන්නේ. මට ලොකු සහනයක් දැනෙනවා ඒ වෙලාවට."

සෑම බ්‍රහස්පතින්දාවක ම ඇය පැය තුනක කාලයක ගායනය පුහුණු වෙයි.

"ගායනා කරන්න මුළු ශරීරය ම අවශ්‍යයි. මම ජිම් එකකට නොයාමට හේතුව ඒක," ඇය පැවසීය.

ඩිමෙන්ෂියා

ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයට කරන ප්‍රතිකාරයක් ලෙස සංගීතය, විශේෂයෙන් ම ගායනය භාවිත කරයි.

"අපි ගායනා කරන විට මොළයේ සමහර තැන්වලට වැඩිපුර රුධිරය ගලා යනවා. ඒ තැන් තමයි ඩිමෙන්ෂියා රෝගයට බලපාන තැන්. සංවේදීත්වයට බලපාන්නේ අන්න ඒ තැන්," වෛද්‍ය සයිමන් ඕෆර් පවසයි.

එංගලන්තයේ චෙල්ටන්හැම් ප්‍රදේශයේ සේවය කරන වෛද්‍යවරයෙකු පැවසුවේ, ගීතවලට සවන් දීමෙන් "ඩිමෙන්ෂියා රෝගීන් තුළ පිබිදීමක් ඇති වන අතර ඔවුන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු කර ගත හැකි," බවය.

Image copyright Getty Images

ප්‍රතිලාභ

එක්සත් රාජධානියේ පුණ්‍යායතනයක් වන මයින්ඩ් සෝන්ග් ආයතනය වැඩිහිටි නිවාසවලට නිරන්තරයෙන් සිය ගායන ශිල්පීන් යවන්නේ, ඒවායෙහි වෙසෙන වැඩිහිටියන් ගායනය සඳහා පෙළඹවීමේ අරමුණිනි.

"ඔබ සමූහයක් ලෙස ගායනා කරන විට හිමි වන ප්‍රතිලාභ ඉතා යහපත්. ගායනාවලට සහභාගි වීමෙන් පසු වැඩිහිටි පුද්ගලයින් ඊළඟ දවස වෙනකම් හොඳ මානසික තත්ත්වයක පසුවෙනවා කියලා ඒ වැඩිහිටි නිවාස පාලකයින් කියනවා," මයින්ඩ් සෝන්ග් ආයතනයේ සංගීත චිකිත්සක අංශයේ අධ්‍යක්ෂ මැගී ග්‍රේඩි පවසයි.

එම ආයතනය පෙනහලු ආබාධ නිසා හට ගැනෙන ඇදුම රෝගයේ සිට පෙනහලු පිළිකා දක්වා රෝගීන් වෙනුවෙන් ගායන වැඩමුළු පවත්වයි.

Image copyright Getty Images

"ගායන වැඩමුළු පහකට හෝ හයකට සහභාගි වුණාට පස්සේ සමහර රෝගීන්ගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ පැහැදිලි ලෙස යහපත් වුණා."

එසේ නම්, බරපතළ පෙනහලු ආබාධ සහිත රෝගීන් ගායනා කිරීම තුළින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කර ගැනීමට උත්සහ දැරීම පුදුමයට කරුණක් නොවේ.

කොලින් යනු දරුණු පෙනහලු රෝගයකින් පෙළෙන්නෙකි. එම රෝගී තත්ත්වය වැළඳුණු රෝගීන්ගෙන් අඩක් පමණ වසර තුනක කාලයක් තුළ ජීවිතක්ෂයට පත් වෙති.

රෝගයේ බරපතළකම කුමක් වුවද, ගායනා කිරීම ඔහුගේ තත්ත්වය යහපත් වීමට උපකාර වන බව ඔහු පවසයි.

"මම 16 දෙනෙකුගේ කණ්ඩායමක් සමගයි ගායනා කරන්නේ. ඒ මගින් මගේ හුස්ම ගැනීම පහසු වෙනවා. මම නිතර පෙනහලු ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂාවලදී සමහර තත්ත්වයන් යහපත් අතට හැරිලා තියෙන බව තහවුරු වුණා."

Image copyright Getty Images

හෝමෝන

ගායනය කිරීමේදී ඇති වන ශාරීරික ක්‍රියාකාරකම් නිසා ශරීරය තුළ එන්ඩෝෆින් (endorphins) නමැති හෝමෝනය මුදා හැරේ. මනස තුළ සතුට ඇති කිරීමට උපකාරී වන හෝමෝනය එයයි.

ගායනා කරන අවස්ථාවේදී අපට ගැඹුරු ලෙස ස්වසනය කිරීමට සිදුවන අතර, ඒ මගින් ශරීරය පුරා රුධිර සංසරණ වේගය වැඩි වෙයි. එන්ඩෝෆින් හෝමෝනය වැඩි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

අප සිනාසෙන විට සහ චොක්ලට් අනුභව කරන විට ඇති වන එන්ඩෝෆින් ධාරිතාවට එය සමානය.

අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, මිනිත්තු 40ක කාලයක් සමූහ ගායනයක නිරත වීමෙන් කෝටිසෝල් නමැති මානසික ආතතිය (stress) ඇති කරන හෝමෝනය ශීඝ්‍රයෙන් අඩු වන බවය.

සාමාන්‍යයෙන් අපගේ කෝටිසෝල් ප්‍රමාණය දිනයක අවසානයේදී අඩු වන අතර, ගායනයේ නිරත වීමෙන් එය අඩු වීමේ ශීඝ්‍රතාව වැඩි වෙයි.

තාක්ෂණ සහය

නිවසෙන් පිටතට යාමට අකමැති පුද්ගලයින්ට තාක්ෂණය ඔස්සේ ගායන කණ්ඩායම් සමග සම්බන්ධ වී ඒ හා සමාන වටපිටාවක් ඇතිකර ගත හැකිය.

මෙම සංකල්පය මගින් ලොව පුරා විසිරී සිටින ගායන ශිල්පීන් තාක්ෂණය හරහා ඒකරාශී කිරීමක් සිදුවෙයි.

ග්‍රැමී සම්මානලාභී සංගීත අධ්‍යක්ෂවරයෙකු වන එරික් වයිටාකර් එවැනි ගායන කණ්ඩායමක් පවත්වාගෙන යයි.

පර්යේෂකයින් පවසන්නේ, සමූහයක් ලෙස ගායනාවලට එක් වීමෙන් හුදෙකලාව අඩු වන අතර සමාජය සමග ගැටීමේ හැකියාව ද වර්ධනය වන බවය.

තවදුරටත් කියවන්න: