චන්ද්‍රයාන් 2: වසර 11කට පසු ඉන්දියාව හඳට යන හේතුව

Image copyright iSRO
Image caption චන්ද්‍රයාන් - 2 සාර්ථකව මුදා හැරුණේ, තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම යානය මුදා හැරීම අත්හිටුවා සතියකට පසුවය

ඉන්දියාව සඳ තරණය කිරීමේ දෙවන උත්සහය සඳුදා (ජූලි 22) සාර්ථකව ආරම්භ කළේය.

සඳුදා සඳ වෙත යවන ලද චන්ද්‍රයාන් - 2 යානය මෙතෙක් සාර්ථකව ගවේෂණය නොකෙරුණු සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැස්වීමට උත්සහ දරයි.

මෙම මෙහෙයුම මගින් සඳකම්පන (moonquakes) අධ්‍යයනය කරමින් සඳ මතුපිට ඇති ජලය සහ ඛණිජ ගවේෂණය කිරීමට නියමිතය.

2008 වසරේදී මුදා හළ, ඉන්දියාවේ පළමු සඳ තරණ යානය වූ චන්ද්‍රයාන් - 1 සඳ මතට ගොඩ බැස්වීමට නොහැකි විය. එහෙත්, රේඩාර් මගින් සඳ මතුපිට ජලය සෙවීමට අදාළව පළමු සහ වඩාත් ම පැහැදිලි දත්ත ලබා ගැනීමට එහිදී හැකියාව ලැබිණි.

දෙවන උත්සහය

සිය දෙවන සඳ තරණය වෙනුවෙන් අභ්‍යවකාශගත කෙරුණු චන්ද්‍රයාන් - 2 යානය සාර්ථකව ඊයේ මුදා හැරුණේ, තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම යානය මුදා හැරීම අත්හිටුවා සතියකට පසුවය.

චන්ද්‍රයාන් - 2 (Chandrayaan-2) යානය ඉන්දියාවේ ශ්‍රීහරිකෝතා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මුදා හරිනු ලැබුවේ, සඳුදා (ජූලි 22) ඉන්දීය වේලාවෙන් පස්වරු 2.43ටය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් වැය කරමින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මතට ගොඩ බසින පළමු යානය වනු ඇතැයි ඉන්දියාව විශ්වාස කරයි.

මෙම මෙහෙයුම "සම්පූර්ණයෙන් ම දේශීය" ක්‍රියාන්විතයක් බව පවසමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අගය කර තිබිණි.

යානය මුදා හරින අවස්ථාව රූපවාහිනිය සහ අභ්‍යවකාශ ඒජන්සියේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සජීවීව විකාශය කෙරිණි.

එය ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (Indian Space Research Organisation - Isro) විසින් කරන ලද සංකීර්ණතම මෙහෙයුම විය.

Image copyright iSRO

"මේක ඉන්දියාව සඳ තරණය කිරීමේ ඓතිහාසික ගමනක ආරම්භයයි," ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානී කේ. සිවන් මෙහෙයුම අවසානයේ පැවති දේශනයකදී පැවසීය.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පැවසූ පරිදි, "තාක්ෂණික දෝෂයක් හේතුවෙන්" පසුගිය ජූලි 15 වන දා යානය මුදා හැරීමට මිනිත්තු 56ක් තිබියදී මෙහෙයුම අත්හිටුවන ලදී. ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ, එන්ජිමෙහි හීලියම් වායු පිරවුමක සිදුව තිබූ කාන්දුවක් එම දෝෂයට හේතු වූ බවය.

පසුව විද්‍යාඥයින් රොකට්ටුවෙන් ඉන්ධන ඉවත් කර දෝෂය නිවැරදි කර තිබිණි.

"හදන්න තිබුණේ සුළු දෙයක්. ඒත් ඒක නිසා මේ මෙහෙයුම සම්පූර්ණයෙන් අසාර්ථක වෙන්න ඉඩ තිබුණා," ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශයෙක් පැවසීය.

චන්ද්‍රයාන් - 2 ක්‍රියාන්විතය

ඉන්දියාව මෙම මෙහෙයුම සඳහා යොදාගෙන ඇත්තේ, ඔවුන් සතු වඩාත් ම ප්‍රබල රොකට්ටුව වන GSLV Mk-III නමැති රොකට්ටුවය. එය ටොන් 640ක බරින් යුතු වන අතර මීටර් 44ක් උසැති එය මහල් 14කින් යුත් ගොඩනැගිල්ලක් තරම් උසින් යුතුය.

එමගින් රැගෙන යන ලද අභ්‍යවකාශ යානය කිලෝග්‍රෑම් 2.379ක බරින් යුක්ත වන අතර එය කැමරාවක්, ගොඩබැස්වීමේ මෙවලමක් සහ චලනය වීමේ මෙවලමකින් සමන්විතය.

එහි ඇති කැමරාවේ ආයු කාලය වසරක් වන එමගින් සඳ මතුපිට ඡායාරූප ගැනීම සිදු කරයි.

සඳ ගමනේ දුර

මෙම ගමනෙහි දුර කිලෝමීටර් 384000කි. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය අපේක්ෂා කරනුයේ, සැප්තැම්බර් 6 හෝ 7 වන දා යානය සඳ මතට ගොඩ බසිනු ඇති බවටය.

සති 6ක කාලයක් ගන්නා මෙම මෙහෙයුම සඳහා ගත වන කාලය මීට වසර 50කට පෙර පළමු වරට සඳ මත මිනිසෙකු ගොඩ බසිනා ලද ඇපලෝ 11 මෙහෙයුම සඳ වෙත ළඟා වීමට ගත කළ කාලයට වඩා වැඩිය.

ඉන්ධන භාවිතය අඩු කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම සිදු කරනු ලබන්නේ, පෘථීවියෙහි ගුරුත්වාකර්ෂණයේ වාසිය ද භාවිත කරමිනි.

මෙහෙයුම කළ කණ්ඩායම

මෙම මෙහෙයුම සඳහා ආසන්න වශයෙන් විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් 1000ක් පමණ දායක වූහ. එහෙත්, පළමු වරට මෙම අන්තර් ග්‍රහලෝක ගවේෂණ මෙහෙයුම මෙහෙයවීම කාන්තාවන් වෙත පවරා තිබිණි.

මෙම ඉන්දීය සඳ තරණය සඳහා නායකත්වය සැපයූවේ, කාන්තාවන් දෙදෙනෙකි. ඒ, වැඩසටහන් අධ්‍යක්ෂිකා මුතායා වනිතා සහ රිතූ කරිධාල් යන දෙදෙනාය.

තවදුරටත් කියවන්න.