කාන්තා සිරුරේ අයිතිය අහිමි කරන යෝනි සුන්නත එංගලන්ත පාසල් විෂයමාලාවට

fgm,Female genital mutilation,යෝනි ,සුන්නත Image copyright Getty Images
Image caption බොහෝ අප්‍රිකානු රටවල යෝනි සුන්නත් කිරීම සිදු කෙරෙන්නේ සමාජ චාරිත්‍රයක් වශයෙනි.

ලබන අවුරුද්දේ (2020) එංගලන්තයේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය සඳහා අලුත් විෂය දහරාවක් හඳුන්වාදීමේ දී, ළමුන්ට ස්ත්‍රී ලිංග ඡේදනය (Female genital mutilation -FGM ) හෙවත් යෝනි සුන්නත පිළිබඳව ඉගැන්වීම ආරම්භ කළ යුතුව ඇතැයි සමාජ ක්‍රියාකාරිකයන් කණ්ඩායමක් පෙන්වා දෙති.

එංගලන්තයේ ද්විතීයික පාසල් ළමුන්ට 2020 සිට කාන්තා යෝනි සුන්නත (FGM ) පිළිබඳව ඉගැන්වීමට දැනටමත් නියමිතව ඇත.

එහෙත් දැනටමත් අනතුරුදායක තත්වයක පසුවෙන ඇතැම් ගැහැණු ළමුන් එම පාඩම් ඉගෙනීම අතින් ප්‍රමාදයක් සිදුවිය හැකි බවට විශේෂඥයෝ බිය පළ කරති.

ජාතික FGM මධ්‍යස්ථානයට අනුව, වයස අවුරුදු දහයට පෙර බොහෝ ගැහැණු දරුවන් පිටරටවල දී නිතරම යෝනි සුන්නතට ගොදුරු වෙති.

2003 වසරේ සිට එංගලන්තය,වේල්සය සහ උතුරු අයර්ලන්තයේත් 2005 වසරේ සිට ස්කොට්ලන්තයේත් එම ක්‍රියාව නීතියෙන් තහනම් කරනු ලැබ ඇති නමුත් එක්සත් රාජධානියේ වෙසෙන ඇතැම් ප්‍රජා කණ්ඩායම් දිගටම එම චාරිත්‍රයේ යෙදෙන බව බලධාරීන්ට හසු වී ඇත.

Image copyright Getty Images
Image caption අප්‍රිකානු ,ආසියානු සහ මැද පෙරදිග කෝටි විස්සක් දැරියන් කාන්තාවන් යෝනි සුන්නත් කිරීමට ගොදුරු වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය ඇස්තමේන්තු කරයි.

අවුරුදු තුනක දැරියකටත්

එංගලන්තයේ වෙසෙන සංක්‍රමණික පවුලක තුන් හැවිරිදි දැරියක් ඇයගේ මව විසින් යෝනි සුන්නතට භාජනය කරනු ලැබීමෙන් අනතුරුව, එම කාන්තාවට එරෙහිව මේ වසර මුලදී නඩු පවරන ලද අතර, එම කාන්තාව අදාළ අපරාධයට වරදකාරිය යයි අධිකරණය තීන්දු කළේය.

බර්නාඩෝ ළමා ශුභ සාධක ආයතනය සහ පළාත් පාලන සම්මේලනය හවුලේ ක්‍රියාත්මක කරන ජාතික FGM මධ්‍යස්ථානයේ ඉලක්කය 2030 වන විට යෝනි සුන්නත සහමුලින්ම සමාජයෙන් තුරන් කර දැමීමය.

ප්‍රජාව අතර දක්නට ලැබෙන විවිධ ජන සංයුතීන් නොතකා හරිමින්, තම සිරුරේ අයිතිය තමන් සතු බව සහ ඊට හානි කිරීමේ අයිතියක් වෙනත් කිසිවකුට නැති බව රට පුරාම ළමුන්ට පොදුවේ ඉගැන්වීම ඉතා ප්‍රයෝජනවත් බව ජාතික FGM මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

ඒ අනුව ලබන අවුරුද්දේ අලුත් සබඳතා සහ නව සෞඛ්‍යය අධ්‍යාපන විෂය දහරාව ක්‍රියාවට නංවන විට ළමුන්ට යෝනි සුන්නත (FGM ) පිළිබඳව ඉගැන්වීම ආරම්භ කරන මෙන් ජාතික FGM මධ්‍යස්ථානය ප්‍රාථමික පාසල්වලින් ඉල්ලීමක් කරයි.

"ප්‍රාථමික පාසල්වල මේ මාතෘකාව පිළිබඳව ළමුන්ට ඉගැන්වීමේ දී ඇතැම් ව්‍යතිරේක ඉදිරිපත් විය හැකි නමුත්,වයසට ඔබින මට්ටමින් ළමුන් කේන්ද්‍ර කර ගනිමින් එම කාර්යය සිදුකළ හැකි බව අපට පෙනී ගොස් තිබෙනවා" ජාතික FGM මධ්‍යස්ථානයේ ප්‍රධානී ලීතන් බර්තොලමිව් ප්‍රකාශ කළාය.

"යෝනි සුන්නත් කරනු ලැබීම ගැන ප්‍රාථමික පාසල්වල ළමුන්ට ඉගැන්වීම මගින් එම කාරණය ගැන කතා කරන්නට අපි ඊළඟ පරම්පරාවට ශක්තියක් ලබා දෙනවා"

"ඒත් මේක ඊළඟ පරපුර අවදි කිරීමක් විතරක් නොවෙයි.තමන් අයත් ප්‍රජා කණ්ඩායම,තම ලිංගිකත්වය සහ වෘත්තීය නොතකා යමින් කවුරුත් මේ සංවාදයට එකතු වෙන්න අවශ්‍යයි.එහෙම වුනොත් යෝනි සුන්නත සැඟවුන අපරාධයක් විධියට කරන්න බැරි තත්වයක් උදා වෙනවා" ජාතික FGM මධ්‍යස්ථානයේ ප්‍රධානී ලීතන් බර්තොලමිව් වැඩිදුරටත් පවසන්නීය.

අදාළ පුවතක්;

වත්මන් ලෝකයේ කෝටි විස්සක් පමණ දැරියන් සහ කාන්තාවන් යම්කිසි ආකාරයක යෝනි සුන්නතකට ගොදුරු කරනු ලැබ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි.

අප්‍රිකානු සහ මැද පෙරදිග රටවල් තිහක පමණ එම ක්‍රියාව සිදුවෙමින් ඇතැයි අදහස් කරන ලද නමුත්, ආසියානු හා ලතින් ඇමෙරිකානු රටවලත් එසේම බටහිර යුරෝපය,උතුරු ඇමෙරිකාව,ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ආදී රටවලට වෙනත් රටවලින් සංක්‍රමණය වී සිටින ප්‍රජා සමූහයන් අතරත් එය සිදුවෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Image caption බිෂාරා යෝනි සුන්නතට ලක් කරනු ලැබ තිබෙන්නේ තවත් ගැහැණු දරුවන් හතර දෙනකු සමඟිනි.

යෝනි සුන්නත කාන්තාවන්ගේ පසුකාලීන ජීවිතයේ දී ශාරීරික සහ මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇති කරන බව කෙන්යාවේ බොරානා(Borana) ප්‍රජාවට අයත් බිෂාරා ෂේක් හමෝ පවසන්නීය.

"මගේ යෝනි සුන්නත සිද්ධ කරන කොට මට වයස අවුරුදු එකොළහයි.මගේ ආත්තම්මා මට කිව්වා- ඒක හැම ගැහැණු ළමයෙක්ම සිදුකළ යුතුය -ඒකෙන් පවිත්‍රතාව ඇති කෙරෙනවය කියල"බිෂාරා සඳහන් කළාය.|

බිෂාරා යෝනි සුන්නතට ලක් කරනු ලැබ තිබෙන්නේ තවත් ගැහැණු දරුවන් හතර දෙනකු සමඟිනි.

"මගේ ඇස්දෙක රෙදිකඩකින් බැන්දා. ඊළඟට ඒ කාන්තාව මගේ අත්දෙක පස්සට තියල ගැට ගැහුවා.මගේ කකුල් දෙක පළල් කරලා මගේ යෝනියේ බාහිර අධර (තොල්) කපල දැම්මා"

"මිනිත්තු කීපයකට පස්සේ මට දැනුනේ දැඩි වේදනාවක්.මම කෑ ගැහුවා.වැලපුනා.ඒත් කවුරුවත් මාව ගණන් ගත්තේ නැහැ.වේදනා නාශකයක් වුණේ අපේ සමාජයේ පාවිච්චි කරන සාම්ප්‍රදායික අත්බේතක් විතරයි.පොළොවේ වළක් ඇතුළෙයි බෙහෙත් තියල තිබුණේ. ඔවුන් එලිච්චියකගේ වගේ මගේ කකුල් ගැටගහල - අර බෙහෙත් අරන් මගේ තුවාලේ ගෑවා.කෝ අනිත් එක්කෙනා ? කෝ අනිත් එක්කෙනා ? කියල කෑ ගසමින් ඊළඟ කෙල්ල ගත්තා"

එහෙත් එම ක්‍රියාව නිසා පසු කාලයෙහි මුහුණ දීමට සිදු වෙන මුත්‍රාශයේ ගැටලු, නිතර සිදුවෙන ආසාදනය වීම් හෝ රටාවකින් තොරව සිදු වෙන මාසික ඔසප්වීම් ආදියට තමා ගොදුරු වෙන බවක් එම ළමා වියේදී බිෂාරාට නොතේරුණි.

ඇයට පසු කාලයෙහි දරුවන් ප්‍රසුත කිරීමට සිදුවුණේ සිසේරියන් සැත්කම් මගින් පමණි.

ඇය දැන් යෝනි සුන්නතට එරෙහි ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියකි.

Image copyright Getty Images
Image caption යෝනි සුන්නතට එරෙහි කෙන්යා කාන්තා හඬ

හිබෝ වඩේරේ (Hibo Wadere) ගේ කතාව

හිබෝ වඩේරේ(Hibo Wadere) යෝනි සුන්නතට (FGM) ලක් කරන විය ඇයට වයස අවුරුදු හයක් පමණකි. ඇයගේ කතාව අසන්නන් බලවත් කම්පාවකට පත් වීමට හේතුවිය හැකිය.

අදාළ දිනයේ ඇය වෙනුවෙන් විශේෂ සාදයක් පිළියෙල කර ඇති බවක් තමාට දැනුම් දුන් බව හිබෝ වඩේරේ පවසන්නීය.

නියමිත දවසේ තමා මුහුණ දුන් නපුරු අත්දැකීම ඇය මෙසේ විස්තර කළාය.

"හාන්සි වෙයන් !කකුල් දෙපැත්තට කරපන්!දැන් උඹේ යෝනිය කප්පාදු කරනවා" එම නියෝගයට අවනතවීම හැර ඇයට වෙනත් තෝරා ගැනීමක් නොවීය.

"මම ලේ දැක්කා.අතේ ලේ ගෑවුණ පිහියක් ඒ ගෑනිගේ අතේ තිබුණා "

"ඒ කාන්තාව කප්පාදුව කරගෙන ගියේ කෑ ගසන ශබ්ද ඇයට සාමාන්‍ය වූ දේවල් ගානටයි"

"එය ළමයකු මුහුණ දෙන අමානුෂිකම අත්දැකීමක්" හිබෝ වඩේරේ ළමා වියේ නපුරු අත්දැකීම සිහිපත් කළාය.

"ඒ අපරාධය මුළු ජීවිත කාලයටම බලපානවා. ඒක යාවජීව දඬුවමක්"

Image caption යෝනි සුන්නතට එරෙහිව ලොව පුරාම උද්ඝෝෂණ ව්‍යාපාර පෙරට යමින් පවතී

සුන්නත සිදු කෙරෙන ආකාරය

යෝනි සුන්නත(FGM ) යනු කාන්තාවකගේ ප්‍රජනනනේන්ද්‍රියෙහි කෙරෙන කප්පාදුවකි.

එහිදී යෝනි මුඛයට පිටතින් පිහිටි අධර (තොල්) සහ භගමනිය ඉවත් කෙරේ. එවැනි සුන්නත් කිරීම් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ "කාන්තා ප්‍රජනන ඉන්ද්‍රියයන්ට තුවාල සිදු කෙරෙන වෛද්‍යමය උවමනාවකින් තොරව සිදු කෙරෙන්නක්" ලෙසය.

යෝනි සුන්නත සිදු කිරීමේ ආකාරයන් හතරක් පිළිබඳව සඳහන් වේ.

  • භගමණිය කපා දැමීම: එමගින් සිදු කෙරෙන්නේ භගමණියේ සංවේදී කොටස් සහ අවට චර්මය අර්ධ වශයෙන් හෝ සහමුලින්ම කපා ඉවත් කිරීමය.
  • විච්ඡේදනය: භගමණිය සහමුලින්ම හෝ අර්ධ වශයෙන් කපා ඉවත් කිරීමත් සමඟ බාහිර අධර (තොල්) සිඳ දැමීම හෝ යෝනිය ආශ්‍රිත අභ්‍යන්තර චර්ම රටා සිඳ දැමීම.
  • ලිංගාවරණය: ලිංගිකව හැසිරීම වලක්වා ලීමට භගමණිය සිඳ යෝනි අධර (තොල්) මසා දැමීම.මෙය නිරන්තරයෙන් ආසාදනයවීම් ආදියට හේතු වෙයි.
  • භගමණිය හෝ යෝනි ප්‍රදේශය පිළිස්සීම, ඡේදනය, සීරීම සහ සිදුරු කිරීම ආදී වේදනාකාරී අංග එම ක්‍රමයට ඇතුළත් වෙයි.

යෝනි සුන්නත වේදනාත්මක ව්‍යසනයක් වන අතර, එමගින් කාන්තාවන්ගේ සබඳතාවන්ට හානි කරන බවත් ඊජිප්තුවේ සිනමාවේදිනියක් සහ 'බ්ලොග්' මාධ්‍යවේදිනියක් වන ඕම්නියා ඊබ්‍රාහිම් පවසයි.

"යෝනි සුන්නතට ලක් වෙච්ච කෙනෙක් අයිස් කැටයකට සමානයි . කිසිම හැඟීමක් දැනෙන්නේ නැහැ.ආදරය කරන්නේ නැහැ.ආශාවක් නැහැ"

මේ ක්‍රියාවට ලක්වීමෙන් හටගත් මානසික ආතතියෙන් ගොඩ ඒමට තමා සිය වැඩිහිටි කාලය පුරාම අරගලයක නිරත වූ බවත් ඇය සඳහන් කරන්නීය.

"ශරීරය ලිංගිකයි-ලිංගික සබඳතා පවක්" කියන පාඩම අපේ ප්‍රජාව අපට ඉගැන්නුවා.මගේ ශරීරය මටම කොඩිවිනයක් වුණා"

පාඩම් මාලාව ගැන උපදෙස්

යෝනි සුන්නත පාසල් විෂය මාලාවට හඳුන්වා දීම සිදු කළ යුතු ආකාරය ,දෙමව්පියන් ඊට හවුල්කර ගන්නේ කෙසේද යන්න සහ සිසුන් සමඟ සාකච්ඡා කිරීමේදී ඔවුන්ගේ උදව් ලබා ගැනීමට අදාළ උපදෙස් ජාතික FGM මධ්‍යස්ථානය මගින් ප්‍රාථමික පාසල් ගුරුවරුන් සඳහා නිර්මාණය කර ඇත.

"යෝනි සුන්නත යනු ඊට ගොදුරුකර ගනු ලබන දැරියන් මෙන්ම ඔවුන්ගේ පවුල් අසීමිත පීඩාවකට පත් කෙරෙන පිළිකුල් සහගත අපරාධයක් ය යන්න ළමුන්ට අවබෝධ කර දීම ඉතා වැදගත් කරුණක්" වන බව එංගලන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

"යෝනි සුන්නත ශාරීරික වශයෙන් වගේම සහ සංවේදීභාවය අතිනුත් කාන්තාවන්ට හානි කරන සාපරාධී වරදක් වන බව නව සබඳතා සහ ලිංගික අධ්‍යාපන විෂය දහරාවේ කොටසක් හැටියට 2020 සැප්තැම්බර් මාසයේ පටන් උගන්වනවා"

අප්‍රිකාවට FGM විරෝධී ආධාර පැකේජයක්

බොහෝ අප්‍රිකානු රටවල යෝනි සුන්නත් කිරීම සිදු කෙරෙන්නේ සමාජ චාරිත්‍රයක් වශයෙනි.

අප්‍රිකානු, මැද පෙරදිග සහ ඇතැම් ආසියානු රටවලත් සිදු කෙරෙන එම අපරාධයට එක වසරකට තිස් ලක්‍ෂයක් පමණ දැරියන් ගොදුරු වෙතැයි ඇස්තමේන්තු කර ඇත.

අප්‍රිකාවේ යෝනි සුන්නත නතර කිරීමට දිරි දීමක් වශයෙන් ඩොලර් දශ ලක්ෂ හැට හතරක (64) මූල්‍යාධාර සැපයීමට බ්‍රිතාන්‍ය රජය එකඟ වී තිබේ.

එය 2030 වනවිට යෝනි සුන්නත ලෝකයෙන් උපුටා දැමීම සඳහා යෙදවීමට එක් රටක් විසින් සපයනු ලබන විශාලතම ආයෝජනය බව බ්‍රිතාන්‍ය රජය පවසයි.

කියවන්න;