මිනී මවුස් : හඬ නිහඬ වෙයි

Image copyright Getty Images

30 වසරක් පුරා ලෝක ප්‍රකට "මිනි මවුස්" කාටුන් චරිතයට හඬ දුන් රූසි ටේලර් මිය ගියාය.

75 වැනි වියේ පසුවූ ඇය කැලිෆෝනියාවේ ගලෙන් ඩේල් හීදී අභාවප්‍රාප්ත වූ බව වෝල්ට් ඩිස්නි සමගම පැවසීය.

මිකී මවුස් කාටුන් චරිතයේ සහකාරිය වන උස් හඬකින් අමතන මිනී මවුස් ට පණ දෙමින් 1986 සිට රුපවාහිනී සජීවී කරන කතා මලා හා චිත්‍රපට යනාදියට ටේලර් හඬ දුනි.

ලෝ ප්‍රකට "සිම්ප්සන්ස්" කාටුන් කතා මාලාවේ "බාර්ට්" නමැති කාටුන් චරිතයේ මිතුරා වූ "මාර්ටින්" වෙනුවෙන් ද ඇය සිය හඬ මුසු කර තිබේ.

මිකී මවුස් කාටුන් චරිතවල පිළිබිඹුව සැබෑ ජීවිතවලට ද ගෙන ආ ටේලර් "වේන් අල්වයින්" සමග විවාහ වී සිටියාය.

2009 වසරේ අලවයින් අභාවප්‍රාප්ත විණි.

වෝල්ට් ඩිස්නි සමාගමේ සභාපති මෙන් ම ප්‍රධාන විධායක බොබ් ඉගර් ටේලර්ට ගෞරව පුදකරමින් ප්‍රකාශයක් නිකුත් කළේය.

"වසර තිහකට අධික කාලයක් මිනී සහ රූසි එක්ව ලොව පුරා මිලියන ගණනක් සතුටට පත් කළා. මේ සම්බන්ධතාව නිසා මිනී ලෝක සංඛේතයක් බවට පත් වුණා. ඒ වගේම "රූසි" ලොව පුරා රසිකයින් මහත් ආදරය කරන ඩිස්නි හී විශිෂ්ඨයෙකු බවට පත් වුණා". බොබ් ඉගර් සිය නිවේදනයෙන් පෙන්වා දුන්නේය.

රූසි ටේලර් 1944 මැයි 04 වැනිදා මැසචුසෙට්ස් ප්‍රාන්තයේ කේම්බ්‍රිජ්හි උපත ලැබුවාය.

මිනී මවුස්ට හඬ දීමට කෙනෙකු තෝරා ගැනීම සඳහා 1986 පැවති සම්මුක පරීක්ෂණයෙදී අපේක්ෂකයින් 200 දෙනෙකු අතරින් රුසී ටේලර් තෝරා ගැනිණ.

වරක් ඇය පවසා තිබුනේ තමා කුඩා ගෑනු දරුවකුව සිටියදී ඩිස්නි ලන්තයට ගිය ගමනේදී 'මිකී' සහ 'මිනී' ගේ මුල් හඬ වූ වෝල්ට් ඩිස්නි හමුවූ බවය.

1991 වසරේ ටේලර් , අල්වයින් සමග විවාහ දිවියට පත්වූ අතර 'අල්වයින් අභාවයට පත්වන තෙක්ම සජීවිකරණ කතාමාලාවේ සහයකයින් සේම ඔවුන් දෙදෙනා වෙන් කළ නොහැකි සේ" කල් ගෙවූ බව ඩිස්නි සමාගම පැවසීය.

Image copyright Getty Images

2008 වසරේ ඩිස්නිහි විශිෂ්ටයෙකු ලෙස නම් කිරීමෙන් පසු ටේලර් පවසා තිබුණේ තමන්ගෙන් හෝ තම සැමියාගෙන් පසුව මේ චරිත වලට පණ දෙන්නට පැමිණෙන කවුරු හෝ " අප සේම එම චරිතවලට ආදරය කරාවි" යැයි සිතන බවය.

"මට කවදාවත් ජනප්‍රිය වෙන්න අවශ්‍ය වුණේ නෑ. මම හඬ දෙන මේ චරිත ජනප්‍රියයි. මට ඒ ඇති," වරෙක ඇය පවසා තිබිණ.

කියවන්න

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර