මැද පෙරදිග නොසංසුන්: පලස්තීනය ඊශ්‍රායල් ගිවිසුම් අත් හරියි

Image copyright EPA
Image caption ගොඩනැගිලි විනාශ කර දමනු ලැබීමෙන් පුද්ගලයන් 17 දෙනකුට උන්හිටිතැන් අහිමි වු අතර, ඊශ්‍රායලයේ ක්‍රියාව ජාත්‍යන්තර උදහසට ලක්විය

පලස්තීන පාලනය ජෙරුසලම සීමාවේ ඉදිකළ ගොඩනැගිලි අනවසර ඒවා යයි පවසමින් ඊශ්‍රායලය විසින් එම ගොඩනැගිලි පොළොවට සමතලා කොට සහමුලින්ම විනාශ කර දමනු ලැබීම මැද පෙරදිග යළිත් ව්‍යාකූල තත්වයක් මතු වීමට හේතු වී ඇත.

ඊශ්‍රායලය විසින් එකී ගොඩනැගිලි විනාශ කර දමනු ලැබීමෙන් අනතුරුව අදහස් දැක්වූ ජනාධිපති මහ්මුද් අබ්බාස්, පලස්තීන පාලනය ඊශ්‍රායලයත් සමඟ කලින් අත්සන් කරන ලද ගිවිසුම් සමඟ තමන්ගේ කිසිදු බැඳීමක් තවදුරටත් නැතැයි කියා සිටියේය.

මෙයින් අවුරුදු විසි පහකට පෙර පලස්තීනය සහ ඊශ්‍රායලය අතර අත්සන් කොට ඇති ගිවිසුම් මගින් ආරක්ෂක සහයෝගීතාව ඇතුළු ක්‍ෂේත්‍ර රාශියක් ආවරණය වෙයි.

එම ගිවිසුම් සමඟ තවදුරටත් බැඳීමක් නැති බවට පලස්තීන පාලනාධිකාරය කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් ප්‍රතිචාරය පළ කර නොමැත.

සිය තීරණය ක්‍රියාවට නංවනු ලබන්නේ කෙසේද යන්න තීන්දු කරනු ලැබීම සඳහා කමිටුවක් පත් කරනු ඇතැයි ද පලස්තීන නායකයා පවසයි.

'සුර් බහේර්' (Sur Baher) කලාපයේ 'වාඩි හුම්මුස්' (Wadi Hummus) නම් භූමිභාගයේ ඉදිකර තිබුණ ගොඩනැගිලි ඊශ්‍රායලය විසින් පසුගිය දිනවල පොළොවට සමතලා කර දමනු ලැබීම දෙපාර්ශ්වය අතර ගැටුම්කාරී තත්වයක් මතුවීමට මුල්විය.

Image caption යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් පලස්තීන ගොඩනැගිලි විනාශ කෙරුණ ආකාරය

විනාශ කරන ලද එම පලස්තීන ගොඩනැගිලි බටහිර ඉවුරේ සිය ආරක්ෂක බාධකයට ඉතා සමීපය යන්න ඊශ්‍රායල් මහාධිකරණයේ තීන්දුව විය.

අනතුරුව එම ගොඩනැගිලි විනාශ කර දමනු ලැබීමෙන් පුද්ගලයන් 17 දෙනකුට උන්හිටිතැන් අහිමි වු අතර, ඊශ්‍රායලයේ ක්‍රියාව ජාත්‍යන්තර විරෝධයකට ද හේතුවිය.

ඊශ්‍රායලයේ අලුත්ම පියවර සම්බන්ධයෙන් චෝදනා කරන පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස්, පළමුව ගිවිසුම් උල්ලංඝනය කොට ගැටුම්කාරී තත්වයක් ඇති කිරීම පිළිබඳවත් ඊශ්‍රායලයට දෝෂාරෝපණය කරයි.

පලස්තීනයේ 'වාෆා'(Wafa) නිල පුවත් සේවය ජනාධිපති අබ්බාස් උපුටා දක්වමින් මෙසේ සඳහන් කරයි.

"අත්සන් කරනු ලැබ ඇති සියලු ගිවිසුම් සහ ඔවුන්ගේ බැඳීම් බලහත්කාරයෙන් භූමිය අල්ලා ගෙන සිටින (ඊශ්‍රායල්) බල අධිකාරිය විසින් බැහැර කරනු ලැබීමක් දක්නට ලැබෙන විට ඊශ්‍රායල් පාර්ශ්වයත් සමඟ ගිවිසුම්ගත එකඟතාවන්ට අනුව ක්‍රියා කිරීම නතර කරනු ලැබීමේ නායකත්ව තීන්දුව අපි ප්‍රකාශයට පත් කරමු"

එහෙත් එම තීන්දුව ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාත්මක කිරීමක් අදහස් කෙරෙන්නේද යන්න හෝ පලස්තීනය විසින් ඊශ්‍රායල් රාජ්‍යය පිලිගන්නා ලද ගිවිසුම් කෙරෙහිත් එය බලපාන්නේද යන්න පැහැදලි නැත.

1993 ඔස්ලෝ සාම ගිවිසුම අනුව පලස්තීනය ඊශ්‍රායල් රාජ්‍යයක් පිළිගැනීමට එකඟ විය.

Image caption තවත් ගොඩනැගිල්ලක් පොළොවට සමතලා කෙරුණ අවස්ථාවක්

ඊශ්‍රායලය විසින් අල්ලා ගන්නා ලද බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම සහ ගාසා තීරයේ පලස්තීන ස්වයංපාලනයක් සඳහා පදනම වැටුනේත් ඔස්ලෝ ගිවිසුම අනුවය.

ඊශ්‍රායලයත් සමඟ අත්සන් කර තිබෙන පැරණි ගිවිසුම් අවලංගු කරන බවට ජනාධිපති අබ්බාස් මින් පෙරත් තර්ජනය කර ඇතත්, කිසිදාක ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවුණි.

දෙපාර්ශ්වය අතර බල පැවැත්වෙන ගිවිසුම් බැහැර කරනු ලැබීම නිල නොවන පලස්තීන ආණ්ඩුව වන පලස්තීන පාලන අධිකාරියේ කඩා වැටීමට හේතුවනු ඇතැයි ඊශ්‍රායලයත් මින්පෙර අනතුරු අඟවා ඇත.

Image caption පලස්තීන-ඊශ්‍රායෙල් අර්බුදයට පසුබිම් භූමිය

කියවන්න;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර