ශ්‍රී ලංකාවේ අවුරුදු පහේ දරුවන්ගෙන් "63%කගේ දත් දිරලා"

"කිරි දත් වැටෙන බැවින් ඒවා එතරම් වටිනා ඒවා නොවන බවට මවුවරු තුළ විශාල වැරදි විශ්වාසයක් තිබෙනවා" Image copyright Getty Images
Image caption "කිරි දත් වැටෙන බැවින් ඒවා එතරම් වටිනා ඒවා නොවන බවට මවුවරු තුළ විශාල වැරදි විශ්වාසයක් තිබෙනවා"

කුඩා කාලයේ කිරි දත් හැලුණු විට එම දත කිසිවෙකුටත් නොපෑගෙන තැනකට විසි කරමින් ලේනන්ගෙන් අලුත් දත් ඉල්ලූ සම්ප්‍රදායක් ද අතීත දරු පරපුරට තිබිණි.

එහෙත් අද බොහෝ දරුවන්ට එම සුන්දර අත්දැකීම නැත. ඒ, කිරි දත් වැටෙන්නට පෙර ඒවා ගලවා දැමීමට සිදුව තිබෙන බැවිනි.

ශ්‍රී ලංකාවේ අවුරුදු පහක් වයසැති දරුවන්ගෙන් 63%ක දත් දිරා ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේදී අනාවරණය වී ඇත.

මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ කිරි දත් වලට සිදුවන හානි එම දරුවන්ගේ ස්ථිර දත් වල තත්ත්වය කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරන බව දන්ත වෛද්‍යවරු පෙන්වා දීමය.

කිරි දත් වැටෙන බැවින් ඒවා එතරම් වටිනා ඒවා නොවන බවට මවුවරුන් තුළ විශාල වැරදි විශ්වාසයක් ඇතැයි පේරාදෙණිය දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ, ප්‍රජා දන්ත වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා බිබිසී සිංහල සේවයට පැවසුවාය.

Image caption දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා

''කිරි දත් වැටෙනකම් කටේ තියෙන්න ඕනා. ස්ථිර දත් හකු ඇටය තුළ හැදිලා හරි තැනට එන්න පාර කියන්නේ කිරි දත්. ඒ නිසා කිරි දත් නියමිත කාලයට කලින් දිරා ගියොත් ස්ථිර දත් වලට හරි පාර කියන්න කෙනෙක් නෑ . දරුවන්ට හරි පාර පෙන්නුවේ නැත්නම් ඒ අය වැරදි පාරේ යනවා වගේ ස්ථිර දතටත් හරි පාර කියන්න කෙනෙක් නැති වුණාම තැන් තැන්වලින් එන්න යනවා. ඊට පස්සේ අපි හිතනවා වැඩිපුර දත් ඇවිල්ලා, නල දත් ඇවිල්ලා කියලා," යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

දත් දිරායාමට ප්‍රධාන සාධක දෙක ලෙස වැරදි ආහාර පුරුදු සහ දත් මැදීමේ වැරදි පුරුදු වන බව දන්ත වෛද්‍යවරු පවසති.

මාස හයේදී පමණ කිරි දත් හට ගැනීම ආරම්භ වන අතර අවුරුදු තුන පමණ වන විට කිරි දත් සම්පුර්ණ වේ. දරුවෙකුගේ මුඛයේ ඇති කිරි දත් ගණන 20කි. අවුරුදු හයේදී කිරි දත් වැටීම ආරම්භ වේ. අවුරුදු 12 පමණ වන විට කිරි දත් වැටීම සම්පුර්ණ වෙයි.

ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ තොරතුරු අනුව ළමුන් කාණ්ඩ තුනකට බෙදා විස්තර කෙරේ. ඒ අවුරුදු 5, 12 සහ 15 වශයෙනි. අවුරුදු 12 දරුවන්ගේ 30%ක ගේ ද අවුරුදු 15 දරුවන්ගේ 40%ක ගේ ද දත් දිරා ඇත.

Image caption අවුරුදු හයේදී කිරි දත් වැටීම ආරම්භ වේ

දරුවන් නළවන අයගේ දත් පිරිසිදු වීම වැදගත්:

නිතර දරුවන් සමග කාලය ගත කරන අයගේ මුඛයේ පිරිසිදු බවද දරුවන්ගේ දත් නිසි ලෙස පවත්වාගෙන යාමට වඩාත් වැදගත් වන බව දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා පැවසුවා ය.

''මවගේ පමණක් නොව දරුවා ළඟින් සිටින පියා , ආච්චි, සීයා වගේම දරුවන් බලාගන්න කාන්තාවන්ගෙන් වුණත් දරුවට විෂ බිජ ඇතුල් වෙන්න පුළුවන්. විශේෂයෙන් ගර්භනී කාලයේ සිට මවගේ මුඛ සෞඛ්‍ය ඉතා ප්‍රශස්ත මට්ටමක තියෙන්න ඕනා. එහෙම නැති වුණොත් අලුත උපන් දරුවට මවගේ කටේ විෂ බීජ බෝ වෙන්න පුළුවන්.'' යනුවෙන් ඇය පෙන්වා දුන්නාය.

බොහෝ විට මවුවරු දරුවන්ගේ දත් මැදීම ආරම්භ කරන්නේ කටේ දත් කිහිපයක් පැමිණි පසුවය.

එහෙත් දරුවාගේ මුඛයේ පළමු දත ඇති කාලයේදීම දත් මැදීම ආරම්භ කළ යුතු බවට වෛද්‍යවරු පෙන්වා දෙන අතර එහිදී දරුවන් සඳහා භාවිත කරන ප්‍රමිතියෙන් යුත් බුරුසුවක ගෑවෙන-නොගෑවෙන තරමට පටලයක් සේ ෆ්ලෝරයිඩ් සහිත දන්තලේපයක් යොදා ගත යුතු බවද වෛද්‍ය නිදේශය වී තිබේ.

මෘදු කෙඳි සහිත බුරුසුවක් භාවිත කර, ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දිනකට දෙවරක් දත් මැදීම ඉතා යෝග්‍ය බව දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියන්කා පැවසුවේ දත් දිරායාම වළක්වාලීමට ෆ්ලෝරයිඩ් මගින් ඉටුවන වැදගත් ලක්ෂණ තුනක් ගැන සඳහන් කරමිනි.

''දත් දිරා යනවා කියන්නේ දත හැදිලා තියෙන කැල්සියම් දතෙන් එලියට එන එක. ෆ්ලෝරයිඩ් වලින් කරන්නේ කෙළ වල තියෙන කැල්සියම් දත පැත්තට යොමු කරන එක. ඒ වගේම දතේ කැල්සියම් එලියට ගෙනයාම අඩු කරනවා. අනික් කාරණය තමයි කැල්සියම් ෆ්ලෝරයිඩ් සමග එකතු වූ විට අම්ල සමග ක්‍රියා කරන්න බැරි තත්ත්වයකට පත් කරලා දත් ශක්තිමත් කිරීම. තුන්වන කාරණය තමයි ෆ්ලෝරයිඩ් වල බැක්ටීරියා නාශක ගුණයක් තිබෙනවා.''

දරුවන්ගේ දත් දිරායාම නිසා දරුවන් මෙන්ම මවුවරු ද බොහෝ පීඩාවන් විදිති. නාගොඩ, ගල්ලස්ස ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් වන වසන්තා දයානි බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් සඳහන් කළේ ඇගේ දරුවන් තිදෙනාගේම දත් දිරා ගොස් කුහර සෑදී ඇති බවය.

''මගේ ලොකු දුවගේ වයස අවුරුදු 13යි. එයාගේ දැනටමත් දත් දෙකක් ගලවලා. දෙවැනි දුවට අවුරුදු 11යි. එයාගේ එක දතක් ගලවලා. අවුරුදු අටක් වන පුතාගේ දත් දෙකක් ගලවන්න වුණා. තවත් කෝම්බ තියෙනවා'' යනුවෙන් ඇය පැවසුවාය.

ඇය පවසන ආකාරයට වැඩිමහල් දියණියගේ දත් නරක වීම ආරම්භ වී ඇත්තේ වයස අවුරුදු අටේදී පමණය. එහෙත් බාල දරුවාගේ දත් අවුරුදු පහ වන විට ගලවන්නට සිදුවී ඇත.

කොතරම් දත් පණුවෝ කෑවත් දරුවන් අධික ලෙස පැණිරස ආහාරයට ගැනීමට පුරුදුවී සිටින බවද වසන්තා දයානි පැවසුවාය. ඇගේ කුඩා දරුවාගේ මුඛයේ මේ වන විට තවත් දතක විශාල කුහරයක් දක්නට ලැබේ. එය මහත් වේදනාකාරී බව එම දරුවා පැවසුවේ ඇතැම් විට අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදුකර ගෙන යාමට නොහැකි තත්ත්වයකට එය වේදනාකාරී වන බවය.

"දත් හැලෙන කතාව මිත්‍යාවක්"

ලංකාවේ ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය වසර 10කට වරක් සිදු කෙරේ. එහි නවතම වාර්තාවට අනුව අවුරුදු 65 - 74 වයස් කාණ්ඩයේ පසුවන වැඩිහිටියන්ගෙන් දත් 20 කට වඩා ඇත්තේ 37% කගේ පමණි.

ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියට අනුව පුද්ගලයෙකු මරණයට පත්වන අවස්ථාව වන විට මුඛයේ දත් 20ක්වත් හොඳ තත්වයෙන් පැවතිය යුතුය. එහෙත් ලංකාවේ අවුරුදු 65 - 74 වයස් කාණ්ඩයේ සිටින අයගෙන් 11%කගේ මුඛයේ එක දතක්වත් නැති බව සමීක්ෂණ වාර්තාව හෙළි කරයි.

දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා පැවසුවේ වයසට යන විට දත් හැලෙනවා යන්න මිත්‍යාවක් බවය.

වැඩුණු පුද්ගලයෙකුගේ මුඛයේ ඇති දත් ගණන 32කි. එහෙත් තුන්වන චාර්වක දත් බොහෝ දෙනෙකුගේ නොපිහිටන නිසා සාමාන්‍යයෙන් දත් 28ක් පිහිටයි.

දත් ආශ්‍රිත රෝග:

01. දත් දිරා යෑම

02. විදුරුමස් ආශ්‍රිත රෝග

03. දත්වල පැහැය වෙනස් වීම

04. මුඛ පිළිකා

05. දත්වල විකෘති

06. අනතුරු නිසා දත් වලට හානි සිදුවීම

දත් දිරායාම ''කෝම්බ'' හැදෙන්න කලින් හඳුනා ගැනීමට සරළ ක්‍රමයක්:

දත් දිරයාමේ ආරම්භක අවස්ථාව දත්වල සුදු ලප හට ගැනීමයි. එම අවස්ථාව හඳුනා ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යෑම ම අත්‍යාවශ්‍ය නොවේ. හොඳින් ආලෝකය ඇති තැනක සිට දත්වල, දතත් විදුරුමසත් අතර දාරයේ දතේ පැහැයට වඩා කිරි පැහැති පැල්ලම් තිබේදැයි නිරීක්ෂණය කිරීමෙන් දත් දිරායමේ මුල් අවස්ථාව හඳුනාගත හැකි බව දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා පැවසුවාය.

එලෙස පැල්ලම් දක්නට ලැබේනම් ප්‍රතිකාර ගැනීමෙන් තවදුරත් දත් දිරායාම වළක්වා ගත හැකිය යන්න වෛද්‍ය මතය වේ. එහෙත් බොහෝ දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු වන්නේ දත්වල කුහර හටගත් පසුවය.

වෛද්‍යවරු පෙන්වාදෙන ආකාරයට මුඛ සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කිරීම යහපත් දිවියකට ඉතා වැදහත් වේ. දත් නිරෝගී තත්වයෙන් පැවතීම මානසික සුවයට, පෞරුෂ වර්ධනයට, දරුවන්ගේ මොළයේ වර්ධනයට, ශාරීරික වර්ධනයට මෙන්ම ශක්තිය වැඩිවීමට ද හේතු වන බව වෛද්‍යවරු පවසති.

එබැවින් දරුවන් කුඩා කාලයේ පටන් සීනි අධික, ඇලෙනසුළු පිටි ආහාර භාවිතය අවම කිරීමට හා නිවැරදි ලෙස දිනකට දෙවරක් දත් මැදීම සඳහා පුරුදු කිරීම ඉතා යෝග්‍ය බව වෛද්‍ය මතයයි.

තවත් තොරතුරු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර