ත්‍රිත්ව තලාක්: මුස්ලිම් 'ක්ෂණික දික්කසාද ක්‍රමය' අපරාධයක් බවට ඉන්දීය පාර්ලිමේන්තුව තීන්දු කරයි

Image copyright Getty Images
Image caption පනතට සහය පළ කරන කාන්තාවන්

මුස්ලිම් සම්ප්‍රදායක් වන "ක්ෂණික දික්කසාදය" සාපරාධී වරදක් බව පිළිගැනෙන පනතක් ඉන්දීය පාර්ලිමේන්තුව සම්මත කර තිබේ.

ඊමේල්, කෙටි පණිවුඩ හෝ වෙනත් ඕනෑ ම ක්‍රමයකින් තෙවරක් "තලාක්" යන වචනය පැවසීමෙන් මුස්ලිම් සැමියෙකුට තම බිරිඳගෙන් දික්කසාද වීමට හැකි බව පැවසෙන එම සම්ප්‍රදාය "ට්‍රිපල් තලාක්" ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වයි.

එම සම්ප්‍රදාය ව්‍යවස්ථාවට පටහැනි බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළේ, 2017 වසරේදීය.

මෙම පනතට සහය පළ කරන්නන් පවසන්නේ, එමගින් මුස්ලිම් කාන්තාවන් ආරක්ෂා වන බවය. විරුද්ධ මතධාරීන්ගේ අදහස වී ඇත්තේ, මෙම තීන්දුව බරපතළ වන අතර එය වැරදි ලෙස භාවිත විය හැකි බවය.

මෙම නව නීතිය උල්ලංඝණය කරන්නන් වසර 3ක් දක්වා බන්ධනාගාරගත කළ හැකිය.

මෝදිගේ සතුට

මෙම පනත 2017 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ (upper house) සාමාජිකයින් පිරිසක් එය සාධාරණ නොවන බව පැවසීම නිසා යම් ප්‍රමාදයක් සිදු විය.

ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය මෙම පනතට සහය පළ කළ අතර, ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය ඊට විරුද්ධ විය.

භාරතීය ජනතා පක්ෂයට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලයක් නොමැත. කෙසේ වෙතත්, අඟහරුවාදා (ජූලි 30) පැවති ඡන්ද විමසීමේදී එහි මන්ත්‍රීවරුන් රැසක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර ඡන්ද 99ට 84ක් වශයෙන් පනත සම්මත විය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම පනත සම්මත වීම හැඳින්වූයේ, "ස්ත්‍රී පුරුෂ සාධාරණත්වයේ ජයග්‍රහණයක්" ලෙසය.

එහෙත්, ඇතැමුන් විවේචනය කළේ, හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය මුස්ලිම් වැසියන් ඉලක්ක කර කටයුතු කරන බවටය.

මුස්ලිම් පක්ෂයක් නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන අසාදුදීන් ඔවයිසි පැවසුවේ, මෙය මුස්ලිම් අනන්‍යතාවට එල්ල වූ තවත් ප්‍රහාරයක් බවය.

කුමක් ද මේ ක්ෂණික දික්කසාදය?

ත්‍රිත්ව තලාක් ක්‍රමය මගින් මුස්ලිම් සැමියන් විසින් සිය බිරින්දෑවරුන් දික්කසාද කරනු ලැබූ සිද්ධි රැසක් වාර්තා වී තිබිණි.

ලිපි, දුරකතන, කෙටි පණිවුඩ, වට්ස්ඇප් හෝ ස්කයිප් ආදී ඕනෑ ම ක්‍රමයක් මගින් තෙවරක් තලාක් යනුවෙන් පැවසීමෙන් දික්කසාද වීම සම්ප්‍රදායක්ව පැවතිණි.

කෙසේ වෙතත්, කාන්තාවන් කිහිප දෙනෙක් එම සම්ප්‍රදායට අභියෝග කරමින් අධිකරණය හමුවට ගියහ.

මෙම සම්ප්‍රදාය දශක ගණනක් පුරා ක්‍රියාත්මක වුව ද, ත්‍රිත්ව තලාක් දික්කසාද ක්‍රමය ෂාරියා නීතියෙහි හෝ කුරාණයෙහි සඳහන් කර නොමැත.

Image caption ත්‍රිත්ව තලාක් දික්කසාද ක්‍රමය ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්මක් ඉදිරිපත් කළ ෂයාරා බානෝ

ඉස්ලාම් විද්වතුන් පවසන්නේ, දික්කසාදයක් ලබා දීම සිදු කළ යුත්තේ කෙසේ ද යන්න කුරාණයේ පැහැදිලිව සඳහන් කර ඇති බවය. දික්කසාද වීමට අවශ්‍ය විවාහ යුවළකට ඒ පිළිබඳව සාකච්ඡා කර සංහිඳියාවකට පැමිණීම සඳහා මාස තුනක කාලයක් ලබා දිය යුතු බව එහි දැක්වේ.

ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පාකිස්තානය සහ බංග්ලාදේශය ඇතුළු බොහෝ මුස්ලිම් රටවල ත්‍රිත්ව තලාක් ක්‍රමය තහනම් කර තිබේ. එහෙත්, සෑම පුරවැසියෙකුට ම බලපාන පරිදි එකම විවාහ නීතියක් නොපවතින ඉන්දියාවේ එම සම්ප්‍රදාය මෙතෙක් ක්‍රියාත්මක විය.

මෙම පනත ආන්දෝලනයට තුඩු දෙන්නේ ඇයි?

සමාජ ක්‍රියාකාරීහු සහ දේශපාලන පක්ෂ මෙම පනත සම්බන්ධයෙන් පැහැදිලි ලෙස දෙපාර්ශවයකට බෙදී සිටිති. පනතට විරෝධය පළ කරන ඇතැම් මුස්ලිම් කාන්තාවන් පවසන්නේ, දික්කසාදය අපරාධයක් ලෙස හැඳින්වීම අසාමාන්‍ය තත්ත්වයක් බවය.

Image copyright Getty Images
Image caption ඇතැම් මුස්ලිම් කාන්තාවෝ පනතට විරෝධය පළ කළහ

එහෙත්, පනතට සහය පළ කරන්නන් පවසන්නේ, ත්‍රිත්ව තලාක් ක්‍රමය මගින් කාන්තාවන් වෙනස් කොට සැලකීමකට ලක්වන බවය.

නීති කටයුතු අමාත්‍ය රවී ෂන්කර් ප්‍රසාද් පැවසුවේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කරනු ලැබූව ද, එම සම්ප්‍රදාය නතර වී නොමැති බවය.

ඔහු රාජ්‍ය සභාව අමතමින් පෙන්වා දුන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය තහනම් කරනු ලැබීමෙන් පසුව පවා එවැනි නඩු 574ක් ගොනු කර ඇති බවය.

"විනිශ්චය ලැබුණත් ත්‍රිත්ව තලාක් ක්‍රමයට එරෙහිව කිසි ම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ නිසයි අපි මේක නීතියක් විදිහට ගේන්නේ. නීතිය ගේන්නේ එය නතර කිරීමටයි," ඔහු පැවසීය.

ක්‍රියාකාරීන් පවසන්නේ, ඉන්දියාව තුළ ත්‍රිත්ව තලාක් සිද්ධි කොපමණ සංඛ්‍යාවක් සිදුවී ඇත්දැයි ගණනය කිරීම අතිශය දුෂ්කර බවය.

තවදුරටත් කියවන්න.