ට්‍රම්ප්ගේ තාප්පයට දැමූ 'තොප්පිය' ගැලවෙයි

Image copyright EPA

එක්සත් ජනපදය සහ මෙක්සිකෝව වෙන් කිරීම සඳහා යෝජනා කර ඇති තාප්පය ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 2.5ක් වැය කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවසරය ලැබුණි.

පෙන්ටගනය සතු මුදල් ඒ සඳහා යොදා ගත හැකි බවට අවසරය ලබා දෙන ලද්දේ එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි.

'මෙක්සිකෝ තාප්පය' සඳහා එකී මුදල් යොදා ගැනීම තහනම් කරමින් මීට පෙර කැලිෆෝනියාවේ ෆෙඩරල් විනිසුරුවරයෙකු තීන්දුවක් ලබා දී තිබුණි.

2016 වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුව වූයේ මෙක්සිකෝව සහ එක්සත් ජනපදය වෙන් කරමින් තාප්පයක් ඉදි කිරීම ය.

Image copyright Getty Images
Image caption ඇමරිකාව සහ මෙක්සිකෝව අතර දේශ සීමාව

ට්‍රම්ප් ගේ ප්‍රතිවාදීහු ඊට එරෙහිව නැගී සිටියහ.

නමුත්, ජනාධිපති ට්‍රම්ප් ගේ තර්කය වූයේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් එක්සත් ජනපදයට ඇතුළු වීම වැළැක්වීම සඳහා මෙම තාප්පය උපකාරී වනු ඇති බවය.

නීතිවිරෝධී ලෙස තම රටට විදේශිකයන් ඇතුළුවීම හේතුවෙන් ආර්ථිකයට බරක් ඇතිවන බවත් අපරාධ වැඩි වන බවත් ඔහු පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන පිරිස පවසන්නේ මිල අධික තාප්පයකින් එම අරමුණ ඉටු නොවන බවය.

අසල්වැසි මෙක්සිකෝව සමග ඇති දේශ සීමාව ඔස්සේ කිලෝමීටර 3,000ක් දිගට ඉදි කිරීමට නියමිත මෙම තාප්පයේ උස මීටර 9 - 16 අතර වනු ඇත. යෝජිත තාප්පය කොන්ක්‍රීට් යොදා ගනිමින් ඉදිකිරීමට නියමිතය.

මේවන විටත් ඇමරිකාව සහ මෙක්සිකෝව අතර වූ දේශ සීමාව ඔස්සේ වැටක් ඉදි කරනු ලැබ ඇත.

යෝජිත තාප්පය වෙනුවෙන් මෙක්සිකෝව මුදල් වැය කරනු ඇති බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා මුලදී ප්‍රකාශ කර ඇති නමුත් එය එසේ සිදු නොවනු ඇති බවට මෙක්සිකෝවේ ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මෙක්සිකෝවේ ජනාධිපති එන්රික් පේනා නියෙටෝ ප්‍රකාශ කර තිබුණේ සීමා බාධක පිළිබඳව විශ්වාසයක් මෙක්සිකෝව සතුව නොමැති බවය.

රටවල් අතර දේශ සීමා වෙන් කරමින් ඉදි කෙරුණු තාප්ප බොහොමයක් ඉතිහාසය පුරා දැකගත හැක.

Image copyright Getty Images
Image caption බර්ලින් තාප්පය

1950 වසරේදී බටහිර සහ නැගෙනහිර වශයෙන් ජර්මනිය කලාප දෙකකට බෙදුණි.

ඇමරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයේ පාලනය යටතේ පැවති කලාපය සහ සෝවියට් රුසියාවේ පාලනය යටතේ පැවති කලාපය එකිනෙක වෙන් කරමින් 1961 වසරේදී බර්ලින් තාප්පය ඉදිවිය.

Image copyright Thinkstock
Image caption චීන මහා ප්‍රකාරය

චීන දේශ සීමාව වටා ඉදි කෙරුණු චීන මහා ප්‍රකාරයේ දිග නිශ්චිත වශයෙන් කිව නොහැකි නමුත් එය කිලෝමීටර 20,000 ක දිගින් යුක්ත වූ බව සාමාන්‍ය පිළිගැනීමයි.

Image copyright Getty Images
Image caption හැඩ්රියන් තාප්පය

එංගලන්තය සහ ස්කොට්ලන්තය වෙන් කරමින් ඉදි වූ හැඩ්රියන් තාප්පයේ දිග කිලෝමීටර 117 කි.

ක්‍රිස්තුවර්ෂ 122 දී හැඩ්රියන් අධිරාජ්‍යයාගේ නියෝගයෙන් ඉදි වූ හැඩ්රියන් තාප්පය තට්ටු දෙකේ බස් රථයක උසට සමානය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර