මරණ දඬුවම නිසා ඇමරිකාවත් උණුසුම්: පස් දෙනෙකු මරා දැමීමට නියෝග

Image copyright Getty Images

වසර 16ක විරාමයකට පසු මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන සහ ප්‍රබල ඩිමොක්‍රටික් පක්ෂ දේශපාලනඥයින් දැඩි විවේචන එල්ල කර තිබේ.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට තරග කරන දේශපාලනඥයින් කිහිප දෙනෙක් ඉල්ලා ඇත්තේ, මරණ දඬුවම අහෝසි කරන ලෙසටය.

ඇමෙරිකාවේ නීතිපති විලියම් බා(ර්) බ්‍රහස්පතින්දා (ජූලි 25) පැවසුවේ, රැඳවියන් පස් දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවය.

එම රැඳවියන්, ළමුන් හෝ වයස්ගත පුද්ගලයින් ඝාතනය කිරීම් හෝ දූෂණය කිරීම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අය බව නීතිපතිවරයා පැවසීය.

අදාළ රැඳවියන්ට 2019 දෙසැම්බර් මස සහ 2020 ජනවාරි මස මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

"නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ දරුණුතම අපරාධකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න උත්සහ කරනවා," නීතිපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නීතිපතිවරයාගේ නිවේදනය මගින් ෆෙඩරල් රජයේ මරණ දඬුවම සම්බන්ධයෙන් තාවකාලිකව පනවා තිබූ තහනම අහෝසි වී තිබේ.

අවසන් වරට ෆෙඩරල් රජයේ මරණ දඬුවමක් ක්‍රියාත්මක වූයේ 2003 වසරේදීය. ඒ, 19 හැවිරිදි සොල්දාදුවෙකු වූ ට්‍රේසී ජෝයි මැක්බ්‍රයිඩ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ 53 හැවිරිදි යුද්ධ සෙබළෙකු වූ ලුවිස් ජෝන්ස්ට එරෙහිවය.

ප්‍රතිචාර

Image copyright Reuters
Image caption කමලා හැරිස්

ඇමෙරිකාවේ මරණ දඬුවම පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයේ රොබ්ර්ට් ඩන්හැම් පැවසුවේ, මෙම තීරණය හදිසියේ ගත්තක් නොවන බවය.

"ජනාධිපති ට්‍රම්ප්, මරණ දඬුවමට දැඩි ලෙස සහය පළ කළ කෙනෙක්. මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ මනුෂ්‍ය ඝාතනවලට අදාළව එය ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනා කිහිපයක් ම ඉදිරිපත් කරලා තියෙනවා," ඔහු සඳහන් කළේය.

"ඒ නිසා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පුදුම වෙන්න දෙයක් නැහැ. මට හිතෙන විදිහට ලොකු ම පුදුමය තමයි ඒක ක්‍රියාත්මක කරන්න මෙච්චර කාලයක් ගිය එක."

මේ අතර, 'ඇමෙරිකන් සිවිල් ලිබර්ටීස් යුනියන්' නමැති සංවිධානය පවසා ඇත්තේ, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා නුදුරු දිනයන් යෙදීම තුළින් "අදාළ නඩු විභාගවල සාධාරණභාවය පිළිබඳව බරපතළ ප්‍රශ්න පැන නගින," බවය.

"අදාළ නඩු විභාග සම්බන්ධයෙන් සලකා බැලීමටත් විශ්ලේෂණය කිරීමටත් අපට කාලයක් අවශ්‍යයි," එම සංවිධානයේ කැසී ස්ටබ්ස් පැවසීය.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට තරග කරන කමලා හැරිස්, මරණ දඬුවම හැඳින්වූයේ, "සදාචාරයට පටහැනි සහ බරපතළ දෝෂ සහිත" ක්‍රියාවක් ලෙසය. තවත් අපේක්ෂකයෙකු වන බර්නී සැන්ඩර්ස් පැවසුවේ, තමන් බලයට පත්වුවහොත් මරණ දඬුවම අහෝසි කරන බවය.

මරණ දඬුවමට නියම වී ඇති පුද්ගලයින් තෝරාගෙන ඇත්තේ, "ජාතිය සහ භූගෝලීය" කරුණු මත බවට තවත් ඩිමොක්‍රටික් අපේක්ෂකයෙකු වන පීට් බටිගීග් චෝදනා කළේය.

ඇමෙරිකා රජය මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ කාට ද?

  • ඩැනියල් ලුවිස් ලී - සුදු ජාතික අධිපතිවාදියෙකු ලෙස ප්‍රකට මොහු ආකන්සාස්හිදී තිදෙනෙකුගෙන් යුත් පවුලක් ඝාතනය කළ බවට වරදකරු වූවෙකි.
  • ලෙස්මන්ඩ් මිෂෙල් - මිත්තණියක සහ ඇයගේ මිණිපිරිය ඝාතනය කළ බවට ඇරිසෝනාහිදී වරදකරු වූවෙකි.
  • වෙස්ලි පර්කි - බාලවයස්කාර දැරියක දූෂණය කර ඝාතනය කළ බවට වැරදිකරු වූවෙකි.
  • ඇල්ෆ්‍රඩ් බෝජොයිස් - ඔහුගේ ම දියණිය ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කළ බවට වරදකරු වූවෙකි.
  • ඩස්ටින් ලී හොන්කන් - පුද්ගලයින් පස් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වූවෙකි.

ඇමෙරිකාවේ මරණීය දණ්ඩනය

ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක මරණීය දණ්ඩනය නීත්‍යනුකූල දඬුවමක් ලෙස ක්‍රියාත්මක වේ.

1976 සිටි මරණ දඬුවම වැඩියෙන් ම ක්‍රියාත්මක කර ඇති ප්‍රාන්තය වන්නේ, ටෙක්සාස් ය (561). ඊට අමතරව වර්ජිනියා (113) සහ ඔක්ලහෝමා (112) දෙවන සහ තෙවන ස්ථානයේ පසුවෙයි.

ඇමෙරිකාවේ මේ වන විට මරණීය දණ්ඩනයට ලක් කර සිටින රැඳවියන් සංඛ්‍යාව 2673 දෙනෙකි.

මරණීය දඬුවමට ලක්ව සිටින වැඩි ම පිරිස කැලිෆෝනියා ජනපදයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 733කි. එහෙත්, 1976 වසරේ සිට එහි මරණ දඬුවමට ලක් කර ඇත්තේ, 13 දෙනෙකු පමණි.

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම

Image copyright Getty Images

මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශයක් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ද ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය විය.

කෙසේ වෙතත්, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ තීරණය සම්බන්ධයෙන් රට තුළ දැවැන්ත විරෝධයක් පළ වූ අතර පසුව එම තීරණය වළක්වාලමින් ජූලි මස මුලදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබන ඔක්තෝබර් මස 30 වන දා තෙක් බල පැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝග නිකුත් කළේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සලකා බැලීමෙන් අනතුරුවය.

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් එම තීන්දුව සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසුවේ, මේ අනුව ඔක්තෝබර් මස 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාව තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බවය.

මෙම තීන්දුවට අභියෝග කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නොමැති බව ද ඔහු කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීම සඳහා වන නිර්දේශයට තමන් අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ පසුගිය (ජූනි 26) වැනිදා මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීය.

Image copyright MAITHRIPALA SIRISENA/FACEBOOK

ජනාධිපතිවරයාගේ තීරණයට අගමැති රනිල් වික්‍රමසිංහ සිය විරෝධය පළ කළ අතර ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ සියල්ල ඊට විරුද්ධ බවය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද මරණ දණ්ඩනය ලබාදීමේ තීරණයට තමන් එකඟ නොවන බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ විසින්, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණයට එරෙහිව පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙන අතර, එම යෝජනාව යොදාගෙන මරණ දණ්ඩනය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ වී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගය ගැන මානව හිමිකම් සංවිධාන සිය සතුට පළකර තිබේ. ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ තාවකාලික සහනය ස්ථිර සහනයක් බවට පත්කළ යුතු බවය.

තවදුරටත් කියවන්න.